(බිඟුන් මේනක ගමගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට සම්බන්ධ වූ බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකකින් ප්‍රකාශ සටහන් කරගනු ලැබ තිබේ.
පැෆරල් හා සී.එම්.ඊ.වී යන මැතිවරණ නිරීක්ෂණ දෙකෙන් විමර්ශන නලධාරීන් මෙසේ ප්‍රකාශ සටහන් කරගනු ලැබ ඇත්තේ පැමිණිල්ලට අදාළ සාක්ෂි එකතු කරගැනීම සඳහාය.
මැතිවරණ කොමිසම කළ දැනුම්දීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම විමර්ශනය ආරම්භ කළ අතර අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ මාණ්ඩලික නිලධාරියකු හැටියට වරදක් කර ඇතිදැයි සෙවීම එහි අරමුණ වේ.
විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමෙන් අනතුරුව මෙම පැමිණිලි මැතිවරණ කොමිසමට කෙරුණු අතර ඉන්පසුව ද ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට සහභාගී වී තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් කියාතිබුණේ දෙවැනි වාරයේදී ද පාදෙනිය මහතා කළ දේ අනුමත කළ නොහැකි බවය.

