හවුල් පක්ෂ නැතිව ශ්‍රීලනිපය ජනපති ළඟ


දේශපාලන මෙන්ම, ආර්ථික අර්බුද රැසක් හේතුවෙන් ඉකුත් සතියේ දේශපාලන කරළිය ආන්දෝලනාත්මක විය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැතිධුරවලින් ඉවත් කිරීමත් සමඟ ඔවුන් ආණ්ඩුව දිගින් දිගටම විවේචනය කරන්නට ද පටන් ගෙන ඇත. ඒ අතර, වසර දෙකක් පමණ තිස්සේ තද කරගෙන සිටි රුපියල ගිය සතියේ පා කරන්නට තීරණය කිරීමත් සමග රුපියල විශාල වශයෙන් බාල්දු වූ අතර, එය ආර්ථිකය දැඩි අර්බුදයකට ලක් කරමින් තිබේ.


ජනපති ශ්‍රීලනිප හමුව


දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ඒ ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුවය. මේ හමුව සඳහා ඇරයුම ලැබුණේද අරුමපුදුම ආකාරයකටය. ආණ්ඩුවෙන් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 ක නායකයන් ඉකුත් සතියේ සිකුරාදා දහවල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූයේ පළාත් සභාවේ හිටපු ඇමැතිවරුන් දෙදෙනකුය. ඒ හෙක්ටර් බෙත්මගේ සහ ගාමිණී තිලකසිරි ය. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් ඒ සඳහා සහභාගී නොවූ අතර, මාධ්‍ය හමුව යන අතරවාරයේදී ජනාධිපති කාර්යාලයෙන් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ගෙනි. ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15 කින් යුත් යෝජනාවලිය ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිතුමා දිනයක් ලබා දී ඇති බවය. ඒ අනුව අඟහරුවාදා හවස හතරට ජනාධිපති කාර්යාලට එන්නැයි ඔහු ශ්‍රීලනිපයට දැනුම් දුන්නේය.


පණිවිඩය ලැබෙන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටියේ ගාල්ල ප්‍රදේශයේ මගුල් ගෙදරකට සහභාගී වෙලා ය. සුගීෂ්වර බණ්ඩාර සවස 2ට පමණ මෛත්‍රීට ද කතා කර ජනාධිපතිතුමාගේ පණිවුඩය දැනුම් දුන්නේය. ඔහු කොළඹ පැමිණ මේ පිළිබඳව පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කළ අතර, ඔවුන් කීවේ සාකච්ඡාවට යාමට පෙර හවුල් පක්ෂ 10 සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුව ඇති බවය.
ඒ අනුව හවුල් පක්ෂවල නායකයෝ සෙනසුරාදා හැන්දෑවේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී හමුවූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මෙන්ම අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. මේ හමුව කැඳවා තිබුණේ ශ්‍රීලනිපය ජනාධිපතිවරයා හමු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී සමහරුන් කීවේ ශ්‍රීලනිපය අනෙකුත් පක්ෂ සමග ඇතිව තිබෙන එකතුව කඩන උපක්‍රමයක් බව ය. ජනාධිපතිවරයාගේ කැඳවීමට එකඟතාව පළ කර, ඊට සහභාගි වන්නැයි අනෙක් පක්ෂ නායකයෝ කියා සිටියහ. ශ්‍රීලනිප නායකයින් කීවේ ජනාධිපතිවරයා හමුවී කරන සාකච්ඡාවෙන් අනතුරුව හවුල් පක්ෂ නැවත දැනුවත් කරන බවය.


ජනාධිපතිවරයා හමුවන්නට යාමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සඳුදා හැන්දෑවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ නිල නිවසේ දී රැස්විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රූපවාහිනී සංවාදයකට සහභාගි වීමට යාමට තිබූ නිසා ඔහු එම රැස්වීමට සහභාගී නොවූ අතර, අනෙකුත් මන්ත්‍රීවරු ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර, පහුවදා හවස එකට හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දී නැවත හමුවී ඒගැන සාකච්ඡා කරන්නට ද තීරණය විය. ඒ අනුව ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට යාමට පෙර එදින සවස 1.00ට මහගම සේකර මාවතේ නිවසට ගොස් මෛත්‍රී හමුවිය. ශ්‍රීලනිපයේ ද ඇතැමුන්ගේ අදහස වූයේ හවුල් පක්ෂ සමග ඇතිව තිබෙන එකඟතාව ඈත් කිරීමට මේ හමුව ලබා දී ඇති බවය. එසේ වුවද ඊට සහභාගි විය යුතු බව ඔවුන් සියලු‍ දෙනාගේ අදහස විය.


ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම එදින සවස 4 ට ජනාධිපති කාර්යාලට ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, බැසිල් රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු ද, සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද සහභාගි වූහ. සාකච්ඡාව සවස 4.00 ට යොදාගෙන තිබුණත් 03:30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණේ ඔවුන් සියලු‍ දෙනා ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කළ යුතුව ඇති බැවිනි. සාකච්ඡාව සවස හතරයි කාලට පමණ ආරම්භ වූ අතර, ජනාධිපතිවරයා විනාඩි හතළිස් දෙකක් තිස්සේ, රටේ වත්මන් තත්ත්වය සහ ආර්ථික අර්බුදය ආදී කරුණු සම්බන්ධයෙන් දිග විස්තරයක් කළේය. පසුගිය කාලයේ පුරා කරන ලද වැඩකොටස් ගැන ද ජනාධිපතිවරයා කීය. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ද විනාඩි විස්සක පමණ පැහැදිලි කිරීමක් කළේය. ඔහු කීවේ රටේ ඇති අර්බුදයට රජයේ අවධානය යොමු කිරීමේ දී සීමිත පිරිසකගේ අදහස් අනුව වැඩ කිරීම නිසා ගැටලු‍ පැනනැගුණු බවය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ම පක්ෂ එක් කරමින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා අදහස් ලබා ගන්නැයි ද මෛත්‍රී ඉල්ලීමක් කළේය. ජනාධිපතිවරයා ඊට එකඟතාව පළ කළ අතර, එය අප්‍රේල් මාසයේ දී පමණ කැඳවිය හැකි බව කීවේය. ශ්‍රීලනිපයේ අදහස වූයේ එය අද හෙටම කළ යුතු බවය. ඒ අනුව ලබන 23 වැනිදා එම සාකච්ඡා පවත්වන්නට තීරණය වූ අතර, රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා ආර්ථිකය සම්බන්ධයෙන් පක්ෂයේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක් කළේය. ඔහු කියා සිටියේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම වැදගත් බවය. 2009 වර්ෂයේදී කොන්දේසි විරහිතව මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණය මුදල නිසා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව ඔහු කියද්දී, ජනපති හා අගමැතිගේ පැසසුමට එම ප්‍රකාශය ලක්විය. මේ කතාබහ යන අතරේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අපූරු කතාවක් කීවේය. සර් මේ මොනවා කිව්වත් ආණ්ඩුව අපට ගහනවා. මමත් පහුගිය කාලේ ආණ්ඩුව සමඟ සමීපව වැඩ කළා. ඇමතිවරුන්ගෙන් උදව් එහෙමත් ගත්තා. අපි මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල සෙට්වෙලා කතා කළා. හැබැයි සර්ගෙන් ළඟදී ඇමැතිකම ගත් එක්කෙනා නම් අපට දිගින් දිගටම ගහනවා. චාමර කීවේය.


විමල් වීරවංශ ,ගම්මන්පිල ඇමතිවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රීලනිපය ජනාධිපතිවරයා වෙත කනගාටුව පළ කළේය. එහිදී ජනාධිපතිවරයා කීවේ “ඇත්තටම ගම්මන්පිල අලු‍ත් කෙනෙක් වුණත් මාත් එක්ක දිගු කාලයක් වැඩ කරපු නිසා ඒ දෙන්නට හොඳ ඇමතිකම් දෙකක් දුන්නා. හැබැයි ඒ ගොල්ලෝ ආණ්ඩුවේ ඉඳන්ම ආණ්ඩුවට දිගින් දිගටම ගහන්න ගියාම මට තවදුරටත් බලාගෙන ඉන්න බැරි වුණා”‍ ජනාධිපතිවරයා කීවේය.


ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සාර්ථක වූ බව ශ්‍රීලනිප අදහස විය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාත් පක්ෂයේ මහලේකම්වරයාත් සාකච්ඡාව අවසන් වී දිගටම ගියේ ටිරාන් අලස්ගේ කාර්යාලයටය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස ද ඒ වන විට ටිරාන්ගේ කාර්යාලයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව ගැන මෛත්‍රී පැහැදිලි කරමින්, පක්ෂ නායකයින් දැනුවත් කළ අතර, සර්වපාක්ෂික සමුළුව ගැන ද පැහැදිලි කළේය. විමල් ගම්මන්පිල දෙදෙනා ඉවත් කිරීම ගැන ඔවුන් ජනාධිපතිවරයා හමුවේ කනගාටුව පළ කළ බව දයාසිරි කීවේය.


ඒ අතර හවුල් පක්ෂවල ඉදිරි වැඩපිළිවෙළ ගැන ද සාකච්ඡා වූ අතර දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමටත් නුගේගොඩ නගරයේ ජන රැළියක් පැවැත්වීමටත් එහිදී සාකච්ඡා විය.
මේ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. එය පැවැත්වුණේ ආණ්ඩුවේ පසුපෙළ විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. මේ හමුවට ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා හැර අනෙකුත් පසුපෙළ මන්ත්‍රීවරු සියලු‍ දෙනාම පාහේ සහභාගි වූහ. ප්‍රමිත කීවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ද ගැටලු‍ රැසකට මුහුණ දෙන්නට සිදුව ඇති බව ය. ඒ කෙසේ වුවද ආණ්ඩුව රැක ගැනීමට පසුපෙළ හැම විටම ඉදිරිපත්ව සිටින බව ඔහු කීවේය. මේ අතර, ජගත් කුමාර මන්ත්‍රීවරයාද කතා කළේය. ඔහු කිව්වේ “අපි මේ මොනවා කතා කළත් රටේ තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, විදුලිය කැපීමේ අර්බුද ආදී ප්‍රශ්න රැසක් තිබෙන බව ය. එම තත්ත්වය හමුවේ ෂෙඩ් ඉදිරිපිටින් යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජගත් කීවේය. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පිළිතුරු දෙමින් විහිළුවට මෙන් කිව්වේ මේ දවස්වල ෂෙඩ් ළඟින් යන එක නතර කරන්න කියාය. කෙසේ වුවද මේ අර්බුදවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බවද ඔහු කීවේය.


දත්ත ආරක්ෂණ පනත ගැන චරිත ඩලස් වෙනත් අදහසක


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එදින ආණ්ඩු පක්ෂ රැස්වීමේ දීර්ඝ වශයෙන් කතා බහට ලක්විය. ඊට හේතුව වූයේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානවල ද විරෝධය පළ වීම ය. කෙටුම්පත ගැන මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා විසිනි. ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම අනතුරුව ඒ ගැන කතා කළේ ය. ඔහු කීවේ පනත් කෙටුම්පත ගැන මාධ්‍ය සමාජයේ ප්‍රශ්න රැසක් මතු වී ඇති බව ය.
ඔවුන් මතු කරන ප්‍රධාන තර්කයක් වන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ වගන්ති මෙම නව කෙටුම්පත නිසා උල්ලංඝනය වන්නේ ද යන්න ගැනය . මාධ්‍ය සංවිධාන වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කරුණු දැක්වීමෙන් අනතුරුව මහාචාර්ය චරිත හේරත් ද ඒ ගැන කතා කළේ ය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජයේ තොරතුරු පොදු දේපළ බවට පත්කර තිබියදී දත්ත ආරක්ෂණ පනතෙන් එය සංකීර්ණත්වයට පත්කර තියෙනවා ද යන ගැටලු‍ව මතුවන බව ඔහු කීවේය. ඔහු උදාහරණයක් ද ඒ සඳහා ගත්තේය. සම්මුඛ පරීක්ෂණයට ගියොත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට සියලු‍ දෙනාගේ ලකුණු ඉල්ලන්න පුළුවන්. මේ පනතට අනුව සම්මුඛ පරීක්ෂණයෙන් තේරෙන කෙනා කිව්වොත් එයාගේ ලකුණු දෙන්න එපා කියලා ඒක නොදී ඉන්න පුළුවන්. අනෙක් අතට තොරතුරු දැනගැනීමේ පනත යටතේ නිලධාරියෙක් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් පත්කරනවා. මේ පනත යටතේ තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත්කරනවා. ඒකෙන් ගැටලු‍වක් මතු වෙනවා.”‍ යැයි චරිත කීවේය. ඊට පිළිතුරු දුන්නේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ය. ඔහු කීවේ මේ පනත සම්බන්ධයෙන් උසාවියක හෝ ප්‍රශ්න කිරීමක් සිදු වී නොමැති බවය. බැසිල් රාජපක්ෂ හා අලි සබ්රි යන ඇමැතිවරු දෙදෙනාද කීවේ මේ ප්‍රශ්න තිබේනම් පසුව ඒවා වෙනස් කළ හැකි බව ය.


තුන් නිකායේ ම මහනාහිමිවරුන් සජිත්ට ආශිර්වාද කළ හැටි!


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ‘‘ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන”‍ ගෞරව නාමය පිරිනැමීමේ පුණ්‍යමය කටයුත්ත ඉකුත් සිකුරාදා සිදුවිය.


අදාළ ගෞරවනාම සම්මානය වෙනුවෙන් දිවයිනේ ප්‍රකටතම සහ ගෞරවණීය භික්ෂූන් වහන්සේලා සජිත්ට සුබ පතන්නට අමතක කළේ නැත.


“විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් සිදුකරනු ලබන ජාතික, ආගමික, සාමාජික කටයුතු ද සැලකිල්ලට ගෙන මෙම සම්මාන උපාධිය පිරිනමන”‍ බව අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමියෝ මේ පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ.


‘‘සමාජ ප්‍රගමනය උදෙසාත්, ශාසනයේ සුරක්ෂාව උදෙසාත් ධර්මකාමීව කටයුතු කරන සත්පුරුෂයන් සම්මානයට පාත්‍ර කිරීම චිරාගත සාසනික චාරිත්‍රයක්. මල්වතු මහා විහාරය මගින් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” යන ගෞරව නාමයෙන් සම්භාවනාවට පාත්‍රව සිටින සජිත් ප්‍රේමදාස මහතා සමාජීය, ආගමික සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් එතුමන් ගෞරව නාමයකින් සම්භාවනාවට පත් කිරීම සන්තෝෂයට කරුණක්. සිය තනතුර හා ප්‍රතිබද්ධිත වගකීම් සමුදායන් මනාව පූර්ණය කරමින් සැබෑ මානව දයාවෙන් දේශයේ උන්නතිය උදෙසා කටයුතු කරනවා”‍ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු මහානාහිමියෝ සුබපැතූහ.


මීට පෙර මල්වතු අස්ගිරි පාර්ශ්වයන් මුල්කරගනිමින් විපක්ෂනායක සජිත් ට ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ‍ගෞරව නාමය පිරිනමා තිබේ.


“ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන්ම මේ විදිහට ආශිර්වාද ලබාගත්ත වෙන කිසිම නායකයෙක් ගැන අපි දන්නේ නැහැ”‍ ගයන්ත කරුණාතිලක කීවේය.


“ඔව් අපි අහල තියෙන්නෙ ජනරංජන අගමැති කියලා ඩඩ්ලි සේනානායක මහත්තයා ගැන. එතුමට මිනිස්සු එහෙම කීවා. ඔබතුමාට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ම ජනරංජන නාමය පිරිනමලා තියෙනවා. ඒක විශාල භාග්‍යයක්”‍ මහලේකම් රංජිත් එහෙම කීවේ ය.


කාන්තා දිනය දින හතක් සැමරූ සජබය


මේ අතර පසුගිය සතියට යෙදී තිබූ කාන්තා දිනය නිමිති කොටගෙන විපක්ෂනායක සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය දින හතක කාන්තා වැඩසටහන් මාලාවක් සකස් කළේ සමගි වනිතා බලවේගය සමග එක්වය.
ගම්පහ රත්නාවලි බාලිකා විදුහලට බස් රථයක් පරිත්‍යාග කරමින් ආරම්භ වූ එම කටයුත්ත පාසල් කිහිපයක ම ‘සක්වල’ වැඩසටහන් රැසක් දක්වාම ව්‍යාප්ත විය.


‘‘සම්මන්ත්‍රණ තියන්න ඕනැ කෙනෙකුට පුළුවන්. ශාලාවලට වෙලා කාන්තා දිනය සමරන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව අගයක් එකතු කරන්න බොහෝ දෙනෙක් කැමැති නැහැ. අපි අන්න ඒ වැඩේ තමයි කළේ.”‍ සජිත් කීවේය.


මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී ඔහු විපක්ෂයේ පක්ෂ නායකයින් මුණගැසුණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ගෙන යන සටනට සුමන්දිරන් ට සහාය පළ කරමින් ඊට සියලු‍ සහාය ලබාදෙන බවද සඳහන් කොට ඔහුට ලිපියක් භාර දීමට ද කටයුතු කළේය.


සජබ 15 වැනිදා කොළඹ වටලයි!


සමගි ජන බලවේගය ලබන පහළොස් වැනිදා ආණ්ඩුවට එරෙහි දැවැන්ත ම සටන කොළඹින් ආරම්භ කිරීමට නියමිතය.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ බංකොලොත්භාවයට පත්වන රට ඉන් මුදාගැනීම උදෙසා අරගලය ආරම්භ කිරීම එහි අරමුණයි.

‘‘රට විනාසයි, බේරාගනිමු”‍ යන්න තේමා කොට ගනිමින් එම විරෝධතා රැලිය පැවැත්වේ.


“දැන් මේ ආණ්ඩුව තියෙන්නෙ බිත්තර කට්ටක් වගේ. පොඩි තට්ටුවක් දැම්මොත් කුඩු.”‍ නලින් බණ්ඩාර කීවේය.


‘‘මේ වගේ පිස්සුවෙන් වැඩ කරන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේවත් තිබිලා නෑ.”‍
අශෝක් අබේසිංහ කීවේය.


‘‘හරීනුයි මනුෂයි දෙන්න ජිනීවා ගිහිල්ලා කරපු වැඩේ හරිම වටිනවා. වැඩෙන් ආණ්ඩුවට කට උත්තර නැති වුණා”‍ රාජිත සේනාරත්න කීවේය.


“ඒ විතරක් නෙමේ හිරුණිකා ජනාධිපති ගේ ඉස්සරහට ගිහිල්ලා කරපු විරෝධතාවය සමහරුන්ට අදහගන්නත් බෑ”‍ ඉරාන් වික්‍රමරත්න කීවේය.


“හිරුණකාට මැතිවරණ කාලයේ ගැහුවෙ යකඩ ගැහැනිය කියලා. ඇත්තටම ඒක හිරුණිකා ඔප්පු කළා. මේක කොච්චර ආණ්ඩුවට දැනිලා ද කිව්වොත් ඊට පහුවදා, පොහොට්ටුවේ හෙංචයියෝ වගයක් ඇවිල්ලා අපේ කාර්යාලයටත් ගැහුවා. ඔන්න විනයගරුක රට”‍ මහලේකම් රංජිත් කීවේය.


‘‘මේ හැම දේකින්ම ආණ්ඩුව පෙන්වන්නේ එයාලගේ තියෙන දුෂ්ටකම සහ දුර්දාන්තකම. අපි එක තත්පරේකටවත් හිරුණිකාට මේ ප්‍රශ්නයෙන් තනි වෙන්න දෙන්නෙ නෑ. මේ ආණ්ඩුව පන්නන සටන අපි නතර කරන්නෙත් නෑ”‍ සජිත් කීවේය.


රටේ තත්ත්වය කතා කරන්න ජවිපෙ පූජක පක්ෂය බැහැදකියි


රටේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණන්නැයි කතෝලික හා ක්‍රිස්තියානි පූජකතුමන්ලාත් විවිධ නායක හිමිවරුන් හා අනුනායක හිමිවරුන් කළ ඉල්ලීම අනුව උන්වහන්සේලා ඉදිරි සති කීපය තුළ බැහැදැක සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ පැවැති මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන්නේය.


කොස්වත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්වූයේය. එහිදී බංග්ලාදේශයේ සමාජවාදී පක්ෂයේ සමුළුවට සහභාගී වන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ආරාධනාවට අනුව එහි යැවිය යුත්තේ කවුද යන්න පිළිබඳව ප්‍රථමයෙන්ම සාකච්ඡාවට භාජනය කළේය. ඒ අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හා හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එම සමුළුවට සහභාගි කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට මධ්‍යම කාරක සභාව ඒකමතිකව අනුමැතිය පළ කළේය.
ගොවි ජනතාවට නිිසි පරිදි වන්දි ලබා නොදීම හා පොහොර ගැටලුවට විසඳුම් නොලැබීම පිළිබඳව හිටපු මන්ත්‍රී ලාල්කාන්ත මහතා මධ්‍යම කාරක සභාව හමුවේ කරුණු දැක්වූයේය. එහිදී ගොවිජන සම්මේලනය ලබන 29 වැනිදා පොළොන්නරුවේදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරයට හා ගොවි රැලියකට පක්ෂ නායක අනුර කුමාර දිසානායක, සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි විය යුතු බවට ගොවිජන සම්මේලනය කළ ආරාධනාවට අනුව ඔවුන් තිදෙනා එම සමුළුවට සම්බන්ධ වීමටද එහිදී තීරණය කරනු ලැබීය.


ඌව වෙල්ලස්ස ඉඩම් කොල්ලයට හා ප්‍ර​දේශයේ ගොවීන් දැනුවත් කිරීමට සෙනසුරාදා පැවැත්වෙන විරෝධතා පාගමන හා රැලිය පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී මධ්‍යම කාරක සභාව දැනුවත් කළේය. ඉඩම් හා ප්‍රදේශයේ පුරාවස්තු බේරාගැනීම මූලික කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවද මෙහිදී විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.


විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ තනතුරු අහිමි වීම පිළිබඳව ද කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණි. රජය ඇතුළත තවත් පිරිසක් එළියට යාමට සූදානමින් සිටින අතර ඉවත්වන අය යළි සම්බන්ධ කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා යම් උත්සාහයක යෙදෙමින් සිටින බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැහැදිලි කළේය. ආර්ථික අර්බුද උග්‍ර වනවිට ඇතුළත අයට එක්ව කටයුතු කළ නොහැකිවීමත් ජනතා විරෝධය ඉස්මතු වන ආකාරයක් මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සවිස්තරාත්මකව පැහැදිලි කළේය.


ත්‍රිරෝද රථ රියදුරන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව එක්ව ක්‍රියාත්මක විය යුතු බවට ත්‍රිරෝද රථ සංගම් ගණනාවක් කරන ලද ඉල්ලීමටද ජනතා විමුක්ති පෙරමුණේ එකඟතාව දක්වා ඇත.


25 වැනිදා සත්‍යග්‍රහයකට එජාපය සැරසෙයි


ජනතාවට පීඩාකාරී ලෙසින් රජය ගෙනයන වැඩපිළිවෙළට විරෝධය දක්වා ලබන 25 වැනිදා එක්සත් ජාතික පක්ෂය මගින් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා ආසන සංවිධායකවරුන්ට වගකීම් පැවරීම ඉකුත් සතියේදී සිදුවිය.


මේ සතියේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති කළමනාකරණ රැස්වීමේදී ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හයිඩ් පිටියේදී පැවැත්වෙන සත්‍යග්‍රහ ව්‍යාපාරයට දිස්ත්‍රික් මට්ටමින් හා ආසන මට්ටමින් සංවිධායකවරුන්ට වගකීම් පැවරීමේ කටයුත්ත නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට බාර කළේය.
ඒ අනුව රුවන් විජයවර්ධන මහතා ගිය සතියේ සිටම වැඩ ආරම්භ කළේය. ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී දිස්ත්‍රික් සංවිධායකවරුන් හා ආසන සංවිධායකවරුන් හමුවී සත්‍යග්‍රහ ව්‍යාපාරය සම්බන්ධ වගකීම් බාර දුන්නේය.


​මේ අතර ජාතික ආණ්ඩුවක් පිළිබඳව ඇති කතාබහ පිළිබඳව පක්ෂයේ ප්‍රධානීන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත.


මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ‘‘ජාතික ආණ්ඩු හදල නම් අගමැතිකම් ගන්න වැඩක් නැහැ. නායකතුමා දැන් අවස්ථා පහක් අගමැති වුණා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ නායකතුමා ජනාධිපති පුටුවේ වාඩිවෙන එකයි’ යනුවෙනි.


ඩොලරයේ අගය නිදහස් කිරීම පිළිබඳව කරුණු දැක්වූ රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ‘‘මහ බැංකුව ඩොලරය නිදහස් කිරීමත් සමග වාණිජ බැංකු ඩොලරයේ අගය රුපියල් 260ට ගෙනිව්චා. එය ඉතා හොඳ තීරණයක්. දැන් විදෙස් ශ්‍රමිකයන් වාණිජ බැංකු හරහා රටට ඩොලර් එවාවි’’ යනුවෙනි.


මේ අතර ලබන 25 වැනිදා පැවැත්වෙන සත්‍යග්‍රහයේ තේමාව ‘‘දැක්ම’’ වශයෙන් සඳහන් කර ඇති අතර එයට සහභාගි වන සියලු දෙනා සුදු පැහැයෙන් සැරසී සිටිය යුතු බව තීන්දු කර ඇත.


දේශපාලනයට ආ යුතු ආකාරය ගැන කරුගෙන් පාඩමක්


දේශපාලනය පිළිබඳ අධ්‍යයන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේ උත්සවය පැවැතියේ පසුගිය සතියේය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ කරු ජයසූරිය මහතාය. එහිදී ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන නවකයන්ට වැදගත් පාඩමක් කියාදීමට අමතක නොකළේය. 

 

‘‘දේශපාලනය ගැන ඉගෙන ගැනීම ඉතා වැදගත්. ඒ වගේම ඉගෙනුමකින් යුතුව දේශපාලනයට පිවිසෙන්නේ නම් එය ඊටත් වඩා වැදගත්. මොකද රටේ අනාගතය මෙහෙයවිය යුත්තේ දැනුමැත්තන් විසින් මිසක ලාබ ජනප්‍රියතාවයෙන් දේශපාලනය​ට පිවිසෙන්නන් විසින් නොවේ. එහිදී මා ඔබගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. ඔබ ​දේශපාලනයට පිවිසෙන්නේ නම් ඒ සඳහා යොමුවිය යුත්තේ එකම එක දෙයක් උපයාගැනීමට පමණයි. ඒ නිසා පිරිසිදු දෑතින් යුතුව දේශපාලනයට ඇතුළු වෙන්න ඒ වගේම දේශපාලනයෙන් නික්ම යන දවසටත් පිරිසිදු දෑතකින්ම යුතුව නික්ම යන්න’’ කරු ජයසූරිය මහතා කීවේය.

 

 

-ගජබා-