එෆ්.සී.අයි.ඩියට නොගිය මන්ත්‍රීන් කමිටුවලට දාන්න ගියොත් ඒවා හිස්කරන්න වේවි


(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

එෆ්.සී.අයි.ඩී.යට නොගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටුවලට පත්කරන්න හිතුවොත් කමිටුවල සියලු සාමාජිකයන් ඉවත් කරන්න සිදුවේවියැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.

කතානායකවරයා මෙසේ පැවැසුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස) කෝප් කමිටුවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ දී ය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා:-

කෝප් කමිටුවේ සාමාජිකයන් අතරේ බැඳුම්කර කොමිසමේ චෝදනාවලට ලක්වූ අයත් ඉන්නවා. ඒ සාමාජිකයන් යළිත් පත් කරන්න එපා කියලා අපි කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා. ඔබතුමාත් ඒක පිළිගත්තා. පිළිඅරගෙන ඒක පක්ෂනායකයන්ට දැනුම් දෙන බවත් කිව්වා. ඔබතුමා මේක පක්ෂ නායකයින්ට දැනුම් දුන්නාද? පක්ෂ නායකයන් ගත්තු තීරණ මොනවාද? ඒ වගේම ඒ චෝදනාලත් අය කෝප් කමිටුවට නැවතත් පත් කරල තියෙනවාද?

කතානායක කරු ජයසූරිය මහතා:-

ඇත්තෙන්ම පක්ෂ නායක රැස්වීමේ දී අපි ඒ ගැන කතා කළා. චෝදනා ඔප්පුවී නැති නිසා ඔවුන් ඉවත් කිරීමට ඒ අයගේ බලාපොරොත්තුවක් නැහැ. මට ඒකට බලපෑම් කරන්න බැහැ. 

අලුත්ගමගේ මහතා:-

කෝප් කමිටුව කියන්නේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුවට වග කියන උත්තරීතර කමිටුව. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ගෞරවය රැඳී පවතින්නේ මේක තුළයි. කමිටු සාමාජිකයන් හා චූදිතයන් අතර දුරකථන සංවාද පැවැත්වුණු බව කමිටු පරීක්ෂණවල දී ඔප්පු වුණා. ඉන් එහාට දෙයක් නැහැ. එහෙම අය පත් කරන්න තීරණය කරනවා නම් ජනතාව ඒවාට ඉදිරියේ දී උත්තර දේවි. අඩු තරමින් ඔබතුමාගේ ස්ථාවරයවත් මේ සභාවට කියන්න.

කතානායක:-

ඒ තීරණය ගන්න ඕනෑ ආණ්ඩු පක්ෂයයි. මට ඒකට බලපෑම් කරන්න බැහැ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා:-

වංචා දූෂණවලට සම්බන්ධ නොවුණු අයගෙන් කෝප් කමිටුව හැදෙනවා නම් තමයි හොඳ. කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් පර්පචුවල් සමාගමේ අය සමග ගනු දෙනු කළා නම් එතැන චෝදනාවකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. එවැනි පුද්ගලයන් මේ කමිටුවලට පත්කිරීමට සුදුසු නැහැ.

ඒ වගේම පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා තීන්දු මන්ත්‍රීවරුන්ට ගලා යන ක්‍රමවේදයක් අවශ්‍යයි. පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා තීරණ මන්ත්‍රීවරුන්ට නොයන නිසා මන්ත්‍රීවරුන් කිසිවක් නොදැන සමහර කරුණු උදේ මෙතැන කතා කරන්න පටන් ගන්නවා. ඒක අවුලක්. ඊයේ පක්ෂ නායක රැස්වීමේ දී එක තීන්දුවක් ගන්නවා. ඊට පසු දින මෙතැන ලොකු රණ්ඩුවක් යනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):

පක්ෂ නායක රැස්වීමට මුළු ඒකාබද්ධ විපක්ෂයෙන්ම යන්නේ දිනේෂ්  ගුණවර්ධන මහතා විතරයි. අපේ කණ්ඩායමේ තවත් දේශපාලන පක්ෂ තියෙනවා. අපිට 51 දෙනෙක් ඉන්නවා. 51 දෙනාම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීමට යා හැක්කේ එක්කෙනාටයි. මේක සාධාරණ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. විමල් වීරවංශට මේකෙ වාඩිවෙන්න ඉඩ දෙන්න කියලා අප මුල දී කිව්වා. ඉඩ දුන්නේ නැහැ. මෙහෙම කළාම පණිවුඩය මන්ත්‍රීවරුන්ට යන්නේ කොහොමද?

කතානායක:-

අපි කිසිම අවස්ථාවක තනි තීරණයක් අරගෙන නැහැ. 51 දෙනාත් සන්ධානයේ කණ්ඩායමක් ලෙසයි සලකන්නේ. බොරු චෝදනා නගන එක අසාධාරණයි. අපි සියලු තීන්දු ගන්නේ පක්ෂ නායක රැස්වීමේදීයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප):-

එක්සත් ජනතා සංධානයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා 51ක් විපක්ෂයේ අසුන් ගත්තා. දැන් ආයිත් දහසයේ කල්ලියක් ඉඳ ගත්තා. තවත් හයේ කණ්ඩායමක් ගියොත් ඒකට අවස්ථාව දෙන්න වෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණට කෝප් කාරක සභාවේ සභාපති තනතුර දුන්නා. ඒක වෙනස් වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. අප ඒක වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. බැඳුම්කර සිද්ධිය ගැන කෝප් කමිටුව ඉතාමත් සාධාරණ පරීක්ෂණයක් කළා. ඒ ගෞරවය මේ ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස):-

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව රාජ්‍ය ගිණුම් කාරක සභාවටත් පොදු ව්‍යාපාර කාරක සභාවටත් ඒවායේ සාමාජිකයන්ම පත් කෙරෙන ක්‍රමවේදයක් අපේ රටේ තිබී නැහැ. මේ වැදගත් කාරක සභා දෙකට අලුතින් සාමාජිකයන් පත් කරන්න.

කතානායක:-

අපි ඒ තීරණය ගත්තේ පක්ෂ නායකයන්ගේ එකඟත්වය ඇතිවයි. එහෙම නොකළා නම් ඒ කමිටු සක්‍රිය කරන්න තවත් මාස ගාණක් ගතවේවි. කල් යනවා. අවශ්‍ය වෙනස්කම් තියෙනවා නම් ඒවා කරන්නත් එකඟ වුණා.