ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන් ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට පැමිණිලි කර තිබේ.
එම සංගමයේ නියෝජිතයෝ අදාළ පැමිණිල්ල පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා වෙත ලිඛිතව භාර දුන්හ.
ආයතනය දැවැන්ත පාඩුවකට මුහුණ පා සිටින වකවානුවකදී ඉහළ කළමණාකාරිත්වය සඳහා මෙතෙක් ආයතනය තුළ නොපැවති අලුත් තනතුරු නිර්මාණය කිරීමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවත් ඔවුහු සිය පැමිණීල්ලෙන් චෝදනා කර සිටිති. මෙම පත්කිරීම් හේතුවෙන් සමාගමේ පාඩු ලැබීමේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවද පැමිණිල්ල මගින් ඔවුහු පෙන්වා දෙති.
ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්‍රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංඝණය කරමින් සිටින බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ හමුවේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කොළඹ පවතින කාර්යාල කටුනායකට රැගෙන ගිය බවත් පසුව නැවත ඒවා කොළඹ ට රැගෙන ඒමට කටයුතු කළ බවත් එම ක්‍රියාදාමය හේතුවෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් එම සමාගමට සිදුවූ බවත් කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි මෙන්ම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව පවතී.

