නාලක සිල්වා ගැන අල්ලස් කොමිසම ප්‍රකාශ 4 ක් සටහන් කරගනී


ඉන්දිකා රාමනායක
 
ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා   මුලික  සුදුසුකම්   සපුරා නොමැතිව සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් පත්ව ඇති බවට ලැබුණ පැමිණිල්ලකට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකුගෙන්, පොලිස් අධිකාරිවරයකුගෙන් හා සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන්  අල්ලස්  කොමිසම ප‍්‍රකාශ සටහන් කරගත් බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.                 
මෙලෙස ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ  කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති (ප‍්‍රවර්ථන)  පි‍්‍රයන්ත විජේසුරිය,  ඇල්පිටිය  කොට්ඨාස බාර පොලිස් අධිකාරි නිහාල් තල්දුව, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි  ප‍්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගෙන් බවද කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.  

                    
නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් ඉකුත් (5) දින ද, සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාගෙන්  ඊයේ  (8) දිනය තුළ දී මෙම ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

               
නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බැදී ඇත්තේ ව්‍යාජ  උපාධියකින්  බවටත්  සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන්  බැදීමට අවශ්‍ය උස ප‍්‍රමාණය අඩි 5 යි අගල් 6 ක් වුවද එම  මුලික සුදුසුකම් ද සපුරා නොමැති බවට තොරතුරු හෙළි ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ඉල්ලා ඉහත පොලිස් නිලධාරීන් පිරිස ජාතික පොලිස් කොමිසම් සභාව වෙත ලිපියක් ඉදිරිපත් කර තිබුණි.  

                      
එම ලිපියේම පිටපතක්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ද ඉදිරිපත් කර තිබුණි.                       
එම පැමිණිල්ලට  අනුව අල්ලස් හෝ දුෂණ කොමිසම් සභාව  මෙම  පොලිස් නිලධාරීන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.  ජාතික පොලිස් කොමිසම ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.