අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට සිට


ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් මෙහෙයව ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය හෙට (7) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. තරගාවලියට සිවුවැනි වරටත් සිලෝන් බිස්කට් සමාගම අනුග‍්‍රහය දක්වයි. පාසල් කණ්ඩායම් 23 ක සහභාගීත්වයෙන් 1993 වසරේදී මෙම තරගාවලිය ආරම්භවිය. පොලොන්නරුව, නුවරඑළිය, බණ්ඩාරවෙල, මොණරාගල, අම්පාර, හම්බන්තොට, අනුරාධපුර, මඩකලපුව, ත‍්‍රීකුණාමලය, යාපනය සහ වවුනියාව යන දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම ආවරණය කරමින් තරගාවලියට පාසල් කණ්ඩායම් සහභාගිවෙයි. මෙවර තරගාවලියට පාසල් කණ්ඩායම් 36 ක් සහභාගිවන අතර ඒ. බී. සී. සහ ඞී. ලෙස කාණ්ඩ හතරකින් කණ්ඩායම් තරග වදිති. තරගාවලියේ අවසන් දිනයේදී ආරාධිත පාසල් බාලිකා ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. රත්නපුර සුමන බාලිකා, බලපිටිය රේවත, කටුපොත විජය සහ බොරැල්ල ගෝතමී බාලිකා යන පාසල් හතරක් බාලිකා තරගාවලියට සහභාගිවේ. කොළඹ රාජකීය විදුහල 1993 වසරේ සහ 2001 වසරේ ශූරතාව දිනාගත් අතර නාලන්දා විදුහල 1996, 1998, 2000, 2004 සහ 2005 යන වසරවල ශූරතාව දිනා ගෙන තිබේ. පසුගිය වසරේ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහල විසින් දිනා ගන්නා ලදී.

කාණ්ඩ යටතේ තරග වදින කණ්ඩායම්:

‘ඒ’ කාණ්ඩය: මීගමුව මාරිස්ටෙලා, දෙබරවැව ම.වි, ගේට්වේ ජාත්‍යන්තර පාසල, කඳාන ද මැසනොද්, ගල්කිස්ස ශා.තෝමස්, මහනුවර ශා.අන්තෝනි, මලියදේව, ගාල්ල රිච්මන්ඞ් සහ නාලන්දා ‘බී’ කාණ්ඩය: ශා.බෙනඩික්, ශා.ජෝශප්, යාපනය කොකුවිප් හින්දු, පන්නිපිටිය ධර්මපාල, කොළඹ මහානාම, කළුතර ම.වි., පොලොන්නරුව රාජකීය සහ රාගම බැසිලිකා ‘සී’ කාණ්ඩය: තර්ස්ටන්, කේරි, මාතලේ ශා. තෝමස්, ඞී.එස්.සේනානායක, ශා.පීතර, කොළඹ රාජකීය, වෙන්නප්පුව ජෝශප් වාස් සහ මොරටුව වේල්ස් කුමර ‘ඞී’ කාණ්ඩය: මොරටුව ශා. සෙබස්තියන්, වත්තල ලයිසියම්, කන්තලේ ම.ම.වි, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර, ආනන්ද, පානදුර රාජකීය, හබරණ ඉසුරු ම.වි., සහ ඉසිපතන