(මුදිතා දයානන්ද)
අතුරු වැටුප් චක‍්‍රලේඛය නොවැම්බර් 5 වෙනිදාට පෙර නිකුත් නොකළහොත් 8 වෙනිදාට ගුරුවරු සහ විදුහල්පතිවරු එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස වසර 22ක් තිස්සේ ඉල්ලා සිටියද මෙතෙක් එය විසඳී නැතැයිද, ඒ සම්බන්ධයෙන් රජයට බලකරමින් පසුගිය මාර්තු මාසයේ හා සැප්තැම්බර් මාසයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට එළැඹුණු බවද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං සහ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම ප‍්‍රශ්නය විසඳීම සඳහා ගුරු සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට ගත් කැබිනට් තීන්දුව ක‍්‍රියාත්මක වනතුරු අතුරු වැටුපක් ලබාදීමට තීන්දු කළද මෙතෙක් ඊට අදාළ චක‍්‍රලේඛය නිකුත් කර නැති බවද එම නිවේදනයේ දැක්වේ. තීන්දුව ගෙන මාසයකට ආසන්න කාලයක් ගතව ඇතත් දිනෙන් දින මෙම චක‍්‍රලේඛය නිකුත් කිරීම ප‍්‍රමාද වෙමින් පවතින බවද නොවැම්බර් 5 වැනිදාට පෙර එය නිකුත් නොකරන්නේ නම් රට පුරා එක්දින වැඩවර්ජනයකට යාමට තමන් සූදානම් බවද නිවේදනයෙහි සඳහන් වේ.
ලංකා ගුරු සංමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ගුරු විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ලංකා පිරිවෙන් ගුරු සංගමය ඇතුලූ ගුරු විදුහල්පති සංගම් 29ක් මෙම වැඩවර්ජනයට සම්බන්ධ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

