ඇමති ධුර නැතිව දුකෙන් සිටින මන්ත්‍රීවරු


 

නව ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොලැබීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බහුතර දෙනකු සිටින්නේ කනස්සල්ලෙනි. රට තුළ යම් සාමකාමී බවක් ගොඩනැගී තිබුණද ඔවුන්ට ගමට ගොස් දේශපාලනය කරන්නට පාක්ෂිකයන් අතරට යන්නට, ඇමතිකම් වගකීම් ආදිය නොතිබීම ගැටලුවකි. 


ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර හෙබවූ පිරිසක් ඉකුත් සතියේ අගහරුවාදා ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූයේ මේ තියෙන දුක් ගැනවිලි ගැන කියන්නටත් එක්කය. කලින් ආණ්ඩුවේ සිටි රාජ්‍ය ඇමතිවරුන් තිස් හතර දෙනාගෙන් 26 දෙනෙක් පමණ ඊට සහභාගි වූහ. රට සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන බවත්, ජනාධිපතිවරයාගේ ගමනට සහාය දෙන බවත්, ඔවුහු කියා සිටියහ. එසේ වුවද ඔවුන් වැඩි දෙනාගේ අරමුණ වූයේ ජනාධිපතිවරයා හමුවී ඔවුන්ට ඇති දුක්ගැනවිලි කියන්නටය. පත් කරන්නට යන්නේ රාජ්‍ය ඇමැතිවරුන් ද නියෝජ්‍ය ඇමතිවරුන්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් නිශ්චිත ස්ථාවරයක නැති බවද වාර්තා වේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් සමග 29 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව රජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කරන බව ය. හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනම ගැසට් කර පත් කළ ආකාරයට ඔවුන්ට තනතුරු ලබා ගැනීමය. ඒත් ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගෙන් පැහැදිලි පිළිතුරක් ලැබී නැත. රාජ්‍ය ඇමැතිවරුන්ට ඒ ආකාරයට ආයතන ගැසට් කර බලතල පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ විරෝධය පළ වී ඇති බව වාර්තා වේ. ඔවුන් කියා ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම පවරන්නේ නම් එය අදාළ කැබිනට් අමාත්‍යවරයා විසින් කළ යුතු බවය. එසේ නැතිව රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කිරීමෙන් අර්බුදයක් පැන නගින බව එම ඇමැතිවරුන් දෙදෙනාගේ තර්කය වී ඇති බව දැනගන්නට තිබේ.


ජනපති පිළිගන්නට පොහොට්ටු මන්ත්‍රීන්ගේ උනන්දුව


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සති අන්තය අනුරාධපුරයේ ගත කළේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමත් දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා කර සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමත් ජනාධිපතිවරයාගේ සංචාරයේ අරමුණ වී තිබිණි. අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයා පිළිගන්නට එජාපයේ ක්‍රියාකාරීන්ටත් වඩා තරගය තිබුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතරය. අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා පිළිගන්නට දිස්ත්‍රික්කය පුරා තැන තැන මහා පරිමාණයේ කටවුට් බැනර් ප්‍රදර්ශනය කර තිබුණේ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මෙන්ම ඔහුගේ සහෝදරයා ද වන, හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් යන දෙදෙනාගේ මූලිකත්වයෙනි. ජනාධිපතිවරයාගේ ඡායාරූපයට අමතරව ඔවුන් දෙදෙනාගේ ඡායාරූප ද එහි ඇතුළත්ව තිබුණි.


දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවට පොහොට්ටුවේ මෙන්ම, එජාපයේ පිරිසකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ. වැඩ නොකරන රාජ්‍ය සේවකයන්ට නිකම් කන්න දෙන්නට සූදානම් නැති බව ජනාධිපතිවරයා කීවේ මේ රැස්වීමේදීය.


ඩලස්ලා, ජීඑල්ලා බසයෙන් අනුරාධපුරයට


ජනපති රනිල් අනුරාධපුරයට යද්දී ජනපති සටනට ඉදිරිපත් වූ ඔහුගේ ප්‍රතිවාදියා වන ඩලස් අලහප්පෙරුම ද සති අන්තයේ සිටියේ අනුරාධපුරයේය. ඔහු පමණක් නොව, ඔහුගේ කණ්ඩායම ම සිටියේ අනුරාධපුරයේය. මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු රැසක් ඊට එක්ව සිටියහ. වෙනදා තනි තනි වාහනවලින් ගමන් යන මේ පිරිස ඉන්ධන අර්බුදය හේතුවෙන් ගිය සතියේ එකම බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරය බලා පිටත්ව ගියහ. එපමණක් නොව අනුරාධපුරයේ ගත කළ දවස් තුනේම මේ අය ගමන් බිමන් ගියේ එකම බස් රථයකිනි. අනෙක් විශේෂත්වය වන්නේ කවදාවත් බස් රථයක නොගිය මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාද පිරිස සමග එක්ව බස්රථයෙන් අනුරාධපුරයට යාමය. ගමන ආරම්භ වූයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය අසලිනි. මන්ත්‍රීවරුන් මගදීද බස් රථයට ගොඩ වූ අතර ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා බසයට ගොඩවූයේ දඹුල්ලෙනි. ඩලස් කීවේ අපි බස් එකකින් මේ ගමන යන්න ගත්ත තීරණය ඉතා වැදගත් බවය. “ඒක නං ඇත්ත. පහුගිය කාලේ අපිට මේ වගේ සුන්දර අවස්ථා මගහැරුණ නේ”‍ ජීඑල් කීවේය.


ශ්‍රී මහාබෝධිය, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථාන වැඳ පුදාගත් පිරිස එම විහාරස්ථානවල නායක හිමිවරුන්ද බැහැදැක ආශීර්වාද ලබාගත්හ. එපමණක් නොව නගරයේ හින්දු, ඉස්ලාම් පූජනීය ස්ථානවලට ද ගොස් ආශිර්වාද ලබාගත්හ. රුවන්වැලිසෑයට ගිය විට විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඩලස්ට කිව්වේ පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔබතුමාට ණයක් බේරන්න තියෙනවා කියාය. ඩලස් උඩබිම බැලු‍වේ හේමරතන හාමුදුරුවන්ගෙන් එන්න තියෙන ණය කුමක්ද කියාය. මොකක්ද හාමුදුරුවනේ මට දෙන්න තියෙන ණය ඩලස් විමසද්දී නෑ නෑ මේක මේ ප්‍රදීපා නෝනට දෙන්න සිංදු පොතක්. හේමරතන හිමියෝ කීහ.


මිරිසවැටියේ පන්සලේ දී පිරිසට උදේ ආහාරය සූදානම් කර තිබුණේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල වැටුණු වැවේ ඤාණතිලක නාහිමියන් විසිනි.


පිරිසේ අනුරාධපුර චාරිකාවේ අරමුණ වූයේ, ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමත් කණ්ඩායමේ දේශපාලන කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමත් වෙනුවෙනි. මේ ගමන සැලවීමත් සමග අභය වැව අසලට පිරිසක් ද එක්ව සිටියහ. එය සූදානම් කර තිබුණේ අනුරාධපුරයේ කුමාරසිරි මන්ත්‍රීවරයා විසිනි. පිරිස වෙනුවෙන් වැව අසල තේ පැන් සංග්‍රහයක් ද සූදානම් කර තිබිණි.


එදින රාත්‍රියේ හෝටල​ෙය් පැවැති වෘත්තිකයන්ගේ හමුව ඉතා වැදගත් එකක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, ගුරුවරුන් පමණක් නොව පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීහු පිරිසක් ද සහභාගි වූහ. ඔවුන් අපේක්ෂා කළ පිරිසටත් වඩා දෙගුණයක පමණ පිරිසක් එක්ව සිටීම ඔවුන්ගේ සතුටට හේතු විය. ඩලස් ජීඑල් දෙදෙනාම ඉදිරි ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කරමින්, වැඩපිළිවෙළ කීවේය.


පසුදින දිවා ආහාරය සූදානම් කර තිබුණේ කුමාරසිරි මන්ත්‍රීවරයාගේ නිවසේය. එතනටද විශාල පිරිසක් පැමිණ හිටියේ ජනහමුවකට මෙනි. මන්ත්‍රීවරයාගේ නිවසෙන් දවල් කෑම ගෙන පිරිස බස්රථයෙන්ම කොළඹ බලා පිටත්ව ආහ.


මේ අතර ඩලස් ඇතුළු කණ්ඩායම මේ සතියේ පාර්ලිමේන්තුවේදී ආන්දෝලන තීන්දුවක් ගැනීමට නියමිත බව ද පැවසේ. ඔවුන් නාවල ප්‍රදේශයේ කාර්යාලයක් විවෘත කිරීමට ද සූදානම් වන බව දැනගන්නට ඇත.


මැති ඇමැතිවරු දුම්රියට මාරු වෙති


ඉන්ධන අර්බුදය හේතුවෙන් මැති ඇමතිවරුන් බොහෝ දෙනකු සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ. යාපනයේ ප්‍රවාහන ගැටලු‍ සොයන්නට බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද ගිය සතියේ ආයතන ප්‍රධානීන් ද කැටුව යාපනයට ගියේ දුම්රියෙනි. මේ අතර හතළිස් තුන්වැනි සේනාංකයේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද දේශපාලන කටයුත්තකට ගිය සතියේ මහනුවර ගියේ දුම්රියෙනි.


යාපනයේ දින දෙක තුනක් ගත කළ බන්දුල අඩුපාඩු සොයා බලන්නට යාපනය දුම්රිය ස්ථානයට ගිය විට ඔහුට අහම්බෙන් මෙන් දෙමළ සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හමුවිය. ඔහු සිය දියණියන් දෙදෙනා කොළඹ බලා පිටත් කරන්නට දුම්රිය පොළට පැමිණ සිටියේය.


පක්ෂ නායක රැස්වීමේ අමරවීරගේ තැන දයාසිරිට


පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පසුගිය කාලයේ සහභාගි වූයේ නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා ය. පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සම්බන්ධ විය. නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර දෙදෙනා පක්ෂයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී නොසිටින බව කියමින් අමරවීර වෙනුවට දයාසිරි පත් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ගිය සතියේ පැවති රැස්වීමට සම්බන්ධ වූයේ අමරවීර නොව දයාසිරි ය. මන්ත්‍රීවරුන්ට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අදහස් හුවමාරු විය. ස්වාධීනව සිටින ඇතැම් මන්ත්‍රීවරුන්ට වෙලාව නොලැබෙන බව කියනවා. ඔවුන් ඉන්නෙ ආණ්ඩුවෙද විපක්ෂයෙද කියලා කාලය වෙන් කිරීමේදී ගැටලු‍වක් මතුවෙනවා ප්‍රසන්න රණතුංග කීවේය. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අපි තමයි ඔරිජිනල් විපක්ෂය කියාය. කිරිඇල්ලගේ කතාවට උත්තර දුන්නේ දයාසිරි ජයසේකරය. මෙතන ඔරිජිනල් විපක්ෂය කියලා එකක් නෑ. අපි ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියනවා. නරක දෙයට නරකයි කියනවා දයාසිරි කීවේය. ඇත්තටම මන්ත්‍රීතුමා මන්ත්‍රීවරුන්ට විවාදවලදී කාලය වෙන් කරන්න ගියාම මගේ ඔලු‍ව අවුල් වෙනවා. ඔබතුමාලා දෙපැත්තෙ කකුල් තියාගෙන ඉන්නේ නැතුව එක්කෝ ආණ්ඩුවේ ඉන්න. නැත්නම් විපක්ෂයේ ඉන්න. ප්‍රසන්න කීවේය. දයාසිරි ඊට එකඟ නොවීය. අවසානයේ තීරණය වූයේ කතානායකවරයා දිවයිනට පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය.


කඩිමුඩියේ සැකසෙන නව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය


ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවනු ලබන නව සභාගය ලබන ඉරිදා, එනම් සැප්තැම්බර් 4 වැනිදා සවස 3:00ට ඇරැඹෙන එහි මංගල මහා සමුළුවත් සමග ජනගත වීමට නියමිතය. එහිදී සභාගයේ නාමය මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ ද ජනගත වනු ඇත. පසුගිය අඟහරුවාදා (23) ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් සුපුරුදු පරිදි බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වූයේ නව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටය.
‘‘දැනට අපේ සියලු පක්ෂ වෙතින් ලැබී ඇති යෝජනා ද සැලකිල්ලට ගෙන සකසමින් තිබෙන නව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ දැන් අවසන් අදියරට පැමිණ තිබෙනවා. නිශ්චිත උපාය මාර්ගික දැක්මකට අනුකූලව සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන වැඩපිළිවෙළ මගින් මේ රට අභිවෘද්ධිය කරා රැගෙන යාම අපේ අරමුණ වී තිබෙනවා. ජනතා ප්‍රශ්න පුනරුච්චාරණය කරමින් දේශපාලන වේදිකාවල රැඩිකල් සටන් පාඨ ඉදිරිපත් කළාට වැඩක් නැහැ. පළමුව ඒ ප්‍රශ්නවලට උත්තර සපයන දේශපාලන සංවාදයක් ගොඩනැගීම තමා ඉතා වැදගත්. එතැන් සිට ක්‍රමිකව ජනතාවට ජයග්‍රහණ ලබා දෙමින් අපට සභාගයක් ලෙස පෙරට යා හැකියි”
ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේය.


‘‘අප යෑමට බලාපොරොත්තු වන ‘ගමන‘ පිළිබඳව සම්පූර්ණ අදහසක් රට හමුවේ තැබීමට මේ මංගල මහා සමුළුව යොදාගත යුතුව තිබෙනවා.”


විජය ධරණී ජාතික සභාවේ නායක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


‘‘අපි විපක්ෂයේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයන වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කරද්දී ආණ්ඩුවට තිබෙන්නේ අලුත්‍ සාකච්ඡාව හා ඇමති තනතුරු බෙදාගැනීම පිළිබඳව සාකච්ඡාවක් පමණයි.” ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා කනස්සල්ලෙන් යුතුව සඳහන් කළේය. මෙසේ ඉදිරියට ගිය දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ වැඩපිළිවෙළෙහි අවසන් කෙටුම්පත් ලබන අඟහරුවාදා වන විට ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුව වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය විය.


ලොවම දැවැන්ත ආහාර
අර්බුදයක් පාමුල...


ලෝකයේ බොහෝ රටවල් දැවැන්ත ආහාර අර්බුදයක් පාමුල සිටින බවත් එසේම කෙළවරක් නොමැති පරිසර දූෂණය හේතුවෙන් දේශගුණික විපර්යාසයන් ද සහිත පාරිසරික අර්බුදයකට ලෝකයේ බොහෝ රටවල් මුහුණ පා ඇති බවත් ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ සිය සාකච්ඡාව තුළ අවධාරණය කර ගත්හ.
‘‘යුරෝපයේ පළමු වතාවට ගංගා හිඳිලා මහා පාරිසරික අර්බුදයක් ඇවිල්ලා. බල්ගේරියාව වෙනත් රටවලට අඛණ්ඩව දර සැපයූවා. පළමු වතාවට ඔවුන් තීරණය කර තිබෙනවා, යුරෝපයට යවපු දර යවන්නේ නැතිව ගබඩා කරලා තියාගන්න. ඉන්දියාව තිරිඟු පිටි යුරෝපයට යවන්නේ නැහැ, ගබඩා කරලා තියාගන්නවා. ලන්ඩනයේ නගරාධිපති ඒ නගරවැසියාට කියනවා ‘ශීත කාලය ආවාම බලශක්තිය ද ඕනෑ ආහාර ද ඕනෑ, කියා දෙකෙන් එකක් තෝරා ගැනීමට ඔබට සිදුවේවි. සමහරවිට ඒ දෙකම නැති වේවි‘ කියා. මේ සියල්ලෙන් ඉතා පැහැදිලියි, අපි ආර්ථික ආපදාවකට මුහුණ දී සිටින මේ මොහොතේ මුළුමහත් ලෝකයත් සමග බැඳුණු අර්බුද සුළියක් හටගෙන තිබෙනවා, කියා. මේකට මුහුණ දීමට නම් අපි ආහාර සුරක්ෂිතතාව අංක එක කරගත යුතුයි. මොනවා නැතත් කන්න ටිකවත් තිබිය යුතුමයි. මේ පුළුල් පින්තූරය දැකලා ඒ අනුව යන මෙහෙයුමක් නොතිබ්බොත් ලෝකයත් එක්කම අපිත් හතරගාතෙන් වැටෙන එකයි වෙන්නේ.” විමල් වීරවංශ මහතා දුන්නේ ය.


නව සභාගයේ මංගල මහා සමුළුවට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් රැසකගේ සහභාගිත්වය


නව සභාගයේ මංගල මහා සමුළුවට ඇරයුම් ලැබ සිටින පිරිස අතර මෙරට විදෙස් තානාපතිවරු හා මහ කොමසාරිස්වරු ද සිටිති. මේ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අදහස් හුවමාරු විය. චීන, රුසියානු, වියට්නාම හා කියුබානු තානාපතිවරුන් වෙත පොදු ලිපියක් මගින් ඇරයුම් කළ බවත් මාලදිවයින, ඉරානය, පාකිස්තානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය යන රටවල තානාපතිවරුන් හමුවී ඇරයුම් කළ බවත් එම කටයුත්තේ ප්‍රගතිය දක්වමින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
‘‘බොහෝ තානාපතිතුමන්ලා නව සභාගය කවරාකාරදැයි විමසුවා. මම පැවසුවේ, ‘ජනතාවගේ ප්‍රශ්න විතරක් කතා කරන දේශපාලන සභාගයක් වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන සභාගයක් අපි ගොඩනඟන බවයි” මුසම්මිල් මහතා මෙහිදී තමන් ලද ප්‍රතිචාරය එසේ ගොනු කොට දැක්විය.


සජිත් කලාකරුවන් වෙනුවෙන් සති දෙකක් තුළ කරන්න යන වැඩේ!


තමන් මුහුණදෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කලාකරුවන් පිරිසක් විපක්ෂ නායක සජිත්ගෙන් ඉල්ලා සිටියේ ය.


අදාළ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කළ සජිත් එම පිරිස කැඳවීමේ වගකීම ජාතික සංවිධායක තිස්සට භාර දුන්නේය. තිස්ස අත්තනායකගේ මෙහෙයවීමෙන් මේ දිනවල ජාතික මහජන සභාව ක්‍රියාත්මක වෙමින් පවතින අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලබයි.
‘‘මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්වා එයාලට මැතිවරණ දිනන්න කලාකාරයො පාවිච්චි කළා. පුදුමාකාර විදිහට කලාකරුවෝ ඔවුන් වෙනුවෙන් වැඩකළා. තමන්ගේ වෘත්තීය ජීවිතයේ කිසි දවසක දේශපාලනය නොකරපු කලාකරුවෝ පවා ඒ වෙලාවේ මැදිහත් වුණා. හැබැයි අද වෙනකොටත් කලාකරුවෝ කිසි කෙනෙක් ගැන ඒ අය හොයලා බලන්නෙත් නෑ. ඒ අයට වැඩකුත් නෑ.”‍ කලාකරුවෝ කීහ.


‘‘සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් එළියට එන උපාධිධාරීන්ට ඉතිරි වෙලා තියෙන්නේ ගුරුවරයෙක් වෙන එක විතරයි. ඇත්තටම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් එළියට දාන්න ඕනැ කලාවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් පිරිස්. නමුත් අවාසනාවට එහෙම වැඩපිළිවෙළක් නැහැ”‍ පේෂල මනෝජ් කීවේය.
කලා ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු‍ රැසක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම සිනමා කර්මාන්තය, ටෙලිනාට්‍ය කර්මාන්තය මෙන්ම ඇසිදිසි කලා ක්ෂේත්‍රය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුවිණි.


‘‘ප්‍රේමදාස ජනාධිපතිතුමා කලාකරුවන් වෙනුවෙන් කරපු මහා විශාල සේවය ඉතිහාසගත වෙනවා. එතුමා කලාකරුවන් පිළිබඳව හොඳට තේරුම් අරගෙන හිටියා.ඒ විතරක් නෙමේ, කලාකරුවන් සුභසාධනය කරන්න ඕනැ සියලු‍ දේවල් කළා. ඊට පස්සේ හැමෝම කලාකරුවන්ව පාවිච්චි කළේ තමන්ගේ දේශපාලන අරමුණුවලට විතරයි”‍


එතැනට පැමිණි කලාකරුවන් බොහෝ දෙනෙක් කීවේ එහෙමය.


‘‘අපිට මතකයි හැත්තෑ හතේ ඉඳලා සෑහෙන කාලයක් කලාකරුවෝ හිටියේ අපිත් එක්ක. මං හිතන්නේ 95% කට වඩා කලාකරුවෝ හිටියෙ අපි එක්ක. නමුත් පස්සේ කාලෙකදි කලාකරුවෝ කියන අය පක්ෂයෙන් ඈත් වුණා. කලාකරුවන්ගේ අවශ්‍යතාව මොකක්ද, කලාකරුවන්ට කළ යුත්තේ මොනවාද කියන එක අමතක වුණා. අන්තිමට අපි වෙනුවෙන් කැප වෙච්චි කලාකරුවෝ අපෙන් ඈත් වුණා. සමගි ජන බලවේගය යන්නේ අලු‍ත් ගමනක්. අපි මේ රටේ කලාකරුවෝ වෙනුවෙන් කැපවෙනවා. ඒ වෙනුවෙන් ප්‍රඥප්ති සහගත වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරනවා. එ් නිසා අපි ගැන විශ්වාසය තියන්න.”‍ සජිත් සහතිකයක් දුන්නේය.
”‍මෙතන ඉන්න කලාකරුවෝ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව කතා කළා. අපි ඉන්න විපක්ෂයේ. හැබැයි එහෙම කියලා අපි වගකීම අතාරින්නෙ නෑ. සති දෙකක් ඇතුළත විශේෂ සුබසාධන වැඩපිළිවෙළකුත් එක්ක අපේ ඔබ එකතු කරනවා. බලය ලබාගන්න තුරු අපි ඒකට බලාගෙන ඉන්නේ නැහැ”‍


සජිත්ගේ කීවේ කලාකරුවන්ගේ අත්පොලසන් නාදය මධ්‍යයේය.
ආණ්ඩුව අතිශය දුර්දාන්ත ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ, ”‍මර්දනයට එරෙහි ජන පෙළගැස්ම ”‍ (24) දා  පැවැත්විණි.
ඒ, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.


එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයෝ පැමිණ සිටි අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ.
විපක්ෂ නායක සජිත් ද ඊට එක් වුණේය. පක්ෂ නායක කාර්යාලට පැමිණි සජිත් රැස්වීම් කිහිපයකට සම්බන්ධවීමෙන් අනතුරුව සවස එම කටයුත්තට පිටත් වු​ණේ රාජිතද සිය රථයේ නංවාගෙන ය. සිවිල් ක්‍රියාකාරීන් දේශපාලන නායකයින් එහිදී සභාව ඇමතූ අතර සජිත් ප්‍රකාශ කළේ ‘‘ආණ්ඩුව ‘‘සර්වපාක්ෂික”‍ වෙන්න යෝජනා කරනවා. හැබැයි ඇත්තටම මේක ‘‘සර්වභක්ෂක”‍ ආණ්ඩුවක්!”‍ කියාය.
“සියලු‍ වාද භේද අමතක කොට, මතවාද මොහොතකට පසෙකින් තබා මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කරන්න එකතුවෙමු”‍ සජිත් කීවේය.


”‍දැන් ගෝඨාභය ආපහු ලංකාවට එනව ලු . ඒ අතරේ ඇමතිවරුන්ගේ ලිස්ට් එකක් බැසිල්ගේ අනුමැතිය ඇතිව රනිල්ට යවලා ලු‍.”‍ විපක්ෂ නායක කාර්යාලයේ දී රාජිත කීවේය.


‘‘දැන් ආපහු ඩීලු‍යි නාඩගමුයි කරළියට එනවා. මතක තියාගන්න ගෝඨාභය මේ අය ගේන්නේ පාවාඩ දාලා. මීට මාසෙකට කලින් මේ ගෝඨාභය මේ රටෙන් පන්නපු බව දැන් මෙයාලට අමතකයි. අපේ නායකතුමා තනතුරු ගන්න නොගිය එක මොන තරම් වටිනවාද කියලා දැන් තමා තේරෙන්නේ”‍
අශෝක් අබේසිංහ කීවේය.


‘‘අර කතාවක් තියෙනවානෙ අපි කරපු දේ හරිද වැරදිද කියන එක පිළිබඳව ඉතිහාසය විසින් ඔප්පු කරයි කියලා. එදා ජනාධිපතිකම් අගමැතිකම් නොගෙන අපි කරපු දේ හරිද වැරදිද කියල කියලා අනාගතය විසින් ඔප්පු කරයි”‍ සජිත් කීවේය.


එජාප නියෝජ්‍ය නායක ජනපති සමඟ අනුරපුරේ


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය ගත කළේ අනුරාධපුරයේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එහි ගිය රුවන් විජයවර්ධන මහතා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑය, ලංකාරාමය, මිරිසවැටිය, ජේතවනාරාමය, අභයගිරිය, ඉසුරුමුණිය, සාරානන්ද, ජයන්ති විහාරය යන පූජනීය ස්ථානවලට ගොස් වැඳ පුදා ගත්තේය.


එහිදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන් සහ මිරිසවැටිය රජමහා විහාරාධිපති ඊතල වැටුණු වැවේ ඥාණතිලක හිමියන් ප්‍රකාශ කර සිටියේ රටේ මීළඟ නායකත්වයට සුදුසුම පුද්ගලයා රුවන් විජයවර්ධන මහතා බවයි. සේනානායක-විජයවර්ධන සුසංයෝගයේ උරුමය රුවන් විජයවර්ධන බව ඥාණතිලක හිමියෝ ප්‍රකාශ කළහ.


පසුවදා අනුරාධපුර මැංගො මැංගෝ හෝටලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට ද රුවන් විජයවර්ධන සහභාගි විය. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා රැස්ව සිටි පිරිසට රුවන් හඳුන්වා දුන්නේ ඩී. එස්. සේනානායක පරපුරේ මී මුණුබුරා ලෙසටය. සංවර්ධන සභාවට රැස්වූ පිරිස රුවන්ට යළි පැමිණෙන ලෙස ආරාධනා කළහ. පසුගිය අඟහරුවාදා දිනය පුරාම සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටි ඔහු පාක්ෂිකයන්ගේ ගැටලු නිරාකරණය කර දුන්නේය. මේ සති අන්තය ඔහු ජනාධිපතිවරයා සමඟ කතරගම දේවාලයේ වන්දනාමානවලට සහභාගි විය.


ගෝඨාභය ආවාම ජනතාව ඒ ගැන බලාගනියි
ජවිපෙ නායක


ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණිය යුතු බවත් ඔහුට ඇති චෝදනා සම්බන්ධයෙන් රටේ ජනතාව අධිකරණය සමඟ ඒවා බේරුම් කරගනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.


ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස ප්‍රකාශ කළේය.
රටේ සිදුවී ඇති පැහැර ගැනීම් විවිධ දූෂණ චෝදනා මුදල් නාස්තිය ඇතුළු චෝදනා පිළිබඳව මෙහිදී කරුණු පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා ගෝඨාභය යළිත් මේ රටට පැමිණීම අවශ්‍යයි. ඔහුට ඇති චෝදනා පිළිබඳව රටේ ජනතාව බලා ගනීවි යැයි ප්‍රකාශ කළේය.


මෙම නායකත්ව මණ්ඩල රැස්වීමේ දී මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය වූයේ මර්දනය පිළිබඳවය. ගෝල්ෆේස් අරගලයේ මූලිකයන් හා ප්‍රාදේශීය මට්ටමින් කෙරෙන මර්දනය හා රංගන දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. රජයේ මෙම වැඩ පිළිවෙළට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා ආගමික සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය චන්දන අබේරත්න යන මහත්වරුන්ට භාරවිය.


අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් ආදී මර්දන කටයුතු වෙනුවෙන් ඉදිරි නීතිමය කටයුතු කිරීමට සුනිල් වටගල, හර්ෂණ නානායක්කාර හා උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන්ට පැවැරුවේය.


මීට අමතරව මෙරට සිදුවන මර්දනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමුවී ඇති බව සඳහන් කළ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකිකයන් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරවලට ජාතික ජන බලවේගය සහාය දැක්වීමට ද මෙහිදී තීරණය කරනු ලැබීය.

 

ගජබා