තනතුරු නැතිව හඬන පොහොට්ටු මන්ත්‍රීවරු


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පක්ෂ සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද තවම අවසන් විසඳුමක් පෙනෙන්නට නැත. ඒ තත්ත්වය තුළ ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම ද තවදුරටත් කල් යමින් තිබේ. එසේ වුවද දැනගන්නට ඇත්තේ ලබන සතිය වන විට අලු‍ත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ය.


පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ මේ අතරවාරයේ ය. මේ සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතාට අමතරව ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න යන පිරිස සහභාගී වූ අතර, ජනාධිපතිවරයා ගේ පාර්ශවය වෙනුවෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ රුවන් විජයවර්ධන යන පිරිස් සහභාගි වූහ. මෙම හමුවේ ප්‍රධාන අරමුණු දෙකක් විය. එකක් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙනි. දෙවැන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි .


එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසය. මෙය පොදුජන පෙරමුණේ ප්‍රමුඛතම ඉල්ලීම බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වී ඇතැයි පැවසේ. බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ 225 දෙනාම එකතු කොට ආණ්ඩුව පිහිටුවන්නට ගියහොත් එය කළ නොහැකි වන බවය. එකතුවන පිරිසක් එකතු කරගෙන ආණ්ඩුව පිහිටුවිය යුතු බවට ඔහු යෝජනා කර ඇත. සාකච්ඡාව යන අතරේ පිරිසක් තේ රැගෙනවිත් ඇත. එහිදී බැසිල් පෙන්වාදී ඇත්තේ ‘අපේ ජනාධිපතිතුමා ඉදිද්දි නම් මෙතනට තේ ගේන්න දෙන්නෙ නෑ. මොකද මෙතන කෑම වැටෙයි කියලා’ යනුවෙනි. ඊට පිළිතුරු දුන්නේ සාගල රත්නායකය. ‘සාකච්ඡාව එච්චරටම වැදගත් නිසා තමයි මෙතනට තේ ගෙනත් තියෙන්නෙ’ සාගල කීවේය.


ඇමැති ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 16 ක ලැයිස්තුවක් දැනටමත් ජනාධිපතිවරයා වෙත යවා ඇති බව දැනගන්නට ඇත. ඉන් වැඩිදෙනා දිස්ත්‍රික් නායකයන්ය. රමේෂ් පතිරණ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සී. බී. රත්නායක, රොෂාන් රණසිංහ, සනත් නිශාන්ත ඇතුළු පිරිසකගේ නම් ඒ අතර වන බව දැනගන්නට ඇත. මින් හතර දෙනෙකු සම්බන්ධයෙන් පොහොට්ටුවේම ඇතැමෙකුගේ විරෝධය පළ වී ඇතැයි දැනගන්නට තිබේ.


මේ අතර, ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් තනතුරු නොලැබීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමට පත්ව සිටින බවද දැනගන්නට ඇත. ඉන් කිහිපදෙනෙකු හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ කොළඹ පිහිටි නිවසක දී බ්‍රහස්පතින්දා හැන්දෑවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වේ. පක්ෂයේ තරුණයන් වන තම කණ්ඩායමට ඇමැතිධුර හෝ රාජ්‍ය ඇමැති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම විරෝධය පළකර ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ වුවද මෙම පිරිස සිකුරාදා දහවල් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ මහතා ද හමු වී සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව දැනගන්නට ඇත.

 

ඩලස්ලා අනුරාධපුරෙන් වැඩ පටන් ගනිති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම ලෙස හඳුන්වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මේ සති අන්තයේදී අනුරාධපුරයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. මේ පිරිසට මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටිති. ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ පිරිස සිකුරාදා සවස එකම බස් රථයකින් අනුරාධපුර බලා පිටත්ව ගියහ. ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමස්ථාන වැඳපුදාගෙන මහා සංඝරත්නය ද බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, අනුරාධපුරයෙන් දේශපාලන කටයුතු පටන් ගැනීම ඔවුන්ගේ අරමුණයි. මේ පිරිස අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් පිරිසක් ද හමුවී ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවද පැවසේ.

 

ලක්ෂ 25 මුද්ද නැති වූ ඇමැති  දුව කවුද?

යාල වනෝද්‍යානයේ සංචාරයක නිරතව සිටියදී ඇමැතිවරයෙකුගේ දුවකට අයිති ලක්ෂ 25 ක මුද්දක් නැතිවූ බවට ඉකුත් සතියේ සමාජ මාධ්‍යවල මෙන්ම පුවත්පත්වල ද මාධ්‍ය වාර්තා පළ විය. ඒ සමග බොහෝ මැති ඇමැතිවරුන්ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට කතාකරමින් ඇසුවේ ඔහුගේ දුවගේ මුද්ද නැති වී ඇත්ද කියා ය. ඔහු කීවේ තමාගේ දුව ඇතුළු කණ්ඩායමක් යාල වනෝද්‍යානයට ගිය නමුත් දුව තාමත් විවාහ වී නැති නිසා ඇයට මඟුල් මුද්දක් නැති බවය. නැති වී ඇත්තේ තමාගේ දුවගේ මුද්දක් නොව, දුව සමග ගිය යහළුවකුගේ මුද්දක් බව ය.

නිමල්ට අමරවීරට ශ්‍රීලනිපයේ දොර යළි ඇරෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉකුත් සඳුදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී රැස් විය. පසුගිය කාලයේ පක්ෂයේ රැස්වීම්වලට සහභාගී නොවූ අමුත්තෝ දෙදෙනෙක් ද එදින පැමිණ සිටියහ. එක්කෙනෙක් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ය. අනෙක් කෙනා මහින්ද අමරවීර ඇමැතිවරයා ය. පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවේ තනතුරු ගැනීම නිසා පසුගිය කාලයේ පැවැති පක්ෂයේ කටයුතුවලට මේ දෙදෙනාට ආරාධනා නොලැබිණි. එහෙත් මෛත්‍රී ගේ අවසරය මත මේ දෙදෙනා සඳුදා රැස්වීමට සහභාගි වූහ. කිහිපදෙනෙකුම සිටියේ ශ්‍රීලනිපය ආණ්ඩුවට සම්බන්ධ විය යුතුය යන අදහසේ ය. ඔවුන් කීවේ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාව ශ්‍රීලනිපයේ බවය. එබැවින් ශ්‍රිලනිපයට සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගීවීමට බාධාවක් නැති බව ඔවුන්ගේ තර්කය විය. මෛත්‍රී, දයාසිරි ඇතුළු කිහිප දෙනකු සිටියේ වැඩපිළිවෙළක් නොමැතිව ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනි.


දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරමින් කිව්වේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් දෙන ලෙසය. ඊට මෛත්‍රීගේ එකඟතාව පළ විය. ඔහු කීවේ බදාදා ඒ සඳහා සාකච්ඡාවකට අවස්ථාව තිබෙන බවය. ඒ අනුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡාව බදාදා පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ දී හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සඳුදා පැවති සාකච්ඡාවට සහභාගි වූ නිමල් සිරිපාල අමරවීර දෙදෙනා ද මෙදින සාකච්ඡාවට සහභාගි වී සිටියහ. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ න්‍යාය පත්‍රයේ කටයුතුවලට යන්න කලින් විශේෂ දෙයක් කියන්න තියෙනවා කියාය. ඔහු ෂාන් විජයලාල් මන්ත්‍රීවරයාට සුබපතමින් කීවේ ‘අද ෂාන් ගෙ උපන්දිනය අපි ඔක්කොම සුබපතලා ඉදිමු’ කියා ය. ඒ අනුව සියලුදෙනා එක්ව ෂාන්ට සුබපැතූහ.
සාකච්ඡාව කැඳවා තිබුණේ පක්ෂයේ ඉදිරි ගමන්මඟ කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වුවද සාකච්ඡාවට ලක් වූයේ සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙනි. සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් පක්ෂ නායක රැස්වීමේ දී ද සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් දකින්නට නොලැබුණු බව මෛත්‍රී කීවේය. රෝහිත අබේගුණවර්ධන සහ සාගර කාරියවසම් යන දෙදෙනා එදින කරපු ප්‍රකාශ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ඔහු කීවේය. කලින් මෙන් දුමින්ද දිසානායක දිගින් දිගටම කීවේ ‘සර්ව පාක්ෂික ආණ්ඩුව අපේ යෝජනාව නිසා අපි ඒකට සම්බන්ධ වෙන්න ඕන’ යනුවෙනි. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ද සිටියේ ඒ අදහසේ ම ය. ඔහු කීවේ ‘ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ යුතු බව’ ය. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද ජනතාව තුළ එතරම් විරෝධයක් පේන්න නැති බව සියඹලාපිටිය කීවේය. හෙක්ටර් බෙත්මගේ, ගාමිණී තිලකසිරි , අජිත් බස්නායක යන සංවිධායකවරුන් කීවේ ‘යූඑන්පී සමඟ එක්ව අපට ඉදිරි ගමනක් නැත’ යනුවෙනි. අනතුරුව දයාසිරි ජයසේකර කතා කළේය.


ජයසේකර මන්ත්‍රීවරයා කතා කළේ නිමල්ට හා අමරවීරට පොඩි හින්ට් එකක් ද පාස් කරමිනි. ‘මොන මතවාද ප්‍රතිපත්ති ගැන කතා කළත් වැඩක් නෑ අපි ගන්න තීන්දු සමග ඉන්නේ නැත්තං. එහෙම හිටියේ නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. සමහරුන් තනතුරු ගන්න ගිහින් අදත් ඒකම වෙනවා’ යැයි ඔහු කීවේය. නිමල් සිරිපාල, අමරවීර, සියඹලාපිටිය ඇතුළු කිහිප දෙනකු කීවේ ‘සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වී කටයුතු කළ යුතු බව’ ය. නිහඬව සිටි ශාන් විජයලාල් මන්ත්‍රීවරයාත් අනතුරුව කතා කළේය. ඔහු මෛත්‍රීගෙන් විමසා සිටියේ ‘ඔබතුමා ඉදිරිපත් කළ සහ අපේක්ෂා කළ සර්වපාක්ෂික ආණ්ඩුවද දැන් මේ ක්‍රියාත්මක කරන්නේ යනුවෙනි.


දුමින්ද දිසානායක කීවෙ ‘සර්ව පාක්ෂික ආණ්ඩුවට යනවද නැද්ද කියලා අපි රටට කියන්න ඕන’ කියා ය. මෛත්‍රී ඊට විරුද්ධ විය. ඔහු කිව්වේ ‘තාම වැඩපිළිවෙළක් නැතුව අපි එහෙම කියන්නේ කොහොමද’ කියා ය.

 

නව සභාගයක්

ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, අතුරලියේ රතන හිමි, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග හා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත යන මහත්වරු මෙන්ම එම පක්ෂවල සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නායක මණ්ඩල සාමාජිකයෝ ද එක්ව සිටියහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත, සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජනගත කෙරෙන නව දේශපාලන සභාගය පිළිබඳවය. නව සභාගයේ නම සහ සලකුණ පිළිබඳව අවසන් අදහසකට ඒම සඳහා දැනට ලැබී ඇති යෝජනා ද රැගෙන ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග ද සාකච්ඡා කර අවසන් අදහස පක්ෂ නායක හමුව වෙත ඉදිරිපත් කිරීමේ වගකීම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් වෙත මෙහි දී පැවරිණි. එසේම මෙහිදී නව සභාගයේ ව්‍යවස්ථාව සහ ප්‍රතිපත්තීන් පිළිබඳව එක් එක් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.


මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ, “රට තුළ ඇත්තේ සර්වපාක්ෂික එකඟතාවක් පිළිබඳව සාකච්ඡා කෙරෙන මොහොතක්. ඒ සඳහා පළමුව සර්වපාක්ෂික එකඟතාවෙන් වත්මන් අර්බුදයට ‘උත්තර‘ සෙවිය හැකි අවම පොදු වැඩපිළිවෙළක් ‘මහජනතාව‘ ඉදිරියේ තැබිය යුතුයි. එම එකඟතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි අපට සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ. කෙසේ වෙතත් එහිදී සැකසෙන්නේ වත්මන් අර්බුදය පියමන් කිරීම සඳහා වන ‘අවම පොදු වැඩපිළිවෙළක්‘ නිසා අපි ගොඩනඟන පුළුල් සභාගයේ අරමුණ විය යුත්තේ ‘මහජනතාව‘ මුහුණ දෙන සියලු‍ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට ‘උත්තර‘ සැපයිය හැකි පුළුල් ජාතික වැඩපිළිවෙළක් සැකසීමයි. අද මේ පොළොව ඉල්ලා සිටින්නේ එවැනි ‘පුළුල් ජාතික වැඩපිළිවෙළක්.’ ඇතැමුන් වාමාංශික, රැඩිකල් සටන්පාඨ රැගෙන ආවාට මහජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා ඔවුන් කිසි විටෙකවත් පොළොවේ පැළ කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. අප මේ සභාගය මගින් මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර සපයන ගමන්, රටට හරිමග පෙන්වීමත් කළ යුතුව තිබෙනවා”‍ යන්නය.
“නව සභාගය සැප්තැම්බර් 04 වැනිදා ජනගත වන නිසා අප එහි නම, සලකුණ හා ව්‍යවස්ථාව පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම මේ මස අවසානයේදී සිදු කරමු”‍ උදය ගම්මන්පිල මහතා ද සඳහන් කළේය.

‘ආරක්ෂා කළ යුත්තේ ශ්‍රී ලංකා  රාජ්‍යයයි’

චීනයේ යුආන් වැන්ග් 05 පර්යේෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයට සේන්දු විය. ඒ ඊට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් සපයා ගැනීමටය. ඉන්දියාවේ විරෝධය එළිපිටම ද ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධය අභ්‍යන්තරයෙන් ද එල්ල වීම හේතුවෙන් එම නැවට පසුගිය 11 වැනිදා හම්බන්තොට වරායට ඇතුළුවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අනුව මෙම නෞකාව දින පහක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකාවට සේන්දු වන විට මුළුමහත් ලෝකයේම අවධානය ඊට යොමුව තිබිණි. කෙසේ වෙතත් යුආන් වැන්ග් 05 නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුළු වීම වෙනුවෙන් 16 වැනිදා උදෑසන එහිදී විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.
ඒ සඳහා ඇරයුම් ලැබූවන් අතර ‘නොබැඳි විදෙස් පිළිවෙතක් අනුගමනය කරමින් කවර හෝ බලපෑමකට නතු නොවී අනුමැතිය දුන් පරිදි යුආන් වැන්ග් 05 නෞකාවට හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වීමට අවකාශය සලසා දිය යුතුයි‘ යන කරුණ දැඩි සේ ආණ්ඩුවට දිගින් දිගටම අවධාරණය කළ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වූහ.


එම උත්සව සභාව අමතා විමල් වීරවංශ මහතා අදහස් දක්වන අතරතුර චීන හා සෙසු රාජ්‍යතාන්ත්‍රික පිරිස් මුහුණින් මුහුණ බලන ආකාරයක් දක්නට ලැබිණි. ඊට හේතුව ඔහුගේ කතාවේ දී පැවසූ ‘ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරගනිමින් අපි සියලු‍දෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි‘ යන වාක්‍ය ඛණ්ඩය ‘ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් අපි සියලු‍ දෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි‘ එනම් 'Sri Lanka State' යන්න 'Sri Lanka Government' යන අයුරින් භාෂා පරිවර්තකවරයා විසින් පරිවර්තනය කිරීමයි.
එම කරුණ, කතාව අතරතුරේදීම විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පරිදි නිවැරදි කිරීමට භාෂා පරිවර්තකවරයා පියවර ගත් අතර උත්සව සභාවට මතුවූ කුකුස ඒ සමගම නිමවිය.
ඉහත උත්සව සභාව නිමාවට පත් වීමෙන් අනතුරුව ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ පාලනාධිකාරිය, එම ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඇරැයුම් කළේ, එවකට මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා එහි ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ කටයුත්ත ද කෘතවේදීව සඳහන් කරමිනි.


පක්ෂ නායකයන්ට ද අදහස් දැක්වීමේ අවස්ථාවක් සලසා දී තිබූ අතර වරාය පාලනාධිකාරිය ද පක්ෂ නායකයන් වෙත වරායේ මෙහෙයුම් කටයුතු හා ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී “මෙම වරාය පරිශ්‍රය සතුව දෛනිකව ඉන්ධන මෙ.ටො. 80,000ක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබෙනවා. ඒ හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයෙන් සැපයෙන සේවා අතර ප්‍රමුඛතම සේවාවක් වන මෙහි පැමිණෙන නැව් සඳහා ඉන්ධන සැපයීමටයි. නමුත් අපට ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි ලබා දීමට මෙරට බලශක්ති බලධාරීන් මෙතෙක් පියවර ගෙන නැහැ. වසර 30ක ඉතිහාසය තුළ ජාත්‍යන්තර වරායන් දෙකක් සතු ශ්‍රී ලංකාවට ඉතා ලාබදායී වෙ​ෙළඳාමක් වන ‘නැව් සඳහා තෙල් සැපයීම‘ අවුරුද්දකට මෙට්‍රික් ටොන් අටලක්ෂය ඉක්මවා යන්න නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සමගාමීව නැගී සිටි සිංගප්පූරුව අද වන විට නැව්වලට වාර්ෂිකව ඉන්ධන මෙට්‍රික් ටොන් මිලියන 48ක් සැපයීම තෙක් ඔවුන්ගේ වෙළෙඳපොළ පුළුල් කරගෙන තිබෙනවා. ඩොලර් හිඟයට කදිම පිළියමක් වන, නැව්වලට තෙල් සැපයීමේ වාසිදායක වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට අහිමි වී ඇත්තේ තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වන නිසයි.”‍ යන ඉතා වැදගත් කරුණ ද අනාවරණය විය.
“ඔව් ඉතින්, විමල් සහෝදරයා රුසියාවත් සමග එකතුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිලට 35%ක් අඩුවෙන් සහනදායී ණය පදනමකට මේ රටට තෙල් ගෙන ඒමට සැකසූ වැඩපිළිවෙළ කල්මරමින් ‘නොකෙරෙන වෙදකමක්‘ බවට පත් කිරීමට සූදානම් වන්නේත් අපේ රටේ ඔය තෙල් මාෆියාව තමයි”‍ එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මහතා කනස්සල්ලෙන් යුතුව පැවසීය.

 

සජබයෙන් ආණ්ඩුවට යන්නේ  කවුද?

විපක්ෂ නායක සජිත් පසුගිය සතිය ආරම්භ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක වැඩසටහන් සහ බල මණ්ඩල රැස්වීම්වලට එකතු වෙමිනි. ඒ සියලු‍ රැස්වීම් වලට විශාල ජන සහභාගිත්වයක් තිබූ අතර ඔවුන් ඊට එක්ව සිටියේ ප්‍රබෝධයෙන් යුතුව ය.


‘‘දැන් හැමෝගෙම ඩීල් එළි වෙලා තියෙන්නෙ. හැමෝම රාජපක්ෂලාට යටවෙලා. ඉතිරිවෙලා ඉන්නේ ඔබතුමා විතරයි. සමගි ජන බලවේගය නම්, මේ ආණ්ඩුව එක්ක දීග කන්න යන්න එපා”‍
රැස්වීමට එක්ව සිටි භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කීවේය.
‘‘ඔබතුමා හැම වෙලාවෙම තනතුරු තාන්න මාන්න ගැන හිතන්නේ නැතිව රටේ ජනතාවගේ ජනවරම පාවා දෙන්නේ නැතිව වැඩ කළා. ඔබතුමා හැමදාම කිව්වේ ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ගන්නවා කියලා. මැතිවරණයක් එනකම් මේ රටේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ. 2019 වෙච්ච අත් වැරැද්ද නිවැරදි කරගන්න.”‍ ජනතාව සජිත්ට කීහ.


මේ අතර සජිත් හේශා විතානගේ විසින් සංවිධානය කරනු ලැබූ ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද එක් විය.
‘‘2019දී ශූරත්වය වීරත්වය ගැන සිතා වැරදි මාවත තෝරාගත් බවත්, එයින් වසර දෙකකට පසු සිද්ධ වුණේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බිහි වීම බව සජිත් එහි දී කීවේය.
‘‘මං අනාවැකියක් කියන්නම්. සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම කිව්වේ ජනතාවගේ ආශිර්වාදයෙන් බලය ගන්නවා කියලා. එතුමා ඇතුළු සමගි ජන බලවේගය අපි ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරනවා විතරක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ නිදහසින් පස්සේ ඉතිහාසයේ වැඩිම කලක් රට පාලනය කරපු නායකයා බවට පත්වෙනවා.”‍ ගයන්ත කරුණාතිලක කීවේය.
‘‘මේ අය එක පැත්තකින් සර්වපාක්ෂික ආණ්ඩු හදන්න කතා කරනවා. අනෙක් පැත්තෙන් අපේ දහයක් යනවා 12ක් යනවා 18ක් යනවා විස්සක් යනවා කියලා නිවුස් ප්ලාන්ට් කරනවා. හැබැයි ගිය කෙනෙකුත් නෑ. යන කෙනෙකුත් නෑ.”‍ හේෂා විතානගේ කීවේය.


‘‘අපිට ඉන්න නායකයා අවංක නායකයෙක්. එතුමා පිරිසිදු නායකයෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ තමයි සේරම ඩීල්කාරයෝ ඉන්නේ. අපි ළඟ ඩීල්කාරයෝ නෑ. අපේ ඩීල් එක තියෙන්නෙ ජනතාව එක්ක.’’ තලතා අතුකෝරල කීවාය.


සජිත් ඉකුත් 18දා, ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය තුළ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා කීර්තියක් රැගෙන ආ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වූ ටී. සුරංග කුමාර මහතා ඇගයීමට ලක් කිරීම උදෙසා පන්නල වෙල්පල්ල පිහිටි ක්‍රීඩිකාවගේ නිවසට පැමිණියේය.
විපක්ෂනායකවරයාගේ පැමිණීම පිළිබඳව ඔවුන් විමතියට පත් වූ අතර අවට සිටි විශාල පිරිසක් ද එම නිවසට පැමිණ සිටියහ.


නෙත්මි තමන් ලබාගත් ජයග්‍රහණය සහ ඒ ජයග්‍රහණය කරා පැමිණි ගමන් මඟ පිළිබඳව සජිත් සමග විස්තර කළ අතර ඇගේ කතාව අතිශයින් සංවේදී එකක් විය.
‘‘මේ ගමන ඔලිම්පික් දක්වාම යන්න ඕනැ. ඒකට ශක්තිය ධෛර්යය අපි ලබා දෙනවා.”‍ සජිත් කීවේය.
නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට සහ පුහුණුකරු සුරංග කුමාර මහතාට ඉදිරි කටයුතු වෙනුවෙන් විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ සජිත්, රට වෙනුවෙන් ඔවුන් ලබාදුන් ජයග්‍රහණය සහ කීර්තිය උදෙසා ගෞරවාදරය පිරිනමනු ලැබීය.


ඉන් අනතුරුව සජිත් නෙත්මි දැරියගේ ගමේ පිහිටි වෙල්පල්ල විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල යෙදුණි.
විහාරස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරක යෙදීමට ද අමතක නොකළ සජිත් නෙත්මි දැරියගේ ජයග්‍රහණය රටට මෙන්ම ගමට ද ආඩම්බරයට කරුණක් බව සිහිපත් කළේය.

 

සජිත් ලොව හොඳම ගුරුවරයා  හමුවේ !

අසිත් මුතුකුමාරණ ජයරත්න කීර්තිමත් ගුරුවරයෙකි.


ගුරු වෘත්තියට පිවිස අවුරුදු 7 ක් වැනි කෙටි කලක දී හා වයස අවුරුදු 32 දී ඔහු 2018 වසරේ ලංකාවේ විශිෂ්ටතම ගුරුවරයා වන්නේ අනිකුත් ගුරුවරු අතරිනි. 2019 වසරේදී ඔහු අවංකතම රාජ්‍ය සේවකයන් 10 දෙනා අතරට පිවිසෙන්නේ ද ගුරුවරයකු වශයෙන් ලබා දුන් සිය දායකත්වය නිසාවෙනි. යළිත් කොවිඩ් වසංගතය පැවැති 2021 එනම් මේ වසරේ අප්‍රේල් මාසයේ ඔහු ආසියාවේ හොඳම ගුරුවරයා බවට පත් වන්නේ ය.


අන්තර්ජාතික වශයෙන් පිදෙන ‘‘වසරේ හොදම ගුරුවරයා සම්මානය 2022”‍
(Education Icon Awards) මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේදීය. එම උත්සවයට යාමට අසිත්ට අපහසු බව සජිත්ට වාර්තා වීමත් සමග ඔහු ඊට මැදිහත් විය.


මේ පිළිබඳව සොයා බැලූ සජිත් අදාළ ප්‍රශ්නය proget She පදනමට දැනුම් දුන්නේය.
proget She පදනම යනු සමාජ සත්කාරමය වැඩසටහන්වලට සම්බන්ධ වන සංවිධානයකි.
ඒ අනුව දින දෙකක් ඇතුළත අසිත්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ විය. ලොව හොඳම ගුරුවරයා සම්මානය ලබා ගැනීම උදෙසා යාමට අවශ්‍ය මුදල් ලබා දීමට සජිත් මැදිහත් වූයේ එහෙම ය.
”‍ලෝකයේ හොඳම ගුරුවරයා වෙලා රටට කීර්තියක් ගේන්න”‍ සජිත් ඔහුට සුබපැතුම් එක් කළේය.

තරුණ සහභාගීත්වයෙන්  ‘මහජන සභා’

‘මහජන සභා’ පිහිටුවීමේ වැඩපිළිවෙළට තරුණ සහභාගීත්වය වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇත.


නව තාක්ෂණය යොදාගැනීම සඳහා ඉදිරිපත්වී ඇති යෝජනා වහා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මූලිකත්වය දරන හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ඉදිරිපත් කරන බව මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් මහජන සභා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණි.


මෙම මහජන සභාවලට තරුණ දායකත්වය වැඩිවිය යුතු අතර කාර්ය බහුල තරුණ කණ්ඩායම්වලට මෙම මහජන සභාවලට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගිවීමට අවස්ථාව ලබාදිය යුතු බව යෝජනා විය.
‘ලිබරල් සහෝදරයෝ’ සංවිධානය හමුවූ අවස්ථාවේ තරුණ කණ්ඩායම්වලට පහසුවෙන් ‘මහජන සභා’ වැඩපිළිවෙළට සහභාගි වීම සඳහා තාක්ෂණය යොදාගන්නා ලෙසට උසාවා ලියානුඩීන් මහතා කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රුවන් විජයවර්ධන මහතා මෙම පියවර ගනු ලැබුණි.
මැතිවරණ නීති ක්‍රමවේදය හා සමරිසි ප්‍රජාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සර්ව පාක්ෂික රජය පිහිටුවීමෙන් පසු මෙම කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර නිසි පියවර ගන්නා බවට මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ජවිපෙන් රට පුරා ජනතා රැලි

‘ජනමතයට ඉඩ දෙනු පාර්ලිමේන්තුව විසුරුවා හරිනු’ යන තේමාව යටතේ රටපුරා ජනතා රැලි මාලාවක් පැවැත්වීමට ඉකුත් සතියේදී ජාතික ජන බලවේගය තීරණය කළේය. මෙහි පළමුවැන්න සෙනසුරාදා නුගේගොඩදී පැවැත්වීමෙන් පසු ඉතිරි රැළි පැවැත්වෙන ස්ථාන තීරණය කිරීමටද සාකච්ඡා විය.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී රැස්වූ අතර එහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් කළේය. රටේ ආර්ථික තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ ඔහු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් නොවන බවද පෙන්වා දුන්නේය. සර්ව පාක්ෂික රජයකට සහාය දක්වන ඇතැම් පිරිස් එයට සම්බන්ධ නොවන තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා ජනතාව මත බර පැටවීම වේගයෙන් සිදුවන බැවින් මේ පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට සහන ලැබිය නොහැකි බවද ප්‍රකාශ කළේය.


ඒ තත්ත්වය යටතේ ‘ජනමතයට ඉඩ දෙනු- පාර්ලිමේන්තුව විසුරුවා හරිනු’ යන තේමාව යටතේ රටපුරා රැලි මාලාවක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවේය.


වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙහිදී කොට්ඨාස සභා පිහිටුවීම පිළිබඳව වාර්තාවක් සභාවට ඉදිරිපත් කළේය. කොට්ඨාස සභා පිහිටුවීම සඳහා ඔක්තෝබර් මුල සතියේ සිට ආසන මට්ටමින් සමුළු 100ක් පැවැත්වීමටද මෙහිදී තීරණය විය. ගිය සතියේදී පක්ෂයේ ප්‍රධානීහු දිස්ත්‍රික්ක ගණනාවක සංචාරය කළහ. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හම්බන්තොටද, සුනිල් හඳුන්නෙත්ති මහතා මාතරද, විජිත හේරත් මහතා බදුල්ලද, අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර හා හර්ෂණ නානායක්කාර ගම්පහ දිස්ත්‍රික්කවලද සංචාරයේ යෙදුනහ.


මේ අතර අත්අඩංගුවට ගත් අයට අවශ්‍ය නීති සහාය ලබාදීමට ජාතික ජනබලවේගයේ නීති අංශයට ඉදිරිපත් වන ලෙස මෙහිදී අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

ජනපති හා කරු අතර විශේෂ හමුවක්

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගිය සතියේ දී සිදුවිය. එම හමුවේදී අවධානයට යොමු කළ කරුණු කිහිපයක්ම විය. පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා යළි ශක්තිමත් කිරීම පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම රට පුරා ස්ථාපිත කරන්නට යන ජනසභා ගැන එහිදී මූලික අවධානය යොමු වී තිබේ. එම කරුණු දෙකටම අදාළව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පුළුල් අධ්‍යයනයක් සිදුකර අදාළ මූලික වාර්තා මේ වන විටත් රජයට ඉදිරිපත් කර තිබේ.

 

ගජබා