ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප‍්‍රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

අදාළ ප‍්‍රදාන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය මඟින් වාර්තා කර ඇති ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අද (31) සිය මතය දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘‘ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැති ලබා දීමේ පුවත පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම ප‍්‍රදානය වෙනුවෙන් දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමේ පිටපත නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති රාශියක් ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වගකිව යුතු වෘත්තීය සංවිධානයක් හැටියට මෙම ගිවිසුම ගැඹුරින් අධ්‍යනය කර විස්තර වාර්තාවක් සකස් කර ඇති අතර ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාවත් දැනුම්වත් කරනු ලැබ ඇත.ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා විසින් තම සංගමයට සිය ස්තූතිය පළ කරමින් ලිපියක්ද එවා ඇත.

රටක් මෙවැනි ගිවිසුමකට එළැඹීමට ප‍්‍රථම ඒ පිළිබඳ ජනතා අදහස් විමසා ඒ ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා සහ මත විමසීම් සිදුවිය යුතු බව අප සංගමයේ විශ්වාසයයි.එහෙත් , පුවත්පත් වාර්තා මඟින් හෙළිදරව් වනුයේ එවැනි කටයුත්තක් සිදු නොවූ බවය.

ජනතාව දැනුම්වත් නොකර මෙවැනි ගිවිසුම් වලට විවිධ රජයන් අත්සන් කිරීම් පිළිබඳ අතීතයේ  ඕනෑ තරම් උදාහරණයන් ඇත.

මෙම ගිවිසුමේ සැබෑ ස්වරූපය ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් නොදී මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.

එබැවින් කෙටි කාලීන ආර්ථික උවමනාවන් උදෙසා මෙම ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කරනු ලැබු විස්තර වාර්තාව අඩංගු දෑ සැකවින් මෙසේය.

මෙම ගිවිසුමේ ප‍්‍රඥප්තියේ ශ්‍රී ලංකා රජය යන්න වෙනුවට මූල්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නම් කර ඇත.මෙම තත්ත්වය සමස්ත ගිවිසුම ක‍්‍රියාත්මක වීමේදී බලපෑම් ඇති කරයි.

මෙම ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ ‘‘ ඕනෑම වෙනත් ගිවිසුමක් ’’ යන්න සඳහන්  වන අතර ඒ පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් නොමැත.මෙම තත්ත්වය අනාගතයේදී අහිතකර ලෙස බලපානු ඇත.

ගිවිසුමේ 2 වගන්තියේ අදාළ අරමුදලෙහි පොලිය පිළිබඳව නිවැරදි ලෙස අර්ථ දක්වා නොමැත.

3.3 වගන්තිය අනව ශ්‍රී ලංකා රජය ඉදිරියේදී එළැඹෙන වෙනස් ගිවිසුම් වලට මෙම ගිවිසුම සෘජුවම බලපෑම් කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම විදේශීය බලපෑම් එල්ලවේ.

ගිවිසුමේ ඇමිණුම් අංක අනුව මෙම ගිවිසුමෙන් මූලිකව ඉඩම් අලෙවි පිළිබඳ කරුණු ගෙන හැර පා ඇත.එය මෙරට ඉඩම් සංවර්ධන පනතට පටහැනිය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාර්ලිමේන්තුව සතුවේ.වෙනස් රටක ගිවිසුමක් මඟින් ඊට බලපෑම් කළ නොහැක.මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් සිදුවේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් බලවත් රටකි.එබැවින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම බලපෑම් සිදුවේ.

එබැවින් මෙම ගිවිසුම මඟින් සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බව ශ්‍රී ලංකා නීතීඥ සංමයේ මතය වේ.