ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ සහතිකය සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබා දීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවැත්විණි.

බෝවන රෝග පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කලාපීය රටවලට මෙන්ම ලෝකයටම ඉතා හොඳ ආදර්ශයක් ලබාදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය අධ්‍යක්ෂිකා පුනම් චෙත්‍රපාල් සිං මහත්මිය පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වු ඇය කියා සිටියේ බරවා මර්දනය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ලැබූ අඛණ්ඩ ක්‍රියාවලිය හේතුවෙන් බරවා රෝගීන් ඇතිවීමේ වේගය 1% කට වඩා අඩු අගයකට පහත දැමීමට හැකි වී ඇති බවයි. එනිසා බරවා රෝගය තුරන් කරන ලද කලාපීය රටවල් දෙක අතරට එකතුවීමට ශ්‍රී ලංකාවට හැකි වු බව ඇය පැවසුවාය.