(විජේරත්න රත්නායක)
ඌව පළාතේ සියළු උපකාරක පන්ති හා පෞද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති සියළු පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට මුද්‍රා තබන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
මේ වන විට පළාත තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පිටුදැකීම උදෙසා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගෙන ඇත.
ඌව පළාතේ පාසල් සිසු සිසුවියන් ගණන 2,86,414 ක් පමණ වන අතර ඉන් සියයට 90 ක් පමණ උපකාරක පන්තිවලට සහභාගී වන බවත් එසේ ළමුන් විශාල වශයෙන් එක් රොක් වන ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් වහාම ඒ සම්බන්ධව හදිසි වැටලීම් සිදුකොට පරීක්ෂා කරන ලෙසත් ආණ්ඩුකාරවරයා පළාත් පාලන කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇත.
එහිදී ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා ප්‍රජා පොලීසියේද සහයෝගයෙන් පළාතේ සියළු උපකාරක පන්ති හා පුද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර එහිදී අදාළ ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන පවතී නම් එම ආයතනයට එරෙහිව නඩු පවරන ලෙසත් උපකාරක පන්තිවල සිසුන්ට ප්‍රමාණවත් ඉඩකඩ, නිසි වාතාශ්‍රය, පන්ති තුළ හා අවට පවිත්‍රතාවය, වැසිකිළි කැසිකිළි පහසුකම් ආදී සියල්ල පරීක්ෂාවට ලක්කර කිනම් අයුරකින් හෝ ළමුන්ගේ සනීපාරක්ෂාවට හානිකර ලෙස පවත්වාගෙන යන උපකාරක පන්ති වහාම තාවකාලිකව තහනම් කරන ලෙස ඉන් දැනුම්දී ඇත.
එම වැරදි සහිත ආයතන බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ වැරදි නිවැරදි කර ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව පමණක් යළි එම පන්ති පවත්වාගෙන යාම සඳහා අවසර දෙන ලෙසද ආණ්ඩුකාරවරයා සිය ලිපියෙන් දන්වා තිබේ.

