ඡන්දෙ වැඩ කරන හැටි එජාප නායකයා පහදයි


දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජන ජීවිතය යතාවත් වී නැත. ඒ අතර දෙකට වෙන්ව ගිය එක්සත් ජාතික පක්ෂයේ කොටස් යළිත් එක්වීමේ කොළ එළි දැල්වෙද්දී පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් එජාප නායකගේ කොල්ලුපිටියේ නිවසට එක් වූවේ පවතින ආර්ථික හා දේශපාලන කරුණු ගැන සාකච්ඡා කිරීමටය.  
නායකතුමා රටේ පවතින ආර්ථික තත්ත්වය ගැනත් ඉන් ගැළවීමේ මාර්ගය ගැනත් හොඳ විග්‍රහයක් කළා. ජනතාව ඉතාම අසීරු ආර්ථික වට පිටාවක ඉන්නේ, රවි කරුණානායක කතාවට මුල පිරීය.  


‘ලෝක ආර්ථික දත්ත අනුව රට ලොකු මූල්‍ය අර්බුදයක ඉන්නේ. මෙහෙම ඉස්සරහට යන්න අමාරුයි. අපි ලොකු ණය කන්දක හිර වෙලා. ඒකයි මා කිව්වේ, ඇත්ත තත්ත්වය රටට හෙළි කරන්න කියලා. රටක් හැටියට සැළසුමක් නැතුව ඉස්සරහට යන්න බැහැ. සංචාරක ක්ෂේත්‍රය - ඇඟළුම් ක්ෂේත්‍රය ගැන දැන්ම විශ්වාසය තියා ගන්න බැහැ. ඒ නිසා අපි අලුත් අවස්ථා හොයන්න ඕනෑ. විදේශ විනිමය ගෙන්න ගන්න. ඒ වෙනුවෙන් හොඳ විදේශ ප්‍රතිපත්තියකුත් අවශ්‍යයි. එජාප නායකයා පැහැදිලි කළේය.  


ඩඩ්ලි සිරිසේනගේ හාල් මෝලට පැන ලොකු මාධ්‍ය සංදර්ශනයක් පසුගිය දවසක දැම්මා. මොකක්ද මේ ගැටුම? චම්පිකා ප්‍රේමදාස තවත් කතාවක් මතු කළේය.  


‘ඕක එහෙම පිටින්ම බොරුවක්නේ? ඕක ශ්‍රී.ල.නි.පයේ හා පොහොට්ටුවේ ගැටුමයි. වැඩි මිලට බඩු වික්කා කියා පාරීභෝගික අධිකාරියේ නිලධාරියෙක් අහිංසක වෙළෙන්දෙක්ට කන පැලෙන්න ගහනවා කියා තර්ජනය කරනවා අපි දැක්කනේ? හැබැයි ඩඩ්ලි සිරිසේන ගාවට ගිහිල්ලා අත් දෙක එකතු කර වැඳ, වැඩි මිලට හාල් විකුණන්න එපා කියනවා. මේවා දකිනවිට මතක් වෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවියයි. උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ කියා උන්වහන්සේ ලස්සනට කවියෙන් කියා තිබෙනවා. නවීන් දිසානායක කීවේය. 

 
මහ මැතිවරණය අගෝස්තු 15 පවත්වන්න යනවා කියලත් ආරංචි පැතිරෙනවා. ආණ්ඩුව ඉක්මනට ඡන්දය තියන්න කියා මැතිවරණ කොමිසමට දිගින් - දිගටම ප්‍රහාර එල්ල කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්. වජිර අබේවර්ධන කීවේය.  


‘ඔව්, අගෝස්තු 15 ත් සැප්තැම්බර් 15 ත් අතර ඡන්දය තියන්න වෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. මොකද අධිකරණ තීන්දුව අනුව මැතිවරණ කොමිසමට කටයුතු කරන්න වෙනවා. එහෙම ගත්තද දින 70 ක් එයාලා ඕනෑ කියා අධිකරණයට කියා තිබෙනවා. මමත් කියන්නේ කොමිසම පැත්තේ අප හැමෝම හිට ගන්න ඕනෑ කියලයි. මේක පක්ෂ විපක්ෂ හැමෝටම බලපාන දෙයයි. කොමිසම රැක්කොත් ප්‍රජාතන්ත්‍රවාදය රැකේවී.  


අද කොමිසමට විරුද්ධව කෑ ගහන අයට වුනත් එයාලා විපක්ෂයට ගිය දවසකට මෙවැනි කොමිසමක අගය තේරෙයි. මැතිවරණ කොමිසම ඉන්න ඕනෑ ජනතාවගේ පැත්තේයි. එහෙම නොවුනොත් අද කෑ ගහන අයත් අමාරුවේ වැටෙනවා.  


අප ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා. මමත් මේ ගැන කතා කරනවා. පක්ෂය ලෙස අප ස්වාධීන මැතිවරණ කොමිසම රැක ගන්න ඕනෑ. මේ හදන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම නැති කර දාන්නයි. මොකද 17 වැනි සංශෝධනයෙන් පවා මැතිවරණ කොමිසම ස්ථාපිත කළාට, ඒක බල සහිත කළේ නැහැ. නමුත් 19 යෙන් ඒක බලාත්මක කළා. එජාප නායක දීර්ඝ පැහැදිලි කිරීම කළේය.  


අපි නඩුවක් දාලා තිබෙනවා මැතිවරණය කැඳවීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ජුනි 02 වැනිදායින් පසුව බල රහිත වෙනවා. අධිකරණය එය පිළිගත්තොත් මොකද වෙන්නේ? කේ.කේ. පියදාස විමසුවේය.  


ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ මැතිවරණය කැඳවීමේ ප්‍රකාශය ලබන 02 වැනි දායින් අවසන් වෙනබව අපේ මතයයි මොකද, ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට බලය තිබෙන්නේ මාස තුනකට පමණයි. එතනදී කථානායකට බලය එනවා, පාර්ලිමේන්තුව කැඳවන්න කියන එකයි අපේ මතය.  


නමුත් මෙතන ගැටුම තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව වැදගත් වෙනවා. අපි අධිකරණයෙන් ඉල්ලුවේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලය කතානායකට තිබෙන බවට නියෝගයක් මහලේකම් අකිල සඳහන් කළේය.  


ඉන් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව යළි විසුරුවනවාද කියා තීන්දුව ගන්න පුළුවනි. එහෙම නැතිනම් අගෝස්තු මාසයෙන් පසු පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන නිසා මැතිවරණ කොමිසමට ඡන්දය තියන්න බලය එනවා. පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය ඒ අනුව ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්න පුළුවනි. නායකයාද කතාවට අළගු තැබීය.  
සජිත්ගේ කණ්ඩායමට ගිය පිරිසක් නායකතුමා එක්ක කතා කර කර හිටියා. දැන් ඒ අය එන්න ලැහැස්තිද? පත්තරවල 12 ක් නැවත පක්ෂයට එනවා කියා තිබුණා. චම්පිකා ප්‍රේමදාස විමසීය.  


ඔව් අපත් එක්ක පිරිස කතා කරමින් ඉන්නවා. පක්ෂය දාල ගිය අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවලා. මේ ගැන අපි කෘත්‍යාධිකාරී මණ්‍ඩලය රැස් කර කතා කරමු. මා නම් හිතන්නේ මේ අයගෙන් එන්න කැමති කණ්ඩායම ගත්තාට කමක් නැහැ කියලයි. නමුත් අප බහුතර මතයට අනුව කටයුතු කරන පක්ෂයක් නිසා කෘත්‍යාධිකාරී මණ්‍ඩලයේ තීන්දුව අනුව කටයුතු කරමු. එජාප නායක කීවේය.  


කෘත්‍යාධිකාරී මණ්‍ඩලය රැස් කළාම තවත් පරිපාලන තීන්දු රැසක් ගන්න තිබෙනවා. මැතිවරණයට මුහුණ දෙන්නත් අවශ්‍ය කටයුතු මෙතනදී කතා කර අවසන් කරන්න පුළුවනි. මහලේකම්වරයා තවත් කොටසක් එකතු කළේය.  


රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවා. ව්‍යාපාරිකයන්ට සහන නෑ. සුව විරුවෝ කියපු හෙදියන්ගේ අතිකාල කපනවා. ඔවුන්ට රැකියාවට එන්න විදියක් නැහැ. මේ අය අද පාරට බැහැලා.  


හාල්, පොල් තුනපහ ඔක්කොම ගණන් ගිහිල්ලා. රවි කරුණානායක කීවේය.  


ජනතාවට දැන් තිබෙන්නේ ජීවත්වීමේ ගැටළුවයි. ව්‍යාපාරිකයන්ට ආදායම් නැහැ. ජීවිතයයි ආර්ථිකයයි සෞඛ්‍යයි කියන ත්‍රිකෝණය ඇතුළේ රට හිරවෙලා. අප මේ මැතිවරණයේදී ජනවරම ඉල්ලන්න ඕනෑ. මේ ගැටළුවෙන් රට හා ජනතාව මුදා ගන්නා බව පෙන්වා දීලයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කර විදිමත් වැඩපිළිවෙලක් හදමු. එජාප නායකයා සිය සැළසුම් පසුවට කල් තැබීය.  


අපට බලය තිබුණත්, පාර්ලිමේන්තුව රැස් වෙලා තිබුණත් මේ වෙලාවේ බලය ගැන හිතන්න ඕනෑ වෙලාවක් නොවෙයි. අප හිතන්න ඕනෑ රට ගැනයි. අනෙක අප ජනාධිපතිවරයාට ආණ්ඩුව කරගෙන යන්න අවස්ථාව දුන්නා නම් එයාලට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ. බහුතරය හිටියා කියා කකුලෙන් අදින්න හොඳ නැහැ. ආණ්ඩුව හරියට වැඩ නොකරනවා නම් ඒ ගැන තීන්දුව ගන්න ජනතාවට බාර දෙන්න ඕනෑ.  


අනෙක ඡන්දයටත් දැන්ම දුවලා වැඩක් නැහැ. ජනතාවට ඊට වඩා ප්‍රශ්න තිබෙනවා. වේගයෙන් දුවනකෙනාට ඉක්මනට හති වැටෙනවා. තාක්ෂණයට අනුව දුවන කෙනාට දිනුම ගන්න පුළුවනි. ඒ නිසා අවශ්‍ය අවස්ථාවේදී අපි වේගය වැඩි කරමු. මැතිවරණ කොමිසම දිනය කිව්වාට පසු අපි ඡන්ද වැඩ පටන් ගනිමු. නායකයා කී දේ සැවොම අනුමත කළහ.