ලිට්‍රෝ සභාපතිට ආණ්ඩුවෙන්ම ​ෙචා්දනා


 

  • කබ්රාල් කීවේ මෙහෙම ගියොත් රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙනු ඇති බවය. එබැවින් රාජ්‍ය බැංකු දෙකෙන් ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ණය ලබාදිය නොහැකි බව ඔහු කීවේය. ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් ද ඔහු ඉදිරිපත් කළේ ඒ ගැන කඩිනම් අවධානය යොමු කරන්නැයි ඉල්ලමිනි.
  • ‘‘හැම අතින්ම ෆේල් ආණ්ඩුව දැන් හැමදාම පෙට‍්‍රල් පෝලිමකුත් හදලා. තෙල් නැතිව බස් මහ මග නතර වෙනවා’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාත් කතාවට එක්වූවේය.

 

 

ඩොලර් හිඟය ගිය සතියේ අර්බුද රැසකට මුල පිරුවේය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ඉන්ධන අර්බුදය යි. රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පෝලිම් ඇති වූ අතර, ප්‍රවාහන කටයුතු පවා අඩාළ වන තැනට තත්ත්වය දරුණු විය.


මේ අතර, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වූයේ සූම් තාක්ෂණය ඔස්සේය . සුපුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව , ඉන්ධන අර්බුදය ද සාකච්ඡාවට ලක්විය. ජනාධිපතිවරයා කියා සිටියේ ඉන්ධන අර්බුදය සම්බන්ධ ප්‍රශ්නය වෙනම සාකච්ඡා කළ යුතු බවය. ඒ සඳහා පසුදින විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවන බවත්, ඊට මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරින්ද කැඳවිය යුතු බවත් ජනාධිපතිවරයා කීවේය .


ඒ අනුව අඟහරුවාදා හැන්දෑවේ විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කලින් දින කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ නමුත්, මෙම රැස්වීම අතිශයින් වැදගත් වූ නිසා ඇමැතිවරුන් ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කැබිනට් ඇමැතිවරුන්ට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු මහ බැංකුවේ නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු මහා භාණ්ඩාගාරයේ නිලධාරීහු ද ඊට සහභාගි වූහ. විශේෂ කැබිනට් රැස්වීම කැඳවා තිබුණේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පමණක් වීමද විශේෂත්වයකි.


බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කරමිනි . ගම්මන්පිල කීවේ ඛනිජ තෙල් සංස්ථාව බරපතළම අර්බුදයට මේ වන විට ලක් ව ඇති බව ය. මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් නැවක් වරායට පැමිණ ඇති බවත්, එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඒ වන විට සිදුවන බවත් ඔහු කීවේය.


එසේ වුවද රට තුළ ඩීසල් ඇත්තේ තවත් දින දෙකකට පමණක් බව කී ගම්මන්පිල මෙට්‍රික් ටොන් 37,500 කින් යුතු ඩීසල් නැවක් වරායට පැමිණ ඇති නමුත් එය නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති බව කීවේය . එහිදී ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට වහාම උපදෙස් දුන්නේ එම ඩීසල් නැව ගොඩ බෑම සඳහා අවශ්‍ය ඩොලර් නිදහස් කරන ලෙසය. මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඩොලර් එවේලේම නිදහස් කිරීමට පියවර ගත් අතර, ඒ මොහොතේ සිටම ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදු වනු ඇතැයි ඔහු කීවේය
අනතුරුව කතා කළේ මහබැංකු අධිපතිවරයාය. ඔහු රැස්වීමට පැමිණ සිටියේ විශේෂ යෝජනාවලියක් ද රැගෙන ය. ඩොලර් හිඟයත් සමග ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන ඒම සඳහා වන යෝජනාවලියක් ද ඔහු රැගෙන විත් තිබිණි.


කබ්රාල් කීවේ මෙහෙම ගියොත් රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙනු ඇති බවය. එබැවින් රාජ්‍ය බැංකු දෙකෙන් ඛනිජ තෙල් සංස්ථාවට තවදුරටත් ණය ලබාදිය නොහැකි බව ඔහු කීවේය. ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් ද ඔහු ඉදිරිපත් කළේ ඒ ගැන කඩිනම් අවධානය යොමු කරන්නැයි ඉල්ලමිනි. රජයේ ආයතනවල සතියකට වැඩ කරන දින ගණන පහේ සිට හතර දක්වා අඩු කිරීම, එම දින හතරේ උදේ හතයි තිහේ සිට සවස පහයි තිහ දක්වා  විවෘත කර තැබීමට, පෞද්ගලික වාහන පරිහරණය අවම කර පොදු ප්‍රවාහනයට යොමු කරවීම ඇතුළු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ ඔහු ඉල්ලීමක් කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමේ ලොකු කැම්පේන් එකක් කළ යුතු බවය . ඒ සමගම ඔහු යෝජනා කළේ අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය තවදුරටත් සීමා කර, ඒවායෙන් අයකරන බදු ප්‍රමාණය ද වැඩි කළ යුතු බවය. යෝජනාවලිය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ලක්විය . ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේ බැංකු අධිපතිවරයා කර ඇති යෝජනා දැනටත් ක්‍රියාත්මක වන බව ය. ඒ නිසා එම යෝජනාව අලු‍තින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බව ඔහු කීවේය .


ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරු ගණනාවක් ම අදහස් දැක්වූහ. එහිදී ජනාධිපතිවරයා කීවේ ඉන්ධන හිඟයක් ඇති නොවන ආකාරයට වෙ​ෙළඳපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසය . මේ සාකච්ඡාව පැය තුනක් පමණ තිස්සේ පැවැත්වුණු නමුත් අර්බුදය විසඳන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි විය.


ලිට්‍රෝ සභාපතිට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගිටියි


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඉකුත් සඳුදා දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ සතියේ කටයුතු විනාඩි කිහිපයක් තුළ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක් වුණේ වෙනත් කරුණු සම්බන්ධයෙනි. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දා ඇතිවූ ගෑස් හිගයට හා ගෑස් පුපුරායාමට ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වගකිව යුතු බවය. ඒ පිළිබඳ කතාව පටන් ගත්තේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය .”‍ලිට්‍රෝ සභාපති නොවැම්බර් පස් වැනිදා මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා ගෑස් මිල දී ගැනීමේදී වංචාවක් වෙලා කියලා. හැබැයි දැන් ඉන්න සභාපතිතුමා මිලදී ගන්නේ ඒ ගත්ත ගානට වැඩියෙන් . ඕමාන් සමාගමක් ගෑස් සියයට 2.5 පොලියට ඩොලර් මිලියන 500ක ණයක් දෙන්න එකඟ වුණා . ඒකත් මේ සභාපතිතුමා ප්‍රතික්ෂේප කළා. එහෙම කරලා මේ සභාපතිතුමා වෙනත් කම්පැනියකට ගෑස් ටෙන්ඩරය දුන්නා. මේ ගෑස් අර්බුදයට වග කියන්න ඕන සභාපතිවරයා. එතුමා ලක්ෂ 35 ක වැටුපක් ගන්නවා. ආරක්ෂකයන් පහක් තියාගෙන ඉන්නවා. අපි රට වටේ ගිහින් ශාඛා සංවිධාන හදලා කාන්තා සමිති කැඳවලා පක්ෂය ශක්තිමත් කරනවා. හැබැයි අපි කරන දේවල් ඔක්කොම මේ සභාපතිවරයා විනාශ කරනවා. ඒකට එතුමාට ලක්ෂ 35ක වැටුපකුත් ගෙවනවා. මේ වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගේ මාසික වැටුප යැයි ප්‍රමිත කීවේය. මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි ජනාධිපතිතුමාගෙන් සහ මුදල් ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය .
ඊළඟට කතාබහට ලක්වුණේ විදුලි අර්බුදය සම්බන්ධයෙනි. එහිදී මන්ත්‍රීවරුන් ගණනාවක් චෝදනා කළේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකටය. ඔහු මාධ්‍ය හමුවට එන එක වළක්වන්නැයි ඔවුහු ඉල්ලීමක් කළහ . මාස තුනක් යනතෙක් විදුලිය කපන්නේ නැතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට සතියකට පමණ ඉහතදී ප්‍රකාශ කළ බවත්, ඉන් දවස් දෙක තුනක් යන්නත් කලින් ඔහුම මාධ්‍ය හමුවලට ඇවිත් ලයිට් කපන බව කියා සිටි බවත් ඔවුහු සඳහන් කළහ. මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වන බවද ඔවුහු කීහ.


ආණ්ඩුවේ මන්ත්‍රීලා රසායනික පොහොර ඉල්ලති


කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගිය සතියේ පාර්ලිමේන්තුව දී පැවැත්වුණේ මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙනි . රාජ්‍ය ඇමතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩී.බී. හේරත් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඊට සහභාගි වූහ. එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඉල්ලීමක් කළේ ගොවීන්ට වෙ​ෙළඳපොළෙන් රසායනික පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසය . ඒ ගැන වැඩියෙන් කතා කළේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. මා නියෝජනය කරන්නේ ගොවිබිමක්. අපේ ප්‍රදේශවල ගොවීන්ට සාධාරණ මිලට යූරියා ටිකක් වෙ​ෙළඳපොළෙන් මිලදී ගන්න අවස්ථාව දෙන්න. ගොවීන් තරම් කිසි කෙනෙක් මහන්සි වෙන්නේ නෑ. ඔවුන්ට බටා නෑ. ඕ ටී නෑ. දීමනා නෑ. මේ මිනිස්සුන්ට පොහොර ටික දීලා මේක ගොඩ ගන්න උදව් කරන්න ඕනෑ යැයි ප්‍රමිත කීවේය. ඊට පිළිතුරු දෙමින් ඇමති මහින්දානන්ද අලු‍ත්ගමගේ කීවේ පෞද්ගලික අංශයට රසායනික පෝර ගෙන්වීමට අවස්ථාව සලසා දී ඇති බව ය .


ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයෝ මෛත්‍රී හමුවෙති


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ පිරිසක් ඉකුත් බදාදා රාත්‍රියේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී ඔහු හමු වූහ. ඒ ප්‍රධාන කාරණා දෙකක් හේතුවෙනි. එකක් හවුල් පක්ෂවල ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කිරීමය.


දෙවැන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හවුල් පක්ෂ ලබන දෙවැනි දා ආණ්ඩුවටත් ජනතාවටත් ඉදිරිපත් කිරීමට යන යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ය. වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්නා ආකාරය පිළිබඳ විකල්ප යෝජනාවලියක් ලබන දෙවැනි දා මාදිවෙල මොනැක් ඉම්පීරියල්හිදී එළිදක්වන්නට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ සැලසුම් කර සිටිති. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, ඩියු ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න යන මහත්වරු ද , අතුරලියේ රතන හිමියෝ ද සහභාගී වූහ. රට තුළ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ අතර, ආණ්ඩුව ඊට මුහුණ දීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග එතරම් සාධනීය නොවන බව ඔවුන්ගේ අදහස විය. එබැවින් ආහාර අර්බුදය, මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අකටයුතුකම්, කර්මාන්ත පණ ගැන්වීම, දූෂණය පිටුදැකීම ආදී කාරණා මෙන්ම ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආදී ඇතුළත් යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ඔවුහු කියා සිටියහ. එය නම් කර ඇත්තේ ‘මුළු රටම හරිමගට ජාතික ප්‍රකාශනය’ යනුවෙනි .


අඳුරට එරෙහිව විපක්ෂය ‘‘ටෝච්’’ දල්වයි


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ කටයුතු සමග තරමක් කාර්යබහුල වී සිටියේය. ඒ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයද සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වු​ණේය.
සමගි ජන බලවේගයේ සංවත්සරය පැවැති සල්ගාදු ක්‍රීඩා පිටියේදීම සමගි ජන බලවේගයේ සංවත්සරය පැවැත්වීම ගැන එහිදී වැඩිදුර සාකච්ඡා වූවේය.


‘‘පොහොට්ටුවේ රැස්වීමට සෙනග ආවේ නෑ. සල්ගාදු පිටියේ මැද තමයි මේ පාර ස්ටේජ් එක ගහලා තිබු​ණේ අපිට මේ වගේ හත් අට ගුණයක සෙනග ගේන්න පුළුවන් ’’චන්ද්‍රානි බණ්ඩාර හිටපු මන්ත‍්‍රීවරිය සහතිකයක් දුන්නාය.


සජිත් මේ සතියේ පාර්ලිමේන්තුවට ගියේ රටේ දැවෙන ප‍්‍රශ්න කිහිපයක් ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින්ය. මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදුව තිබෙන ගැටලු‍ ගැන ඔහු පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු කළේ මාධ්‍ය ආරක්ෂාව සහතික කළ යුතු බව අවධාරණය කරමිනි.


‘‘රජයේ නිල හා නොනිල හස්තයන් උපයෝගී කර ගනිමින් මාධ්‍යවේදීන්ටත්, භාෂණයේ නිදහසටත් සිදුකරන තර්ජනවල වැඩි වීමක් පසුගිය කාලසීමාවේ දී දක්නට ලැබුණා. මෙය ආරම්භ වූයේ ලේක් හවුස් මාධ්‍යවේදී මධුක තක්ෂල ප්‍රනාන්දුට සිදු කළ පහරදීමෙනි. ඉන්පසු, රම්සි රාසික් නම් තරුණයා සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී චතුරංග අල්විස් අත්අඩංගුවට ගැනීම, එහනෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම, චිරන්ත අමරසිංහ, සුදන්ත තිලකසිරි, අසේල සම්පත්, ශෙහාන් මාලක සහ මනෝරම වීරසිංහ වැනි සමාජ ක්‍රියාකාරීන් හඳුනාගත් හා නොගත් හේතුවලට රහස් පොලීසියට කැඳවීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජනය කිරීම, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයන් එල්ල කිරීම ආදී බොහෝ සිද්ධීන් මේ ආණ්ඩුව බලයට පත්වුණාම තමයි සිදුවු​ණේ’’ සජිත් සිහිපත් කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන්ද සජිත් පාර්ලිමේන්තුවේදී තද ප‍්‍රකාශයක් කළේය. ඔහු ස්වභාවික මරණයක් කරා රජය විසින් තල්ලු‍ කරමින් සිටින බවටත් ඔහු චෝදනා කළේ ආණ්ඩුවේ රිදෙන තැන්වලට පහර දෙමින්ය.


බදාදා දිනයේදී පාර්ලිමේන්තුවට ගිය සජිත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ඒ වන විට වර්ධනය වෙමින් තිබූ බලශක්ති අර්බුදය ගැන අවධානය යොමු කරමින්ය.


‘‘දැන් තෙල් ඇමැති ඉන්දියාවෙන් තෙල් ඉල්ලගන්න නැව්වලටත් නගිනවා. ණයට එන ඉන්ධන නැවට ගොඩවෙලා ඇමැතිවරු උත්සව තියනවා. උත්සවයක් තියන්නේ සුවිශේෂී කරුණක් වෙනුවෙන් කියන එක මේ අය අමතක කරලා. මගේ ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝඩි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමතිවරුම මෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න කොඩි දාපු අයටම යන්න වුණ එක නම් දෛවයේ සරදමක්’’ සජිත් කීවේය.


‘‘තෙල් ප‍්‍රශ්නය වගේම විදුලිය ප‍්‍රශ්නයත් බරපතළ විදියට මතුවෙමින් තිබෙනවා. එක දවසකට විදුලිය කපන්නේ නෑ කියනවා. තව වෙලාවකට පැය ගණනක් විදුලිය කපනවා කියනවා. මේ රටේ ජනතාවගේ ජීවිත අඳුරටම දාන්න විතරයි මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.
‘‘හැම අතින්ම ෆේල් ආණ්ඩුව දැන් හැමදාම පෙට‍්‍රල් පෝලිමකුත් හදලා. තෙල් නැතිව බස් මහ මග නතර වෙනවා’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාත් කතාවට එක්වූවේය.


‘‘අපේ ආණ්ඩුවක් යටතේ මේ සියලු‍ම ප‍්‍රශ්නවලට විසඳුම් දෙනවා. අපි ජනතාවටත් විකල්පයක් තෝරා ගන්නා විට මෝස්තරයට විකල්ප තෝරාගන්න එපා කියන එක මතක් කරන්න ඕනෑ’’ සජිත් කළ යෝජනාවට එතැන සිටි මන්ත‍්‍රිවරු සියලු‍දෙනාම එකඟ වූහ.


මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙක් සමග සාකච්ඡා කරමින් සිටි සජිත් පාර්ලිමේන්තු සභා ගර්භයට ගියේ බලශක්ති ක්ෂේත‍්‍රය මුහුණදෙන ගැටලු‍ ගැන අවධානය යොමු කිරීමටය. ආණ්ඩුවට සෘජු ප‍්‍රශ්න පහක් ඔහු යොමු කළේ මේ ගැටලු‍වට ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවද අවධාරණය කරමින්ය.


පාර්ලිමේන්තුවට ටෝච් ආපු හැටි


බලශක්ති අර්බුදය ගැන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ යළිත් අවධානය යොමු කළේ විරෝධතාවයක් පවත්වමිනි. ටෝච් රැගෙන ඒවා දල්වමින් පාර්ලිමේන්තුවේ කළ විරෝධය සංවිධානය කර තිබුණේ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාය.


දින කිහිපයකට පෙර ඔහු තමන්ගේ හිතවතෙකුට දැනුම්දී තිබණේ කොතැනකින් හෝ කුඩා ප‍්‍රමාණයේ ටෝච් පනහක් හැටක් සොයා දෙන ලෙසය.


‘‘ලොකු ටෝච් එපා. පොඩි, සාක්කුවේ දාගෙන යන්න පුලු‍වන් ටෝච් ටිකක් හොයලා දෙන්න’’ හරින් කළ ඉල්ලීම අනුව ඔහුගේ හිතවතා පිටකොටුවේ කඩවල් ගණනාවකට ගොස් කුඩා ප‍්‍රමාණයේ ටෝච් මිලදී ගෙන හරීන්ට ලබාදුන්නේය.


පෙර දිනයේ සවස හරින් සූක්ෂමව ඒවා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයට ගෙන ආවේය. එතැන් සිට විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් ටෝච් එකින් එක අරගෙන සභා ගැබට ගොස් සභා ගැබේදී ටෝච් දල්වා විරෝධය දක්වා තිබුණේය.


රටේ තත්ත්වය ගැන ජවිපෙ විශේෂ කතාබහක


රටේ ජනතාව මුහුණ පා සිටින බරපතළ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කළේය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක හා ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්විය.


රට ආර්ථික වශයෙන් අන්තිම, විදුලිය හා තෙල් අර්බුදය, ඩොලර් නොමැතිවීම ගොවි ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.


ගොවීන් මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව මෙහිදී ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය. ‘‘ගොවි ජනතාව තුළ රජය කෙරෙහි දැඩි විරෝධයක් ඇතිවී තිබෙනවා. වන්දි ගෙව්වා කියලා මහින්දානන්ද කයිවාරු ගැහුවට ඒක හරියට කෙරෙන්නෙත් නැහැ. මේකට මොනව හරි කෙරෙන්න ඕනෑ. නැතිනම් ගොවි ජනතාවට යන්න එන්න තැනක් නැතුව යනවා. යනුවෙන් නාමල් කරුණාරත්න මහතා ගොවි ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ගොවි ජනතාව ගැන රජයට කිසිම හැඟීමක් නැති බවයි. ගොවීන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විරෝධතා රැලියක් අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ පැවැත්වීමට මෙහි දී එකඟතාවයකට එළඹි අතර විරෝධතා රැලිය පැවැත්වෙන නියමිත ස්ථානය පිළිබඳව පසුව තීරණය කිරීමට ද සාකච්ඡා විය.


ඌව - වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් සමන්ත විද්‍යාරත්න මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේ ‘‘ගොවි ප්‍රශ්නය වගේම ඌව - වෙල්ලස්ස ඉඩම් කොල්ලයක් බොහෝ දරුණු විදියට පවතිනවා. මේකටත් මොනව හරි කරන්න වෙනවා’’ කියාය.


මේ අතර ‘‘ගමින් පටන් ගමු’’ වැඩසටහන යටතේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද තීරණය කරනු ලැබීය. පක්ෂයේ ජාතික මට්ටමේ නායකයන් මෙම රැස්වීම්වලට සම්බන්ධව කිරීම සඳහා ඔවුන් ඒ ඒ ප්‍රදේශවලට යෙදවීමට තීරණය විය.


මේ අතර ජාතික ජන බලවේගය තංගල්ලේ පොළ භූමියේ දී ප්‍රථම වරට සෙනසුරාදා (26) රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය ඉරිදා (27) පැවැත්වීමට ද නියමිතව තිබුණි.


ව්‍යවස්ථාව ගැන සංවාදයකට කරු මොනරාගල යයි


යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සමාජ සංවාදයකට මුල පුරා ඇති කරු ජයසූරිය මහතා එහි තවත් පියවරක් ඉදිරියට තැබීය. ඒ පසුගිය 22 වැනිදා මොනරාගලදීය. ප්‍රදේශයේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම බදුල්ල රදගුරුතුමා ඇතුළු කතෝලික ක්‍රිස්තියානි පූජකතුමන්ලා ද හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන් මෙන්ම සිවිල් හා දේශපාලන නියමුවෝ රැසක් ද ඒ සඳහා සහභාගී වී සිටියහ.
මොනරාගල පැවැති සමාජ සංවාදයට දින දෙකකට පෙර කරු අනුරාධපුර බලා පිටත්ව ගියේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපතිවරයා ලෙස තවත් ඉතා වැදගත් කටයුත්තකට ය. රාමඤ්ඤ මහා නිකායේ හිටපු අනුනායක හිමි නමක වූ අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද හිමිපාණන්ගේ තෙවැනි ගුණානුස්මරණ වැඩ සටහන පසුගියදා සිදු කෙරුණේ අනුරාධපුරයේදීය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ කරු ජයසූරිය මහතාය.

 

-ගජබා-