(මනෝප්‍රිය ගුණසේකර)
මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවත් ඉදිරියේදී දෘෂ්‍ය දූෂණය වැළැක්වීම ක්‍රියාත්මක කරන බවද නීතීපතිවරයා අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට අද (13) දැනුම් දුන්නේය.
මැතිවරණයේදී පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ රෙගුලාසි මාලාව 2148/19 දරණ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වැනිදා ගැසට් පළ කර ඇති බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියාය.
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ පළාත් පාලන ආයතන සඳහා බැනර්, කටවුට් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රීට් ආඥාවක් නිකුක් කරන්නැයි ඉල්ලමින් 2009 වසරේදී තමන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කොට ඇතැයි සඳහන් කොට ඇත.
මෙම පෙත්සම විභාග වන අතර කාලයේදී 2014 නොවැම්බර් 27 වැනිදා මෙම සැලැස්ම සකස් කර අවසන් බව මධ්‍යම පරිසර අධිකාරිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව එම පෙත්සම් විභාගය අවසන වු නමුත් අවිධිමත් ලෙස පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශණය මඟින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් පියවර ගෙන නොමැති බව සඳහන් කරන පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද සදහන් කොට ඇත.
එසේ නොවුණහොත් පෝස්ටර්, බැනර් සහ කටවුට් වලින් පරිසරය වැසී ගොස් දූෂණය වීමත්, ඒ හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ප්‍රාදේශීය සභා සහ නගර සභාවන්ට මහජන මුදල් වැය කිරීමට සිදුවන බවත් පෙන්වා දෙන පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය එම තත්වයන් පාලනය කරමින් නිකුත් කොට ඇති දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ඉල්ලීමක් කොට ඇත.
දෘශ්‍ය දූෂණය සම්බන්ධයෙන් රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කොට තිබු පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී දෘෂ්‍ය දූෂණය අදාළ රෙගුලාසි මාලාවට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති හෙයින් දෘෂ්‍ය දූෂණය වැළැක්වීම ක්‍රියාත්මක කරන බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සමඟ නීතීඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය පෙනී සිටියාය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය පෙනී සිටියාය.

