ඉන්දියා විපක්ෂය තමිල්නාඩුවෙත් ඇස් අරවයි


ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ක්‍රියාකල අන්දම පිළිබඳව ඉන්දියා  රජයටත් තමිල් නාඩුවේ අනවශ්‍ය කලකෝලාහල ඇතිකිරීම සඳහා කටයුතු කරන ප්‍රාන්ත රජයටත් දොස් පවරණ භාරත මහජන පක්ෂ නායක වෙන්කයියා නායිදු " යුද්ධය පැවති කාලයේදී මේ පිළිබඳව කතා නොකලේ මන්දැයි " ප්‍රශ්න කරයි.

ඉන්දියා  පාර්ලිමේන්තු සැසිවාරයේදී  සිදුවුණ කල කොලොප්පම සහ ඉන්දියා  රජය ජිනීවාහිදී ක්‍රියාකළ අන්දම ගැන අප්‍රසාදය පළකරමින් දකුණු ඉන්දියාව පුරා පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳව අදහස් දැක්වීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු පැවසුයේ  "ශ්‍රී ලංකාවේ යුද්ධය පවතී කාලයේදී  කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් මධ්‍යම රජයේ හවුල් කාරයන් වූ බවයි. ඉතින් ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට බැටදෙනතුරු මධ්‍යම රජයත් තමිල්නාඩු ප්‍රන්ත රජයත් කටවහගෙන සිට යුද්ධය අවසන්වුවට පසු මේ නගන ඝෝෂාවේ තේරුම කුමක්දැයි කියා දැනගන්නට කැමතියි. ශ්‍රී ලංකා හමුදාවන් දරුණුලෙස ක්‍රියාකලායයි කියන කාලයේ ඉන්දියා  රජයත් තමිල් නාඩු ප්‍රාන්ත රජයත්  නිහඬව සිටියා. දැන් ශ්‍රී ලංකා හමුදාවන් නිහඬව ඉන්නා විට මේ දෙගොල්ලොම කෑකෝ ගහනවා. අලුතෙන් සද්ද කරන්න පටන් අරගෙන. මොකාටද මේ දෙගොල්ල මේ එන්න හදන්නේ? "  . 

"අපි සේරම මතක තියාගන්න ඕනෑ ඉන්දියා  හමුදාවත් ශ්‍රී ලංකාවේ ඔය කියන යුද්ධයේ හවුල් කාරයෝ කියල. ලංකා රජයේ ආරාධනයක් ලබා නොගෙන ඉන්දියා  සාම සාධක හමුදාවක් එහෙ යවල අපිත් නාගත්  බව අමතක කරන්න එපා. ඒකාලයේ ඉන්දියා  හමුදාවන්ටත් ඔය කියන චෝදනා එල්ලවූනා. 1987 සිට 1990 වෙනකල් අපගේ හමුදාවේ දහස් ගණනක් ඒ යුද්ධයට බිලිදුන්න.? ඒ කාලයේ ඔය ගොල්ලන් සද්ද නොකළේ මොන හේතුවක් උඩද?" කියා ප්‍රශ්න කරන වෙන්කයියා නායිදු මේවා ගැන ඉන්දියා  රජයත් තමිල්නාඩු ප්‍රාන්ත රජයත් උත්තර සැපයිය යුතුයැයිද අවධාරණය කර සිටී.

මේ ප්‍රශ්නය දැන් දුරදිග ගිහිල්ල ඉන්දියා  පාර්ලිමේන්තු සැසිවාරය පවා පවත්වාගෙන යාමට නොහැකිවන තැනට කටයුතු යෙදී තිබෙන බවත් මේවා ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව කෙරෙහි අනුකම්පාවකින් සිදුකරන දේවල් නොව  හුදෙක් දේශපාලන වාසි තකා සිදුකරන ආත්මාර්තකාමී ක්‍රියාවන් බවත් ඔහු කියා ඇත.

පාර්ලිමේන්තු සහ ප්‍රාන්ත රාජ්‍ය ආසන සංක්‍යාව අනුව භාරත ජනතා පක්ෂය ඉන්දියාවේ දෙවෙනි දේශපාලන බලවේගයයි.  

1998 සිට 2004 දක්වා අතල් බිහාරි වජ්පායි ගේ නායකත්වයෙන් පැවතී සභාග රජයේ ප්‍රධාන පක්ෂය වුයේ භාරත ජනතා පක්ෂයයි.