පොහොට්ටුවේ රැලියට විපක්ෂයෙනුත් රැලියක්


 

  • ඇමැති නිමල් ජවිපෙ උද්ඝෝෂකයන්ට එක්වෙයි
  • ආණ්ඩුව රටටම පික්පොකට් ගහනවා

 

 විපක්ෂයේ පක්ෂ පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව රට පුරා මතයක් ගෙන ගියේ පොහොර ප්‍රශ්නය ඇතුළු කාරණා රැසක් අල්ලා ගනිමිනි .ආණ්ඩුව ද ඒ සඳහා කොළඹ සිට උත්තර දුන්නද එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නොතිබිණි. එබැවින් විපක්ෂය නගන චෝදනාවලට ගම්වලට ගොස් උත්තර දෙන්නට ආණ්ඩුවද තීරණයක් ගත්තේය. ඒ ආණ්ඩුව වශයෙන් නොව පොහොට්ටුව වශයෙනි. ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ ද ගොවි ජනතාව වැඩි වශයෙන් සිටින අනුරාධපුරයයි.   


අනුරාධපුරයේ රැස්වීම පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එම පක්ෂයේ ජාතික සංවිධායක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසිනි. රැස්වීම් මාලාව අනුරාධපුරයෙන් ආරම්භ කරන්නට බැසිල් කතා කරද්දී සමහරුන් ඒ සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් පළ නොකළේ මේ අවස්ථාවේ ගොවීන්ගේ ප්‍රශ්නද තිබෙන බව කියමිනි. බැසිල් කීවේ එය අනුරාධපුරයට ගෙන යාම වඩාත් උචිත බව ය. ඒ අනුව රැස්වීම සංවිධානය කිරීමේ කටයුතුවල වැඩි වගකීමක් බාර ගත්තේ දිස්ත්‍රික්කයේ නායකයා වන එස්.එම්. චන්ද්‍රසේන සහ ඔහුගේ සහෝදරයා වන හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුනුත් සහභාගි වූ එම රැස්වීම ගිය සතියේදී අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙනි. ආණ්ඩුව පසුගිය කාලයේ ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන් දැනුවත් කරන්නට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැති ඇමැතිවරුත් පියවර ගත්හ.   
ඊට සහභාගි වූ ජනාධිපතිවරයාත් ඇමැතිවරයාත් එදින රාත්‍රිය ගත කළේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පහුවදා ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ද වැඳ පුදා ගත් අතර හවස්වරුවේ අගමැතිවරයා කොළඹ බලා ආවේය. බැසිල් ඇමැතිවරයා එදින නතර වී සිටියේ පහුවදා වව්නියාව පැවැත්වෙන උත්සවයකට සහභාගී යුතුව තිබූ නිසාය.   


 ගම්මන්පිලට එරෙහිව පසුපෙළ යළි නැගිටී   


 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය සඳුදා දහවල් රැස්වූයේ සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී වූ මේ රැස්වීමට මන්ත්‍රීවරුන් 33 දෙනෙකු හැරෙන්නට අනෙක් සියලු‍ දෙනා සහභාගි වී සිටියහ. මෑතකදී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා දී ඊට සහභාගි විය. පාර්ලිමේන්තුවේ සතියේ කටයුතු සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කරුණු ගැන සාකච්ඡාව ආරම්භ විය. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මහපොළ අරමුදල ලලිත් ඇතුලත්මුදලි අරමුදල ලෙස සංශෝධන කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැන පැහැදිලි කළේය.   


 සාකච්ඡාව යන අතරේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් මතු කළේය. ජනාධිපතිතුමනි, මං මේ ප්‍රශ්නය අහන්නේ පැහැදිලි කිරීමක් කර ගන්නයි. ඔබතුමා ළඟදී පාර්ලිමේන්තුවේදී කිව්වා රටේ ආර්ථික අර්බුදය ඇතිවෙලා තියෙන්නේ කොවිඩ් ප්‍රශ්නය නිසා කියලා. ගම්මන්පිල ඇමැතිතුමා කියලා තියනවා මේ අර්බුදය කොවිඩ් නිසා නෙවෙයි ණය අර්බුදය නිසා ඇතිවූ අර්බුදයක් කියලා.   


 දැන් අපි කාන්තා සංවිධාන එහෙම කැඳවලා රටේ ප්‍රශ්න ගැන දැනුවත් කරනවා. එතනදී අපි කියන්නේ කොවිඩ් නිසා මේ ප්‍රශ්න ඇතිවුණා කියලා. එහෙම තියෙද්දී මේ විදියට ඇමැතිවරු වෙනත් කාරණා මතු කිරීමෙන් අපි කරන දේවල් වලින් ප්‍රයෝජනයක් තියෙනවද?”‍ කැටගොඩ විමසීය.   


 ඒ සඳහා මුලින්ම පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයාය. ලෝකෙම රටවල්වල ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ කොවිඩ් නිසා කියලා හැමෝම දන්නවා. අපිට පිටරටින් එන විදේශ ප්‍රේෂණ අඩු වුණා. සංචාරක ව්‍යාපාරය නැති වුණා. ඉතින් ඒ ප්‍රශ්න නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ඒක හැමෝම දන්නවනේ. ඒ නිසා ඇමැතිවරුන් අදහස් දක්වනකොට වගකීමකින් කතා කරන්න ඕනැ”‍ ජනාධිපතිවරයා කීවේය   
අනතුරුව කතා කළේ ගම්මන්පිල ඇමැතිවරයාය. ඔහු කතා කළේ ඔහු කර තිබූ කතාව සාධාරණීයකරණය කරමිනි.”‍ මම කිව්වේ ඇත්ත. මම කිව්වේ කොවිඩ් ප්‍රශ්නය විතරක් නෙවෙයි, ණය අර්බුදයත් මේකට බලපාල කියලා.   


මම මේක කැබිනට් එකෙත් පාර්ලිමේන්තුවෙත් වෙනත් තැන්වලත් මීට පෙර කියලා තියනවා. හැබැයි මාධ්‍ය මේක අල්ල ගත්තෙ මම පෙරේදා කියපු කතාවකදී. මම කියන්නේ මේ ආර්ථික අර්බුදය කොවිඩ් නිසා විතරක් ඇතිවෙච්ච එකක් නෙමෙයි.   


ණය අර්බුදයත් මේකට බලපාල තියෙනවා. සාමාන්‍යයෙන් ආනයනය සඳහා, අපනයන ආදායමට අමතරව තවත් ඩොලර් බිලියන 8ක පමණ මුදලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ අතර ණය ගෙවන්න ඩොලර් බිලියන හතක් විතර යනවා. එතකොට අවුරුද්දකට ඒ සඳහා යන වියදම ඩොලර් බිලියන පහළොවක් පමණ වෙනවා. රට හොඳටම තියෙන කාලෙත් අපිට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණෙ ඩොලර් බිලියන හතරයි. හොඳටම විදේශ ප්‍රේශන ලැබුණ කාලෙ අපට ලැබුණේ ඩොලර් බිලියන හතයි. එහෙම බැලු‍වහම ඔක්කොම එකතුවුණාම අපට එන්නේ ඩොලර් බිලියන 11යි. ඉතුරු හතර පියවගන්න අපට ණය ගන්න වෙනවා. මම මේකයි පැහැදිලි කළේ. මං මේ කියූ දේ ගැන මම ඕනැ කෙනෙක් එක්ක විවාදයකට එන්න ලෑස්තියි.”‍ ගම්මන්පිල පැහැදිලි කළේ ඔහු කළ ප්‍රකාශය සාධාරණීකරණය කරමිනි. 

 
 ගම්මන්පිලගේ ප්‍රකාශයට එරෙහිව රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ජගත් කුමාර, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු පිරිසක් අදහස් දක්වන්නට වූහ.   


”‍ මේ ඇමතිතුමා කරන ප්‍රකාශවලින් අපියි අපහසුතාවට පත්වෙන්නේ. අපි ගම්වලට ගිහිල්ලා පාක්ෂිකයන් දැනුවත් කරද්දී ඇමැතිවරු මේ විදියට කතා කරන්න ගත්තාම අපි කරන දේවල් වලින් වැඩක් තියෙනවද. එක් කෙනෙක් අයින් කරල ඔය සද්ද නැතුව ඉන්නෙ. මම කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඒවගෙ අයින් කරන්න කියලයි”‍ කුට්ටිආරච්චි කීවේය.   


අනතුරුව කතා කළේ රෝහිත අබේගුණවර්ධන ය. ඔහු කීවේ”‍ එක එක්කෙනා තනි තනියෙන් සෙන්චරි ගහන්නේ නැතුව සාමූහිකව සෙල්ලම් කරන්න. එතකොට අපි ඔක්කොටම දිනන්න පුළුවන්. එහෙම නැතුව එක එක්කෙනා දිනන්න ගියහම තමයි ප්‍රශ්න මතු වෙන්නේ.’ රෝහිත කියද්දී මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයාද රෝහිතගේ අදහස් අනුමත කරමින් කතා කළේය. 

 
”‍ සමහරු කියනවා ආණ්ඩුවට ගමට යන්න බෑ කියලා. අපි ගම්වලට යනවා. ගිහිල්ලා පාක්ෂිකයන් දැනුවත් කරන්න ගන්න උත්සාහයන් ඔක්කොම මේවායින් ඉවර වෙනවා යැයි චින්තක මායාදුන්න කීවේය.   
අනතුරුව කතා කළේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. “ඇමැතිවරු එකක් කියන්නෙ නැතුව විවිධ අදහස් ප්‍රකාශ කරන්න ගියාම ගැටලුවක් මතුවෙනවා. එතනදී අපත් අපහසුතාවට පත්වෙනවා’ යැයි කී ජගත් කුමාර මන්ත්‍රීවරයා ඊළඟට කතා කළේ විදුලි අර්බුදය සම්බන්ධයෙනි.   


 “විදුලිය කපන්නේ නෑ කියලා ඇමැතිතුමා කියනවා. ඒත් පහුගිය දවස්වල විදුලිය කැපුවා. උසස් පෙළ කරන ළමයිත් අපහසුතාවට පත්වෙනවා. ඒ නිසා විදුලිය කපනවා නම් කලින් කියලා කපන්න. එතකොට සැලසුම් කරගන්න පුළුවන්. ජගත් කුමාර කීවේය. ඒ ප්‍රශ්නය මහින්දානන්ද අලු‍ත්ගමගේ ද මතු කළේය. ඊට උත්තර දෙන්නට ගාමිණී ලොකුගේ ඇමැතිවරයා ඉදිරිපත් නොවීය. උත්තර දුන්නේ බලශක්ති ඇමැති ගම්මන්පිල ය. ඉල්ලු‍මට සරිලන විදුලිය සැපයීම දෙන්න බැරිවුණාම පද්ධතිය බැලන්ස් කරන්න කොහෙන් හරි කපන්න වෙනවා. රට පුරාම විදුලිය කපනවට වැඩිය ඒක හොඳයි. හැබැයි ඒක දැනුවත් කරලා කරනවා නම් වැඩිය හොඳයි”‍ ගම්මන්පිල කීවේය.   


 අනතුරුව මතුවුණේ කිරිඇල්ල පොලිසියේ ඕ.අයි.සී. පත් කිරීම සම්බන්ධ ප්‍රශ්නයකි. එය මතු කළේ වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ය. “පොලිසියට අලු‍තෙන් ඕ.අයි.සී. කෙනෙක් දාල. මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. හැබැයි මම දන්නෙත් නෑ. වාසු කියද්දී ඊට උත්තර දෙන්නට ගියේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියයි.”‍ මම පොහොට්ටුවේ ආසන සංවිධායක. පවිත්‍රා කීවාය. දැන් ඉතින් මමත් පොහොට්ටුවේ සංවිධායකකම ගන්න ඕන’ යැයි වාසු කියද්දී බැසිල් කිව්වේ ඔබතුමා කැමතිනම් අයදුම්පතක් එවන්න මම එතකොට පත් කරන්නම්”‍ කියාය. වාසු කොහොමත් ඉතින් ඉල්ලන්නේ පොහොට්ටු වෙන්නේ. වෙන කොහෙන් ද ඉල්ලන්නේ? යැයි අගමැතිවරයා ද හිනාවෙමින් කීවේය. මේ කතාබහ අතරේ ඕ.අයි.සී. ප්‍රශ්නයට සරත් වීරසේකර ඇමැතිවරයා උත්තර දුන්නේය. “අපි ඕ.අයි.සීලා පත් කරන්නේ දේශපාලනඥයන්ට ඕන විදිහට නෙමෙයි. ඒක පොලීසියෙන් කරන වැඩක්.”‍ සරත් වීරසේකර කීවේය. අනතුරුව බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ආර්ථිකය ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේ ය.   


මෙවර කැබිනට් රැස්වීම පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ ය.  ඊට හේතුව ඇමැතිවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමය. මාලඹේ ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට අදාළ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විසිනි. පසුගිය කාලයේ එහි සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ද පැහැදිලි කළ බන්දුල ස්ලිට් ආයතනය නැවත මහපොළ අරමුදලට ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් බව කීවේය.   


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ද ඉකුත් දා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීය. ඊට කලින් දින පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද රැස්වූයේ පසුදින පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවේ න්‍යාය පත්‍රය අනුමත කරගැනීම වෙනුවෙනි. සමස්ත ලංකා කාරක සභාවේ දී ඉදිරිපත් කෙරෙන කරුණු 14 කින් යුත් යෝජනාවලිය ද මධ්‍යම කාරක සභාවේ අනුමැති සඳහා ඉදිරිපත් කර තිබිණි. එය මධ්‍යම කාරක සභාවේ දී අනුමත විය. කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට ශ්‍රීලනිපයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන්ද එහිදී කතාබහට ලක් විය. ඔවුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නැයි පිරිසක් ඉල්ලා සිටි අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කීවේ තමා කොරියාවේ සංචාරයට ගොස් පැමිණි වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ය. පසුදින මධ්‍යම කාරක සභාව රැස් වූ අතර, එහිදී කරුණු දාහතරකින් යුත් යෝජනාවලිය රජයට ඉදිරිපත් කිරීම සඳහා අනුමත විය. එහිදී පිරිසක් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය. තවත් පිරිසකගේ අදහස වූයේ මේ අවස්ථාව ඊට සුදුසු නොවන බව ය.   


  ඊපීඑෆ් රැකගන්න නිමලුත් පාරට බහී.   


 සේවක භාරකාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් 25% ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව ගිය සතියේ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් ලොකු හඬක් නැගුණි. ජවිපෙට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය ද ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීය. ඒ අතරවාරයේ කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද අමාත්‍යංශයට පැමිණි අතර, එහිදී විරෝධතාකරුවෝ ඇමැතිවරයාගේ වාහනය අසලට පැමිණ වටකරගත්හ. ඇමැතිවරයාද ස්ව කැමැත්තෙන් වාහනයෙන් බැස විරෝධතාකරුවන්ට කීවේ තමන් ද මේ මොහොතේ සිටින්නේ කම්කරුවාගේ පැත්තේ බවය ඊපීඑෆ් අරමුදල් වලින් අධිභාරයක් පැනවීමට එරෙහිව තමා දිගටම සටන් කරන බව ඔහු කීවේය.   


මෝදි ලබන මාසයේ ලංකාවට?   


 කලාපයේ රටවල් සම්බන්ධ බිම්ස්ටෙක් සමුළුව ලබන මස 31 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය. මෙවර එහි සභාපතිත්වය හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටය.   


ඉන්දියාවද සමුළුව නියෝජනය කරන බැවින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ලබන මස 31 පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉකුත් දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයාව හමුවී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ සඳහා සහභාගීවන්නැයි ආරාධනය කළේය. ලංකාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් ද ජී.එල්. එරට විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කෙළේ සුබවාදී බලාපොරොත්තු ඇතිවය.  


සක්වල ගැන වියතුන්ගේත් ප්‍රසාදය.   


විපක්ෂනායක සජිත් ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරනු ලැබූ සක්වල මේ වන විට පාසල් සඳහා ප්‍රථම වතාවට ක්‍රියාවට නංවා තිබේ.   


ඒ හරහා පරිගණක තාක්ෂණය සහිත සුහුරු පන්ති කාමරයක අයිතිය සිසු දරුවන්ට හිමිවේ. මේ පිළිබඳව විවිධ වෘත්තිකයින් සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඉතා දිරිගන්වනසුළු අදහස් දැක්වීම් කරනු ලැබ තිබුණි.   
“ඇත්තටම මේ වගේ කටයුතු කරන්න ඕනෑ සාමාන්‍යයෙන්නම් ආණ්ඩුවෙන්. මොකද රටක අධ්‍යාපනය කියන්නේ ඉතාම සංවේදී මාතෘකාවක්. අනිත් එක අද වෙනකොට ඔන්ලයින් අධ්‍යාපනය කියන එක හරිම වැදගත්. එහෙම තත්ත්වයක් තුළ මේ සක්වල වැඩසටහන විපක්ෂනායකතුමා ආරම්භ කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා.   


හිටපු අධ්‍යාපන ලේකම්වරියක් මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ විශේෂඥවරියක් ද වන ආචාර්ය තාරා ද මෙල් අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් එසේ පවසා තිබුණි.   


“ඇත්තටම ගොඩක් දුෂ්කර ඉස්කෝලවලට කොම්පියුටර් එකක් කියන්නේ හීනයක්. සුහුරු පන්ති කාමර කියලා කියන්නේ හිතාගන්න බැරි තරම් හීනයක්. එනිසා මේ විදිහට හරි මේ දරුවන්ගේ ඇස් පාදන්න උදව් කරන එකට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා”‍ ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියක් සජිත්ට එහෙම ලියා එවා තිබුණි.   


මේ අතර සජිත් පසුගියදා තවත් සුවිශේෂී කටයුත්තකට සම්බන්ධ විය. ඒ පාකිස්ථානයේ පැවති කික් බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම රැගෙන ආ වව්නියාවේ ඉපදුණු ඉන්දුකාදේවි ක්‍රීඩිකාව විපක්ෂනායක කාර්යාලයට කැඳවා ඇය ඇගයීමට ලක් කිරීමය.   


“ලංකාව ලෝක මට්ටමේ කීර්තියක් අත්පත් කරගෙන තියෙන අංශවලින් ඉදිරියෙන්ම තියෙන්නෙ ක්‍රීඩාව. ක්‍රීඩාව තුළින් ලෝකය ජයගත් වීරයින් විශාල පිරිසක් අපට ඉන්නවා. එහෙම කීර්තියක්, අත්කර දුන්න ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් ඈත දුෂ්කර ගම්මානවලින් ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඔලිම්පික් රිදී පදක්කමක් අපේ රටට ගෙනාව සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව බිහිවුණේ ඈත කෑගල්ල ප්‍රදේශයෙන්. සුගත් තිලකරත්න බිහිවුණේ විදුලිපුරෙන්. සනත් ජයසූරිය ආවේ මාතරින්. තර්ජනී සිවලිංගම් අග්‍රගණ්‍ය නෙට්බෝල් ක්‍රීඩිකාව බිහිවුණේ යාපනයෙන්. අද කික් බොක්සිං ක්‍රීඩාව හරහා ලංකාවට කීර්තියක් අත්කර දුන්න ඉන්දුකාදේවි ගනේෂ් දියණිය බිහිවුණේ වවුනියාවෙන්. අපි විශ්වාස කරනවා වව්නියාවේ ඉපදිච්ච ඉන්දුකාදේවි දියණිය තව තවත් රනින් මේ මාතෘ භූමියට කීර්තිය අත්පත් කර දෙයි කියලා.” සජිත් එහිදී කීවේය.   


ඊ.පී.එෆ්. කොල්ලයට එරෙහිව සජබ පෙරට   


සේවක අර්ථසාධක අරමුදලින් සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂික අරමුදල ඇතුළු දේශීය ආදායම් පනතේ සමාගම් යටතට ගැනෙන අරමුදල් ගණනාවකින් සියයට 25ක අධි භාර බද්දක් අයකර ගත හැකි අයුරින් නව නීති සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මුලින්ම දැන ගන්නට ලැබුණේ සජිත්ට ය. ඔහු වහාම කළේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සමග මේ පිළිබඳව ක්ෂණිකව කතා කිරීමය.   
“මේ ආණ්ඩුව පික් පොකට් ආණ්ඩුවක්. ආණ්ඩුව ගොවියට පික් පොකට් ගැහුවා. ආණ්ඩුව ගුරුවරුන්ට පික්පොකට් ගැහුවා. ආණ්ඩුව පාරිභෝගික ජනතාවට පික් පොකට් ගැහුවා. ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යයටත් පික් පොකට් ගැහුවා. අන්තිමට මේ රටේ වැඩකරන ජනතාව ජීවිතය පුරා දුක් විඳලා ඉතිරි කරගත්ත අර්ථසාධකයටත් ආණ්ඩුව පික් පොකට් ගැහුවා. අන්තිමට ආණ්ඩුව රටටම පික් පොකට් ගහනවා”‍ එහෙම කිව්වේ කබීර් ය.   


“ඉතිහාසයේ ඉඳලා මේ දක්වා වැඩ කරන ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු හැම ආණ්ඩුවකටම අත්වුණේ පරාජය” හර්ෂ කීවේය.   


“රට වෙනුවෙන් දාඩිය වගුරලා දුක් විඳින ජනතාවගේ තුට්ටු දෙකට පික් පොකට් ගහන ආණ්ඩුවකට සාප වෙනවා. දෙදහස් එකොළහේ සේවක අර්ථසාධක අරමුදලට පික්පොකට් ගහන්න ගිහිල්ලා රොෂේන් චානක කියන තරුණයාගේ ජීවිතය බිලි ගත්තා. හැබැයි ටික දවසක් ගියාම එදා ආණ්ඩුව මහජන බලය ඉදිරියේ බිලි වුණා.”‍ ඉරාන් අතීතය ද සිහිපත් කරමින් පැවසීය.   


සජිත් එදින උදෑසනම පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව සිය අවධානය යොමු කළේය. මේ කොල්ලයට එරෙහිව සමගි ජන බලවේගය පාරට බහින බව ද ඔහු පැවසීය.   


කීවා වගේම ඊට පසුදින සමගි ජන බලවේගය රටපුරා අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් පටන් ගත්තේය.   


“මේ කොල්ලය ආපහු හරවනකම් අපි සටන නතර කරන්නේ නැහැ”‍ සජිත් කීවේය.   


අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ රැස්වීම ගැන සජබ මතය. 

 
අනුරාධපුරයේ පැවති පොහොට්ටුවේ රැළියෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඒ පිළිබඳ සිය අවධානය යොමු කරනු දකින්නට හැකි විය.   


“සාමාන්‍යයෙන් ආණ්ඩුව අමාරු වෙලාවෙත් සල්ගාදු පිටිය පුරවනවා. 2015 ජනාධිපතිවරණ සටන මහින්ද ආරම්භ කළේ සල්ගාදු පිටියෙන්. පිටිය උතුරන්න සෙනඟ හිටියා. හැබැයි මහින්ද පරාදයි. මෙදා ආණ්ඩු බලය තියෙද්දි ජනාධිපති අගමැති ඔක්කොම එකතුවෙලා සල්ගාදු පිටියේ රැස්වීම තිබ්බා. සම්පූර්ණයෙන්ම අසාර්ථකයි”‍ නලින් බණ්ඩාර කීවේය.   


“ආණ්ඩුව එක්ක ගොවිජනතාව දැන් බිංදුවටම කලකිරිලා ඉන්නේ. අගමැති කතා කරද්දි එයාලගේ ප්‍රතිචාරය දකින්න හම්බවුනා නේ.”‍ ගයන්ත කරුණාතිලක කීවේ අගමැතිවරයාගේ කතාව අතරතුර ගොවි ජනතාව දැක්වූ විරෝධය සිහිපත් කරමිනි.   


“රැස්වීම ආරම්භ ඉඳලා ඉවර වෙනකම්ම තිබ්බේ අසාර්ථකත්වය. ඒ රැස්වීම සාර්ථකයි කියලා පොහොට්ටුවේ අයවත් කියන්නේ නෑ. ඒ තරමටම අසාර්ථකයි. රැස්වීමෙදි කළේ විපක්ෂ නායකතුමාට මඩගහන එක විතරයි”‍ අශෝක් අබේසිංහ කීවේය.   


“එන්නත් ටික ගෙනාවේ විපක්ෂය කරදර කරපු හින්ද කියල අගමැතිතුමාම කිව්වා. බලපුවාම විපක්ෂනායකතුමාට කරදර කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ”‍ මනුෂ කීවේය.   
“ඒ කියන්නේ රටම එන්නත් කළා කියලා පුරසාරම් කිව්වට ආණ්ඩුව එ්ක කරල තියෙන්නේ විපක්ෂ නායකතුමා ගේන්න කියලා බලපෑම් කරපු හින්දා”‍ මුජිබුර් සිනහසෙමින් කීවේය.   
“ජනාධිපතිතුමා කීවනේ බය නැත්නම් මැතිවරණවලට සූදානම් වෙන්න කියලා. අපි කියන්නේ බය නැත්නම් මැතිවරණ තියන්න කියලා”‍ මරික්කාර් කීවේය.   


“අපි කොයි වෙලාවකවත් මැතිවරණවලට බයක් නැහැ. අපි උත්තර දෙන්නේ සල්ගාදු පිටියම පුරවලා”‍ පක්ෂයේ මහ ලේකම් රංජිත් කීවේය.   


ඒ අනුව ඉතා ඉක්මනින් පොහොට්ටුවට උත්තර දෙන රැස්වීමක් අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.  


එජාපය ශක්තිමක් කිරීමේ යෝජනා


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ දී පක්ෂය ශක්තිමත් කිරීමේ යෝජනා බාර ගැනීමේ වැඩ පිළිවෙළ ආරම්භ කළේය. පළමු යෝජනා බාර ගැනීම සිදු වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහිදී සංවිධායකවරු ගණනාවක් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළ සඳහා යෝජනා ඉදිරිපත් කළහ. පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකාර ලක්ෂ්මන් සමරතුංග මහතා හා කෝට්ටේ නාගරික මන්ත්‍රීනි හර්ෂනී සඳරුවන් මහත්මිය ද පක්ෂය ශක්තිමත් කිරීමේ යෝජනා රුවන් විජයවර්ධන මහතාට බාර දුන්හ.   
ඉදිරිපත් වී ඇති යෝජනා අධ්‍යයනය කර සුදුසු ​යෝජනා පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බව මෙහි දී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.   


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ දී පාර්ලිමේන්තුවට යෝජනාවක් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු බවය. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදලෙන් හා සේවා නියුක්තයන්​ගේ බාර අරමුදලින් බදු අය කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළේය.   


නිදහස් දින හිමිදිරියේම නිදහස් චතුරස්‍රයට ගිය කරු   


ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයේ ප්‍රථම භාගය නිදහස් චතුරස්‍ර භූමියේ දී ආරම්භ කෙරුණේ එදින පෙ.ව. 6.30ට පමණය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් එම කටයුතු ආරම්භ කරන ලදි. කරු ජයසූරිය මහතා එයට සහභාගී වූයේ ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවේ සභාපති ලෙසටය. රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාය. මෙම අවස්ථාවට රුක්මන් සේනානායක මහතා ඇතුළු ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවේ සාමාජිකයෝ රැසක් ද සහභාගී වී සිටියහ. ඩී.එස්. සේනානායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු කරු එතනින් බැහැර විය. පසුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිදහස් දින සමරු උළෙලට ඔහු සහභාගී නොවීය.  


ත්‍රස්ත විරෝධී පනතට ගෙන එන සංශෝධන ගැන ද කරු තම අදහස පසුගිය සතියේ දී පළ කර සිටියේය. එහිදී ඔහු කියා සිටියේ වසර 43 කට පසු මෙම පනත සංශෝධනය කිරීමට ගත් තීරණය තමන්ද අගය කරන නමුත් ගෙන එන්නන්ට සූදානම් වන මෙම සංශෝධන වර්තමාන යුගයට ගැලපෙන්නේ නැති බවය.  

 

 

-ගජබා-