නිරිතදිග මෝසමෙන් වන හානි අවම කිරීමේ සැලසුමක්


(ඩයනා උදයංගනී)


            ඉදිරි සතියේදී සක‍්‍රීයවීමට නියමිත නිරිත දිග මෝසම සමඟ  බෙංගාල බොක්ක ආශ‍්‍රිත අඩුපීඩන කලාපයක් ද ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එයින් වැඩි බලපෑම් එල්ල විය හැකි දිස්ත‍්‍රික්ක 10ක් හඳුනාගෙන ආපදා අවම කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


            ඒ අනුව හදිසි ආපදාවක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය බෝට්ටු , ජීවිතාරක්‍ෂක කට්ටල, ආහාර, නවාතැන් සපයන ස්ථාන,  ආදිය සම්බන්ධයෙන් මේ වන විටත් පෙර සූදානමක් පවතින බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.


            නිරිත දිග මෝසමත් සමඟ  ඇති වූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් 2016 වසරේදී 93 දෙනෙකු මියගොස් රුපියල් බිලියන 99.84ක හානියක් හා 2017 වසරේදී 219 දෙනෙකු මියගොස් රුපියල් බිලියන 70.27ක හානියක් සිදුවූ බව කී අමාත්‍යවරයා මෙවර එවන් හානියක් සිදුනොවන අයුරින් කටයුතු කිරීම අමාත්‍යාංශයේ අරමුණ බව ද සඳහන් කළේය.


            ඒ වෙනුවෙන් , ආපදාවට පෙර සූදානම, යන තේමාව යටතේ මෙම මස 21 වැනිදා සිට ජූනි මස 02 වැනිදා දක්වා වන දෙසතියක කාලය තුළ ජනතාව දැනුම්වත් කිරීමේ හා ශ‍්‍රමදාන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.


            අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (17)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


            ගාල්ල, මාතර,  හම්බන්තොට,  රත්නපුර,  කෑගල්ල, කොළඹ කලූතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ බදුල්ල දිස්ත‍්‍රික්කයන්ට නිරිත දිග මෝසමේ වැඩි බලපෑම් එල්ල වන අතර එම දිස්ත‍්‍රික්කයන්හි ඇලවේලි, කාණු පද්ධති පිරිසි`දු කර ජලය බැසයාමේ කටයුතු ක‍්‍රමවත් කිරීම, අනතුරු දායක ගස් අතු ආදි ඇත්නම් ඒවා ඉවත් කිරීම වැනි කටයුතු හා ආපදාවකදී හානි අවම කරගැනීම පිළිබඳ  ජනතාව දැනුම්වත් කිරීම මෙම දෙසතිය තුළ සිදුකෙරෙන බව  ද ඇමති දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.


            වත්මන් රජය මගින් ආපදා අවස්ථාවකදී ලබාදෙන වන්දි ආදිය ඉහළ නංවා ඇතත් ජීවිත හානි සිදුවූ විට එම හානිය පියවිය නොහැකි බැවින් එම හානි අවම කරගැනීම අමාත්‍යාංශයේ අරමුණ බව ද ඇමතිවරයා කීවේය.


            ආපදා අවස්ථාවකට පෙර,  ආපදා අනතුරු ඇඟවීමකදී,  ආපදා අවස්ථාවේදී සහ ආපදාවෙන් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී දැනුම්වත් කෙරෙන අතර,  අමාත්‍යාංශයේ නිලධාරීන්,  ප‍්‍රාදේශිය ලේකම්වරුන්, ග‍්‍රාමනිලධාරීන්,  සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් ආදී පාර්ශව මේ සඳහා සම්බන්ධ කරගන්නා බව ද දුමින්ද දිසානායක මහතා පැවසීය.