කටුනායකට යන්න තිබූ ගුවන් යානා දෙකක් මත්තලට


(ටී.කේ.ජී.කපිල සහ අනීෂා මානගේ)
 
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද(21) අලුයම පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් එහි ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත බලධාරීන් පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මිලිමීටර් 57 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි. 

සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය, අද උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට තිබිණි. පසුව එම ගුවන්යානය උදෑසන 6.20 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි. මෙහි මගීහු 192 ක් සිටියහ.

 කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය  උදෑසන 6.15 ට  කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි අතර, එහි ගොඩ බැස්සවීමට නොහැකිව මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 6.30 ට ගොඩ බස්සවන ලදී.  එම ගුවන් යානයෙහි මගීහු 269 ක් සිටියහ.

(ඡායාරූපය - අනීෂා මානගේ)