අපේ පසුබෑමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ අසනීපත් බලපෑවා


ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ලද පසුබෑමට හේතුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අසනීපයෙන් සිටිමින් තරග කිරීමත් ඔවුන් තරග වදිද්දී පැවැති තත්ත්වයත් යයි ශ්‍රී ලංක මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20ක කණ්ඩායමක් සහභාගි වූවද ඉන්දියාවේ පූනේ නගරයේදී පෙරේදා (7) නිමාව දුටු 20 වෙනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කම් දෙකකට හා ලෝකඩ පදක්කමකට පමණක් සීමා විය.

”සොනාලි මෙරිල්, චන්ද්‍රිකා සුභාෂනී සහ මංජුල කුමාරගෙන් මෙදා ස්ථීර ලෙසම පදක්කම් අපේක්‍ෂා කළා.  ඒ නිසා තමයි අපි කිව්වේ මෙදා පදක්කම් හයකට යනවා කියලා”

”නමුත් අවාසනාවකට සෙනාලි වගේම චන්ද්‍රිකාත් අසනීපයෙන් ඉඳගෙනයි තරග වැදුණේ. මංජුල කුමාර පනිනකොට තිබුණ වැස්සත් ඔහුගේ දක්‍ෂතා පහළ වැටෙන්න වෙන්න බලපෑවා” යයි පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

”කොහොම වුණත් ආසියානු ශූරතාවලියේ දස්කම් අනුව ක‍්‍රීඩිකාවක් ලෝක ශූරතාවලියටත් සහභාගි කරවන්න හැකිවුණා. දැන් තියෙන්නෙ අඬ අඬා ඉන්නෙ නැතිව අළුත් මලල ක‍්‍රීඩා පරපුරක් හදන්න අළුත් උපායක් සොයා ගැනීමයි” යයිද මලල ක‍්‍රීඩා සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශූරතාවලියේ සත්කාරක ඉන්දියාව රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් පහක් හා ලෝකඩ පදක්කම් නවයක් දිනා ගනිමින් තරගාවලියේ හයවනි ස්ථානය ලැබීමට සමත් විය. දකුණු ආසියානු කලාපයේ සෙසු එකම පදක්කම්ලාභියා වූයේ ශ්‍රී ලංකාවය.

මෙවර දකුණු කොරියාවේ පසුබෑමද කැපිපෙනෙන අතර ඔවුන්ගේ මුළු පදක්කම් සංඛ්‍යාව ලෝකඩ පදක්කම් දෙකකට සීමා විය.
ජපානයේ කෝබේ හිදී පැවැති 19 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගත්තේය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙණුනු තරගකාරිය වූයේ හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලිය. ඇය මීටර 60.16 ක් දුරට හෙල්ල විසි කරමින් රිදී පදක්කමක් දිනාගත් අතර මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවට ද සුදුසුකම් ලැබුවාය.

 

ආසියානු මලල ක‍්‍රීඩා ශූරතා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනාගත් පදක්කම්   


        තරගාවලිය පැවැති නගරය    රන්    රිදී    ලෝකඩ

1. 1973     මැනිලා (පිලිපීනය)                -        -         -
2. 1975     සෝල් (කොරියාව)               -        -        01
3. 1979     ටෝකියෝ (ජපානය)             සහභාගිවී නැත
4. 1981     ටෝකියෝ (ජපානය)              සහභාගිවී නැත
5. 1983     ක්වේට්                          සහභාගිවී නැත
6. 1985     ජකර්තා (ඉන්දුනීසියාව)            -       -       -
7. 1987     සිංගප්පූරුව                         -       -       -
8. 1989     නවදිල්ලි (ඉන්දියාව)               -       -       -    
9. 1991      ක්වාලලාම්පූර් (මැලේසියාව)       -      -      01    
10. 1993     මැනිලා (පිලිපීනය)                 -      02     02
11. 1995     ජකර්තා (ඉන්දුනීසියාව)           02     01     02
12. 1998     ෆුකෝකා (ජපානය)               02       -      02
13. 2000     ජකර්තා (ඉන්දුනීසියාව)          04      01      -
14. 2002     කොළඹ (ශ්‍රී ලංකාව)              03     01      02
15. 2003     මැනිලා (පිලිපීනය)                01     01       01
16. 2005     ඉංචියොන් (කොරියාව)           02     02      02
17. 2007     අම්මාන් (ජෝර්දානය)            03     02      02
18. 2009     ගුවැංෂු (චීනය)                   01     01       -
19. 2011      කෝබේ (ජපානය)                  -       01      02
20 2013     පූනේ (ඉන්දියාව)                    -      02      01

*(1977 මැනිලා නුවරදී පැවැත්වීමට සූදානම් කර තිබූ තරගාවලිය අවලංගු කරන ලදී)