(රන්ජන් කස්තුරි)
දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට(16) සිට නොවැම්බර් මස 10 වැනි දින දක්වා බත්තරමුල්ල ඉසුරුපායෙහි පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වේ.
මීට අමතරව එකම පාසලේ වසර අටකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන් වෙනත් පාසල්වලට මාරු කර යවන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු ඉකුත් කාලයේදී සම්පූර්ණ නොකිරීම නිසා සුදුසුකම් සහිත විදුහල්පතිවරුන්ට එම ධුර අහිමි වී තිබූ අතර ඇතැම් වැඩබලන විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් එකම පාසලේ සේවය කිරීමටත් සිදුව තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.