එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි ගොනු කළ පෙත්සම් විභාගය 13 වැනිදා


(තිළිණි ද සිල්වා )
 
ඇමෙරිකාවේ  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  ආයතනය  මඟින් ඇමෙරිකා  ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා නීතීඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (07)  තීන්දු කරන ලදී.
 
 මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය , ප‍්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එදින පෙත්සම සලකා බැලීමට නියම විණි.
 
 මෙම කරුණට අදාළව තවත් පෙත්සම් දෙකක්ද මෙදින සලකා බැලෙන හෙයින් මෙම පෙත්සමද එදින අධිකරණය හමුවේ කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කරන ලදී.
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කියා සිටියේ මෙය මහජන උන්නතිය වෙනුවෙන් වන පෙත්සමක් වන හෙයින් මෙය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසය.
 
ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළ අතර පෙත්සම ලබන 13 වැනිදා සලකා බැලීමට කල් තබන ලදී.

අතුරුගිරියේ පදංචි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
 
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
 ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලයන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙයි යනුවෙන් පුවතක් ජනමාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කෙරිණි.
 
 මෙම පුවත දැන ගැනීමෙන් පසු පෙත්සම්කරු ඉමහත් ප‍්‍රකම්පනයට පත්විය.මෙම ගිවිසුම හේතුවෙන් අප රටෙහි ස්වෛරීභාවය,ජාතික ආරක්ෂාවට , භෞමික අඛණ්ඩතාවයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ඉමහත් අගතියක් සිදුවේ.
 
 මෙම ගිවිසුම සහ ඊට අදාළ තවත් ගිවිසුම් 2ක් ඇති බවද දැන ගන්නට ලැබිණි.ඉන්පසු පෙත්සම්කරු මේ පිළිබඳ වගඋත්තකාර අමාත්‍යවරුන් බාර අමාත්‍යාංශ වල තොරතුරු නිලධාරීන් ගෙන් මේ පිළිබඳව විමසා සිටියත් , ඔවුන් එවැනි ගිවිසුමක් නැතැයි කියා සිටියහ.මේ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කලද පළක් නොවිණි.
 
මෙම ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාකච්ඡාවක් පැවැත්වූ අතර පෙත්සම්කරුද ඊට සහභාගී විය.මෙම සාකච්ඡාවේදී විද්වතුන් කිහිප පෙළක් මෙම ගිවිසුමේ හරය පිළිබඳ පුළුල්ව අර්ථකථනය කළහ.
 
 මෙම දැනුම්වත් කිරීම අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10 , 12 (1)  , 14 (1) යන වගන්තීන් සෘජුවම උල්ලංඝණය වේ. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීයවේදීන්ට මෙරට කටයුතු කිරීමට හැකි වේ.තවද එක්සත් ජනපද ආරක්ෂක අංශයට ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට හැකි වීම , ඊට අමතරව ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථාන වලට මෙරට පුරවැසියන්ට ඇතුල් වීමට යම් බාධා කිරීම වලට ලක්වේ.
 
එබැවින්  මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත් , අදාළ ගිවිසුමට එළැඹීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙම ගිවිසුම මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.