තිදෙනෙක් වැට පැනීමෙන් බළන්ගොඩ නගර සභාව හෙල්ලෙයි


(අජිත්ලාල් ශාන්තඋදය )
 
එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී  ලංකා නිදහස් පක්‍ෂය එක්ව බලය පිහිටුවා ඇති බලන්ගොඩ නගර සභාවේ තමන් ඇතුළු  ශ‍්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් තිදෙනා අද  (08) සිට පාලක එක්සත් ජාතික පක්‍ෂයට සහාය නොදෙන බව උප සභාපති එම්.ටී.එම්.රූමි මහතා මාසික රැස්වීමේ දී පැවසුවේය.
 

සභාපති සමිත ජයමිණි (එජාප) මහතාගේ ප‍්‍රධානත්වයෙන් බළන්ගොඩ නගර සභා ශ‍්‍රවණාගාරයේ පැවති මාසික රැස්වීමේදී ඔහු මේ බව පැවසුවේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයින් ශ‍්‍ රීලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති නිසා හිටපු නගර සභාපති නිමල් ගාමිනි වීරසිංහ සහ එම්.ජී. ශාන්ති ලේඛා යන ශ‍්‍රීලනිප සභිකයන් දෙදෙනා ද සමග තමන් ද මින් ඉදිරියට බළන්ගොඩ නගර සභාවේදී එක්සත් ජාතික පක්‍ෂයට සහාය නොදෙන බව පැවසුවේය.
 
ඒ අනුව මින් ඉදිරියට දිගටම තමන් තුන්දෙනාගේ සහයෝගය ශ‍්‍රී ලංකා පොදුපෙරමුණට ලබාදෙන බවත් එක්සත් ජාතික පක්‍ෂය සමග මෙතෙක් කල් කටයුතු කළත් එතැන තමන්ට ගැලපෙන තැනක් නොවන බවද සදහන් කළේය.
 
බළන්ගොඩ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 17කි. ඉන් 7ක් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේය. 6ක් එක්සත් ජාතික පක්‍ෂයේය. 3ක් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට ද එක් සභික ධූරයක් හිමිවිය.
 
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හයදෙනා සහ ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන් තිදෙනා එක්ව නගර සභාවේ බලය පිහිටුවනු ලැබීය. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ සමිත ජයමිණී මහතාට සභාපති තනතුරත්,  ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ එම්.ටී.එම්.රූම් මහතාට උපසභාපති තනතුරත් බෙදාගෙන සභාව පාලනය කළේය.
 
ශ‍්‍රී ලනිප එජාප එකතුව හේතුවෙන් සභික ධූර 7ක් හිමිකගරත් ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවට)  බළන්ගොඩ නගර සභාවේ බලය අහිමිව ගියේය.  ශ‍්‍රීලනිපය ඉවත්වීමත් සමග  එජාපයට හිමි සභික සංඛ්‍යාව හයක් දක්වා අඩුවිය. ශ‍්‍රීලනිපය පොඑපො සමග එක්වීමෙන් සභික සංඛාව 10ක් බවට පත්ව එජාපය සුළුතරය බවට පත්විය.
 
ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්වන බව උප සභාපතිවරයා පැවසුවත්, උප සභාපතිධූරයෙන් ඉවත්වන බව සදහන් නොකළේය. අසුන්වල පිහිටීම අනුව විපක්‍ෂය පැත්තට යාමට හැකියාවක් නොතිබූ නිසා උප සභාපතිවරයා ඇතුළු සභිකයන් තිදෙනා සිටි ආසානවලට වාඩිවී සභාවේ කටයුතු කරගෙන ගියේය.