ජිනිවා යෝජනාව දියාරුලු


ජිනීවා නුවරදී බ්‍රහස්පතින්දා සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව "කමකට නැති" බව තමිල්නාඩුවේ මහ ඇමති ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ගෝරනාඩුවක් නගා ඇත. ඉන්දියාව ඇතුළු රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.

"මේක මහා ප්‍රෝඩාවක්. ඔය සම්මත කරගත් යෝජනාව ගැන කිසිසේත් සතුටුවන්නනට මට බැහැ. ගිය සතියේ අගමැතිතුමා (මන්මෝහන් සිං) හමුවී මම ඉදිරිපත් කළ ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් ගණන් අරගෙන නැහැ." යනුවෙන් ඔහු කියා ඇත.

ඇමෙරිකාව ගෙනා යෝජනාවේ හෝ ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත්කල  සංශෝධනවල හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව  සොයාබැලීමට ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යබවක් සඳහන් නොවූ බව කරුණානිධිට අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබෙන බව ඔහුගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූවෝ කියති. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ද්‍රවිඩ ජනයාට යන එන මන් නොමැති බවත් කියා පාමින් කරුණානිධි ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙනයායුතුබව කියමින් ඉදිරිපත් කල කරුණු වලට පක්ෂව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඉන්දියා  මධ්‍යම රජය මෙන්ම විරුද්ධ පක්ෂයද කියාසිටියේ "එවැනි ඉල්ලීමක් කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ අභ්‍යනතර පළහිලව්වකට අයුතු ලෙසින් ඇඟිලි ගැසීමක් වෙන බව" ඔවුන් විශ්වාස කරන බවයි. 

"ඉන්දියාව ඉල්ලාසිටියේ මානව හිමිකම් කඩවීම් හෝ මිනිස් ඝාතන පිළිබඳව අවංකව සොයාබැලීමේ වගකීම ශ්‍රීලංකා රජය බාරගන්නා බවට පොරොන්දුකරවා ගන්නා ලෙසට"  පමණක් යැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියා  නියෝත දිලිප් සිංහ පැවසීය.

මෙම කතාවද තමිල් නාඩු දේශපාලඥයන්හට ජීරණය කර ගැනීමට අසීරු වී ඇත.

ඒ කෙසේවුවද කරුණානිධි වැන්නවුන්ගේ බලපෑම මත ඇමෙරිකා යෝජනාවට අන්තිම මොහොතේ ඉන්දියාව විසින් ඉදිරිපත් කැරුණු සංශෝධන සලකා බැලීමට කල් මදිවුබවත් එම නිසා ඒවා නිෂ්ප්‍රභා කිරීමට සිදුවූ බවත් ඇමෙරිකාව කියා ඇත. 

නිස්කාරණයේ ඕනෑවට වැඩිය කුලප්පුවී තමන් ගිල ඇත්තේ දිරච්ච ලනුවක් බව පිළිගැනීමට අකමැති කරුණානිධි ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවය දිගටම කරගෙන යන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් කර ඇත. මේ සඳහා උල්පන්දන් දීමට සුදානම්  පිරිස් ඕනෑතරම් සිටින බවද පුවත්පත් වාර්තාවල සඳහන් විය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වුණ යෝජනාව දියාරුවක් බව "හියුමන් රයිට්ස් වොච්" සංවිධානයද කියා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන අසීමිත රුදාවකින් සිටින මෙම සංවිධානය ශ්‍රී ලංකා හමුදා  කොටි ත්‍රස්තවාදීන් පරාජයකල දා සිට මෙවන් චෝදනා නිරන්තරයෙන් ඉදිරිපත් කිරීමට පුරුදුවී සිටිති.

අනුන්ගේ දුක්ගැනවිලි ගැන කිඹුල් කඳුළු හඬන මෙවන් සංවිධානයන්ද ශ්‍රී ලංකාව පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර නඩුවිභාගයක් පවත්වන්නේ නැත්තේ මන්දැයි මැසිවිලි දොඩති. 

අනුන්ගේ මරණ ගෙවල් වල මලබත බෙදමින් සුපිරි ජීවිත ගෙනයන මානව හිතවාදී සංවිධාන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතින් සිදුවුණ සැලසුම් සහගත සමූල ඝාතන හෝ අනෙකුත් කෘරකම් ගැන ඇහැ කන පියාගෙන සිටීම ප්‍රශ්නයක් බව සමහරුන්ගේ මතය වී ඇත.

ඉන්දියාවේ මේදිනවල පවත්වාගෙන යන ශ්‍රී ලංකවට එරෙහි  විරෝධතාවයන්හිදී උසුලාගෙන ඉන්නා පුවරුවල කොටි ප්‍රහාරයන්ගෙන් මියගිය සිංහල දරුවන්ගේ පින්තුරද යොදාගෙන තිබෙනු දැකගත හැකිවිය. 

මේවාට සම්බන්ධ බොහෝදෙනා තමන්  කරන්නේ මොනවාදැයි හරි හමන් අවභෝදයක් නොමැති අය බවත් තැන දුටුකළ වළ ඉහගන්නට වලිකන දේශපාලඥයන්ගේ උවමනාවට පැමිණෙන අය බවත් බොහෝදෙනා පවසති.

මේ අතර ජිනීවා සමුළුව පවතී මුළු කාලය පුරාම සැසිවාරය පැවති ගොඩනැගිලේ   ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම් බොහෝ ගණනක් තම මති මතාන්තර සඳහා සම්මේලනයට සහභාගීවන සාමාජික රටවල නියෝජිතයින් නම්මවා ගැනීමේ වැඩ පිළිවෙළ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කල බව එහි සිටි එකම ශ්‍රී ලාංකික පුවත්පත් වාර්තා කරු පවසා ඇත. 

ඔහුද එහි ගොස් ඇත්තේ අතේ වියදමිනි. 

මෙම වැඩකටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින කොටි සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවකු සහ ලෝකයේ රටවල් ගණනාවක සිටින කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහායකයින්ද සහභාගී වී ඇත.