කෝටි 3ක ස්වර්ණාභරණ සමඟ 14ක් කටුනායකදී අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )
 
රුපියල් තුන්කෝටි දහනමලක්ෂ හැත්තෑපන්දහස් එකසියඅසූවක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ මගීන් 14දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොවුහු අවුරුදු 30ත් -50 ත් අතර වයස් වල පසුවන, කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ගුවන් මගින් කුලී පදනම මත ඉන්දියාවට ගොස් මෙරටට භාණ්ඩ රැගෙන එන පිරිසකි.

ස්වර්ණාභරණ තොගය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 700 ක් බර බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත මොවුන් පැමිණ තිබුණි.

ඔවුන් ගෙනැවිත් තිබූ රෙදි  සහ ඇඳ සිටි වස්ත්‍රවල මෙම ස්වර්ණාභරණ සඟවා පැමිණ සිටියදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.