ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම ගැන ටීඑන්ඒ තීරණය කල්යයි


(එෆ්.අස්ලම්)

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) වැනිදා තීරණය කර තිබේ.

ජනාධිපතිවරණ පිළිබද සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පස්වරු 2.30 ට  පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විණි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම සාකච්ඡාව සඳහා එම සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයෙහිම නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකු පමණ සහභාගී වී තිබිණි.

මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹිය යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය වී තිබුණි.

ඉල්ලීම් 13ක යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ගිවිසුමකට අත්සන් තැබූ  උතුරේ දේශපාලන පක්ෂ පහේම එකගත්වය මත ජනපති අපේක්ෂකයා පිළිබද තීරණය ගතයුතුව ඇතැයිද මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව හෙට (24) දිනයේදී බොහෝ විට  ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ ත්‍රිත්වයත්,දෙමළ ජනතා සංසදය සහ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂත් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ රැස්වීමට නියමිතව ඇතැයි දෙමළජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී කාහටද සහාය දැක්වන්නේද යන තීරණය කිරීමේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය.