පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දකුණු හෝකන්දර මංගල මාවතේ නිවසේදී මියගිය ළහිරු ජගත් දිසානායකගේ (24) පශ්චාත් මරණ පරික්ෂණ අද (27) පැවැත්වූ දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න දසනායක මහතා එම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දෙමින් මියගිය තරුණයාගේ සිරුරේ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට තීරණය කළේය.

ජයවර්ධනපුර රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් උදෑසන මරණ පරික්ෂණ සිදු කළ ජයවර්ධනපුර රෝහලේ හදිසි මරණ පරික්ෂක පී ටී ගලගෙදර මහතා මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වීමත්, මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ඒමත්, බෙල්ල ප්‍රදේශයේ තැලීම් ස්භාවයක් නිරීක්ෂණය කර මෙය සැකකටයුතු මරණයක් බව තීරණය කළයේ.

මරණ පරික්ෂක මේ බව කඩුවෙල මහසේත්‍රාත් අධිකරණයට දැන්වීමෙන් පසුව කඩුවෙල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් ස්ථාන පරික්ෂාවක යෙදීමෙන් පසුව ජයවර්ධනපුර රෝහලට ගොස් මියගිය තැනැත්තාගේ සිරුර පරික්ෂණයක් සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න දසනායක මහතා වෙත යොමුකර සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියට නියම කළේය.