කොස්තාපල්වරියන්ට දුරකතනයෙන් අයුතු යෝජනා කළ අයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ නේවාසිකව සිටින කොස්තාපල්වරියන්ට  රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන්  අයුතු යෝජනා කළ බව කියන  පුද්ගලයෙකු   අද (23)  මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි  නාවික භටයකු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු  මීට දින කිහිපයකට  පෙර  කොස්තාපල්වරියන් කිහිපදෙනකුටම මධ්‍යම රාත්‍රී කාලයේ දුරකතනයෙන් ලිංගික යෝජනා සිදුකර ඇති බවත්  ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තාකර දුරකතන අංශ ඔස්සේ  පරීක්ෂණ සිදුකිරීමේ දී සැකකරු සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව මෙම සැකකරු ළමා හා කාන්තා  කාර්යාංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

මෙම සැකකරුගේ  පෙම්වතිය නුගේගොඩ කොට්ඨාසයේ  පොලිස් ස්ථානයක  රාජකාරි කරන පොලිස්  කොස්තාපල්වරියක් බවත් සැකකරු ඇය හමුවු අවස්ථාවල ඇගේ ජංගම දුරකතන පරීක්ෂා කර එහි ගබඩා කර ඇති ඇගේ මිතුරු කොස්තාපල්වරියන්ගේ අංක ඔහු සටහන් කරගෙන පසුව ඔවුන්ට මෙම ඇමැතුම් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු අද (24)  නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.