තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්


 (නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කුරුණෑගල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමට ඉඩනොදීම පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු  ප්‍රධාන තිස්ස අත්තනායක මහතා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත අද (31) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
 
කුරුණෑගල පැවති රැළියට සහභාගී වීම සදහා සජිත් පේ‍්‍රමදාස මහතා රැගත්  හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම කළ කඩා කප්පල් ක‍්‍රියාවක් බවට සැක මතු වන බැවින් මේ පිළිබද වහාම අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් තිස්ස අත්තනායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
 
පැමිණිල්ල භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා :

 ‘‘රැස්වීම් ගණනාවකට සහභාගිවීමට නියමිතව තිබීම නිසා කුරුණෑගල ප‍්‍රදේශයේ  ඊයේ(30) පැවති ජන රැලියකට සහභාගී වීම සදහා  සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා හෙලිකොප්ටර් යානයකින් ගමන් කිරීමට සැලසුම්කර තිබුණා.

දඹුල්ලේ සිට කුරූණාගල දක්වා යාමේ දී, කුරුණෑගල ප‍්‍රදේශයේ ගොඩබෑම සඳහා අවශ්‍ය සංඥා එළි ක‍්‍රියාත්මක වූයේ නැහැ. සෑම ජනපති අපෙක්ෂකයකුට හිමි මෙම අවස්ථාව සජිත් පේ‍්‍රමදාස මහතාට ද ලබාදීම බලධාරින්ගේ වගකීමක්.
 
එම අවස්ථාවේ විදුලිය විසන්ධි වෙනවා නම් විකල්ප පියවරක් අනුගමනය කළයුතු වෙනවා. ඒය ක‍්‍රිඩාංගනය භාරව සිටි නිළධාරින්ගේ වගකීමක්. එතුමන් රැගත් හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම සිදුකළ කඩා කප්පල් ක‍්‍රියාවක් බවට අපට සැක මතුවෙනවා. ඒ නිසා මෙම සිදුවීම ගැන වහාම පරික්ෂණයක් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදි පැවැසීය.