ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ගැන හෙළිදරව්වක්


(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වියදම් ගැන ලංකාවේ පළමු වරට තොරතුරු අනාවරණයකට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සූදානම් යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (31) පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ඇස්තමේන්තු කිරීම සඳහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කළ වෙනම ඒකකයක් මගින් මෙම තොරතුරු ඒකරාශී කිරීම සිදුකෙරෙන්නේ යැයි ගජනායක මහතා කීය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාගත් දිනයේ සිට මෙම ඒකකය ක්‍රියාකාරී වී යැයි කී හෙතෙම ඒ ගැන වූ පළමු අනාවරණය ලබන 4 වැනි දා සිදුකරන්නේ යැයි ද පැවසීය.

මැතිවරණ ප්‍රචාරණ වියදම් පිළිබඳ මෙතෙක් ශ්‍රී ලංකාවේ නීතියක් බලාත්මක වී නැති නමුත් මෙම අනාවරණය මගින් අදාළ නීති බලගැන්වීමට සමාජ බලපෑමක් සිදුවනු ඇතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමා කිරීමේ අරමුණෙන් මැතිවරණ කොමිසම සැකැසූ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.