ආරක්ෂක ලොක්කන් මන්ත්‍රීන්ගෙන් කල ඉල්ලීම


 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා කැඳවූයේ රජයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම වෙනුවෙනි, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය යන ස්ථානවල ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වීමට තරම් වාතාවරණයක් තවමත් නොමැති බැවින්, ඔවුන් කැඳවනු ලැබුවේ මුදල් අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට ය. වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැඳ වූ පළමු අවස්ථාව ද එය විය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අමතරව තවත් දෙදෙනෙක් මේ හමුවට කැඳවනු ලැබ සිටියහ. එක්කෙනෙක් ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ය. අනෙක් කෙනා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ය. ඔවුන් දෙදෙනා කැඳවනු ලැබ සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය සහ පසුගිය කාලයේ ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් ලබා දීමේ අපේක්ෂාවෙනි.


ආණ්ඩු පක්ෂ රැස්වීම ආරම්භ කරමින් මුලින්ම කතා කළේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ය. අනතුරුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කතා කළේය. ඔහු පැහැදිලි කළේ අරගලය සහ අරගලයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙනි. අරගලයේ ඇතුළේ තිබෙන්නේ එළියට පේන දෙය නොවන බව ඔහු කීවේය. එමෙන්ම අරගලය දේශපාලනිකයි, සන්නද්ධයි, ආර්ථික වශයෙන් ද ඉතා ශක්තිමත් බව ඔහු කීවේය. එමෙන්ම ඔහු කියා සිටියේ දැන් එය අරගල භූමියක් නොව දේශපාලන භූමියක් බවට පත්ව ඇති බවය. විවිධ දේශපාලන කණ්ඩායම් එතන සිටින බවත්, ඔවුන් දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් බුද්ධි ප්‍රධානියා කීවේය. ඒ සමගම ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය. ඔහු කීවේ හමුදාවේ අයගේ ගෙවල්වලට පහර දීමේ සූදානමක් ද පවතින බවට තොරතුරු ලැබී ඇති බව ය. එවැනි දේවල්වලට ඉඩ දිය නොහැකි බව බුද්ධි ප්‍රධානියා කීවේය.
බුද්ධි ප්‍රධානියාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව කතා කළේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නය. ඔහු කීවේ අපි පසුගිය කාලයේ අරගල දිහා බලන් හිටිය. නමුත් මේ ආකාරයෙන් ඔවුන්ට කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බවය. රටේ පාලනයක් අවශ්‍ය බව ආරක්ෂක ලේකම්වරයා කීවේය. ආරක්ෂක අංශවලට මේ තත්වයට මුහුණ දීම සඳහා හදිසි නීතිය සම්මත කර දෙන්නැයි ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේ තමා ජනාධිපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කරමිනි. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩලස් අලහප්පෙරුමට සහාය දීමේ 118 ක ලැයිස්තුවක් සාදා තිබියදී, තමා 134 ක ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම ගැන සතුටු වන බව ඔහු කීවේය. ඔහු කීවේ සියලු‍ දෙනා එකතු වී මේ ගමන යා යුතු බවත්, සියලු‍ දෙනාගේම සහාය ඒ සඳහා අවශ්‍ය බවත්ය.
ඒ සමඟම ඔහු කීවේ තමාට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට පවා තැනක් නොතිබුණු බව ය. වත්මන් තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු ගැන ද ඔහු පැහැදිලි කළේය. ඉදිරියේ දී හැම පක්ෂයක්ම කැඩෙන බවත්, සමගි ජන බලවේගය ඇතුළේ මොනවා වෙනවාදැයි නොදන්නාw බවත් ඔහු කීවේය. ඒ සමගම ඔහු කීවේ අරගල භූමියද දැන් බෙදී වෙන් වී ඇති බවය.


විමල්ලාත් හදිසි නීතිය ඉල්ලති


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එසේ රැස් වෙද්දී හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද හදිසි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී අඟහරුවාදා හැන්දෑවේ රැස් විය. අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර,ප්‍රේමනාත් දොලවත්ත, ගෙවිදු කුමාරතුංග, ඩියු ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ අතර, අසනීප තත්ත්වයක් හේතුවෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඊට සහභාගී නොවීය. ගම්මන්පිල වෙනුවෙන්, ඔහුගේ පක්ෂයේ වෙනත් නියෝජිතයෝ දෙදෙනෙක් ඊට සහභාගි වූහ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම සඳහා සහාය දුන් අතාවුල්ලා මන්ත්‍රීවරයාද එදින පැමිණ සිටියේ නැත. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ පසුව දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන හදිසි නීතිය සම්මත කරගැනීම සම්බන්ධ යෝජනාව ගැන ය. ඔවුන් ගේ අදහස වූයේ සාමකාමී උද්ඝෝෂණ, විරෝධතා කිරීමේ අයිතිය තිබිය යුතු නමුත් ප්‍රචණ්ඩකාරී දේවල් කිරීමට එරෙහිව යම් පියවරක් ගත යුතු බවය. සාමකාමී විරෝධතාවලට ඉඩ තිබිය යුතු බව ද ඔවුන්ගේ අදහස විය. අරගලයේ මුවාවෙන් රාජ්‍යය බිඳවැට්ටවීමට ඉඩ දිය නොහැකි බව විමල් කීවේය. ජනතාවගේ විරෝධතාවලට හේතු වූ කරුණු කාරණා තවමත් තිබෙන බවත්, ඒවා විසඳීමට ආණ්ඩුව තවමත් පියවර ගෙන නොමැති බවත් ඔවුහු කියා සිටියහ. ඒ සඳහා ආණ්ඩුවට බලපෑමක් කළ යුතු බවද ඔවුහු කීවෝය. සාකච්ඡාව අවසානයේ තීන්දු වූයේ හදිසි නීතියට පක්ෂව ඡන්දය දීමට ය. ආණ්ඩුව ඉදිරි කාලයේ කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවධානයෙන් සිට, ආණ්ඩුවේ හොඳ දේවල්වලට සහාය දීමට ද එහිදී තීරණය විය. එමෙන්ම හවුල් පක්ෂ එක්ව පිහිටුවීමට යෝජිත සන්ධානය හැදීමේ කටයුතු කඩිනම් කිරීමට ද තීරණය විය.


හදිසි නීතියට ශ්‍රීලනිපයත් බෙදෙයි


හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූයේ ඡන්ද 120 කිනි. විමල් ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම ඊට පක්ෂව ඡන්දය දුන් අතර, ශ්‍රීලනිපය ද සිටියේ බෙදුණු තැනකය. ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන් අතර, පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් ඇතුළු පිරිස හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්හ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. හදිසි නීතිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම බදාදා උදේ පාර්ලිමේන්තුවේදී රැස් විය. එහිදී දයාසිරි, ෂාන් විජයලාල් ඇතුළු පිරිස කීවේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය දිය යුතු බවය. එහෙත් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රන්ජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිස සිටියේ හදිසි නීතියට සහාය දිය යුතු යන ස්ථාවරයේය. මේ සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වූ අතර අවසානයේ තීරණය වූයේ ඡන්දය දීමෙන් වැළකී සිටීමට ය.


ඩලස්, ජී.එල්. හදිසි නීතියට විරුද්ධ සටනක


මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමේ පිරිසක් හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්හ, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ සහ ආචාර්ය නාලක ගොඩහේවා හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන් අතර, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති ඇතුළු පිරිස ඡන්දය නොදී එම අවස්ථාවේ සභාවෙන් පිටව සිටියහ.
හදිසි නීති යෝජනාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්නට ඩලස්ගේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී එදින දහවල් රැස් වූයේ පාර්ලිමේන්තුවේ පිහිටි එක්තරා ඇමතිවරයකුට අයත් කාර්යාලයක ය. විමල්ලා ඇතුළු හවුල් පක්ෂවල කණ්ඩායම හදිසි නීතියට පක්ෂව ඡන්දය දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙම කණ්ඩායමේ ද කතාබහට ලක්විය. එහිදී පිරිසක් කියා සිටියේ හදිසි නීතියට විරුද්ධව ඡන්දය දිය යුතු බවය. මේ අතර හදිසි නීතියට විරෝධය පළ කරමින්, ඊට ඡන්දය නොදීමටද පිරිසක් තීරණය කළහ.


පොහොට්ටු සභාපති - ලේකම් වෙන වෙනම මාධ්‍ය හමුවල


හදිසි නීතිය සම්මත කර ගැනීමෙන් පසු දින පොහොට්ටුවේ දෙපිරිසක් වෙන වෙනම මාධ්‍ය හමු කැඳවූහ. පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් ඇතුළු කණ්ඩායම වෙනම මාධ්‍ය හමුවක් කැඳවීය. මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ හදිසි නීතිය පැනවීම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බවය. ඒ සමගම ඩලස් කිව්වේ තමා ජනාධිපති ධුරයට පත්වූයේ නම් අවසාන විධායක ජනාධිපතිවරයා බවට තබා පත්වන බවය. එපමණක් නොව, විධායක ජනාධිපතිවරයා ධුරයෙන් ගියපසු පාර්ලිමේන්තුවේ දෙක, තුන, හතර ආදී වශයෙන් තනතුරුවලට පත්වීමේ දේශපාලන සංස්කෘතියට ද තිත තබන බවය.


මේ අතර, පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් කැඳවමින් ජී එල්ලා හදිසි නීතියට විරුද්ධව ඡන්දෙ දීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය. ඔහු කීවේ ඊළඟ ඡන්දයෙන් ද දිනන්නේ පොහොට්ටුව බවය.


දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති වීමෙන් පුරප්පාඩු වූ සභානායක ධුරයට ගිය සතියේ පත්වූයේ සුසිල් ප්‍රේම ජයන්ත ඇමැතිවරයාය. ප්‍රසන්න රණතුංගට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකකම යළි හිමිවිය. ඒ අතරේ පොහොට්ටුවෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් දෙදෙනෙකු සහ සහකාර සංවිධායකවරුන් තිදෙනෙකු පත් කළේය. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස සාගර කාරියවසම් හා ජයන්ත කැටගොඩ පත්වූ අතර සහකාර සංවිධායකවරුන් ලෙස කෝකිලා ගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි සහ මධුර විතානගේ යන මන්ත්‍රීවරු පත් වූහ. තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පසුගිය කාලයේ නිහඬව සිටි අතර ඔහු ගිය සතියේ යළි කරළියට පැමිණියේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනිතැබූ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලකයකුගේ ඥාතිවරියක ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින්නේ යැයිද මේ අතර වාර්තා වෙයි.

රනිල්-සජිත්ට කීවේ මොනවාද?

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම මෙවර පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර ඉදිරි කටයුතු පිළිබඳව තීරණාත්මක තීන්දු රැසක් ද එහිදී ගනු ලැබීය.


“පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන ඡන්දෙදි මොකද්ද ඇත්තටම වුණේ?”
කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක් ඇසුවේය.
“අපි හැම තීන්දු තීරණයක්ම ගත්තේ, බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව. හැමෝගෙම අදහස්වලට ඉඩ දීලා. අපි තීන්දු ගත්තේ මේක ඇතුළෙදි සාකච්ඡා කරලා තමයි අපි තීරණය කළේ ඩලස්ට සහයෝගය දෙන්න.”‍ සජිත් කීවේය.


“අපේ පක්ෂයේ සමහරු ඩලස්ට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නා කියලා සමහර මාධ්‍යවල යනවා”‍ අශෝක් අබේසිංහ කීවේය.
“හරියට අංක ගණිතයවත් දන්නැති සමහරු ඔය වගේ බේගල් ඇද බානවා. මට හොඳටම විශ්වාසයි අපේ පක්ෂයේ කිසි කෙනෙක් එහෙම කළේ නෑ කියලා”‍ සජිත් අවධාරණය කළේය.
“ඔබතුමාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයව හම්බ වුණාද?”‍
නලින් බණ්ඩාර ඇසුවේය.
“ඔව්, පක්ෂ නායක රැස්වීමේ දී එතුමා හමුවුණා.”
“මොනවද ඔබතුමාට කීවේ?”‍
මුජුබර් රහුමාන් සිනාසෙමින් ඇසුවේය.


“ඒ වෙච්ච හැමදේම කියන්න තමයි මේ ලෑස්තිය. එතුමා කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කල්පනා කරනවා කියලා. ඒ වගේම එතුමා කිව්වා හැමෝම එකට එකතු කරගන්න ඕනෑ කියලා. එකම විපක්ෂය හැටියට අපි කරන හුස්ම වැඩසටහන අගය කළා. ඒ වගේම මාත් එක්ක කතා කරන්න ඕනැ කියලත් එතුමා කිව්වා”‍
ජනාධිපති රනිල් මුණගැසීමෙන් පසු සිදු වූ සියල්ල සජිත් කෘත්‍යාධිකාරි මණ්ඩලයට හෙළි කළේය.
ඉන් අනතුරුව නැගී සිටියේ චමින්ද විජේසිරි ය.


“ගරු නායකතුමනි, මේ තියෙන්නෙ ආණ්ඩුවක් නෙවේ. මේක පොහොට්ටුවේ ම දිගුවක්. ඒ විතරක් නෙවේ, මේක රාජපක්ෂලා ආරක්ෂා කරන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව එක්ක ගමනක් නෑ. මේක ඇතුළේ සර්වපාක්ෂික ආණ්ඩු නෑ. මේක විහිළුවක්. බොරුවක්. ඒ නිසා අපි විරුද්ධ පක්ෂයේ කාර්යභාරය කරමු”‍ ඔහු කීවේය.
“ඔව්, මේ ආණ්ඩුව ආපු දවසෙ ඉඳලා මර්දනය ආරම්භ කරලා. ජනාධිපතිවරයා දිවුරුම් දීලා පැය දොළහක් යන්න කලින් ගෝල්ෆේස් අරගලයට ගැහුවා. ඒක ම්ලේච්ඡ ප්‍රහාරයක්. එහෙව් අය එක්ක අපිට පුළුවන්ද සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න”‍ රාජිත සේනාරත්න කීවේය.
“අපි මුළු විපක්ෂයම එකතු කරමු. ශක්තිමත් බලවේගයක් ගොඩ නගමු. මට ඒකට තමුන්නාන්සේලාගේ අවසරය දෙන්න.”‍ සජිත් කීවේ විපක්ෂයේ බලමුළු එකතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමිනි.
අවසානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කිහිපයකට එළඹුණි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා පැවැත්වීමේ අයිතිය සහ මහජනතාව එදිනෙදා මුහුණදෙන ගැටලුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්දනය කිරීමේ අරමුණින් ගෙන එනු ලබන හදිසි නීතියට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය.


ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් ඍජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්දනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට තීරණය කරනු ලැබීය.
පාර්ලිමේන්තු‌ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම්, ඒ සඳහා සහයෝගය දීමට තීරණය කරනු ලැබීය.
මේ අතර පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය දා විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කළේය.
සුබවාදී රටක් ගොඩනැගීම වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම උදෙසා තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම නැති කරගත් බවත් එහෙත්, අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බවත් ආණ්ඩුවට එක් නොවී, රට ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් සජිත් පැවසීය.


මේ අතර රටපුරා අරගලකරුවන් දඩයම් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයට එරෙහිවද සජිත් මැදිහත් විය. විශේෂයෙන්ම ගෝල්ෆේස් පුරවැසි අරගලයට දායක වූ පිරිස් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගන්නා බව සැලවීමත් සමගම සජිත් සිය නීතිඥ මණ්ඩලය කැඳවීය.


“අද ජනාධිපතිට අමතකයි එයා ජනාධිපති වුණේ කවුරු හින්දද කියලා. අද එයාලා රාජපක්ෂවරුන්ට වෙච්ච ඇබැද්දිය හින්දා කම්පාවෙන් ඉන්නේ. ඒ නිසා මේ විදිහට අරගල කාරයන්ගෙන් පලිගන්නවා. ඒනිසා මේ සියලු‍ දෙනා වෙනුවෙන් නීති සහාය උපරිමයෙන්ම ලබා දෙන්න.”‍ සජිත් සිය නීතිඥවරුන්ට කීය.
“ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ අරගලකරුවන් පසුපස ලු‍හුබැඳීම වහාම නවතන ලෙසත් සජිත් ආණ්ඩුවට අවධාරණය කළේය.”‍ මේ දඩයම හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය අතිශයින් කනගාටුදායකයි. මේ අපකීර්තිය නිසා පීඩාවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නෙවේ. මේ කබලෙන් ලිපට වැටිල ඉන්න ජනතාව පීඩාවට පත්වන එකයි අපිට කනගාටුව.”‍ ඔහු කීවේය.


ජනපති ‘‘පස්වග තවුසන්’’
සමග රාත්‍රී කෑම මේසයේ


ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්පසු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ සමීපතම එජාප ජ්‍යෙෂ්ඨයන් පස්දෙනා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි විය. ඉකුත් අඟහරුවාදා එම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිවසේදීය. අකිල විරාජ් කාරියවසම්, රුවන් විජයවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර, වජිර අබේවර්ධන හා සාගල රත්නායක යන එම පස්දෙනා පක්ෂ සාමාජිකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘‘පස්වග තවුසන්’ යනුවෙනි. එහිදී පක්ෂයේ අනාගත වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනට මෙරට ප්‍රධාන ප්‍රශ්නයක්ව පවතින ඉන්ධන ප්‍රශ්නය ගැනද සාකච්ඡා කළේය.


එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගෙන සිටින නිසා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමේ කටයුතු භාර ගන්නා ලෙස පාක්ෂිකයෝ පිරිසක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියහ.


පසුගිය සතියේ දින දෙකක්ම රුවන් සිරිකොත මන්දිරයේ රැඳී සිටියේය.
පාක්ෂිකයන් විශාල පිරිසක් උදේ සිට සවස් වනතුරුම සිරිකොතට පැමිණ රුවන් විජයවර්ධන මහතා හමුවූයේ ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිරිකොතට පැමිණ කාර්ය මණ්ඩලය හමුවූ අතර එම අවස්ථාවටද රුවන් සහභාගි විය.
එහිදී ජනාධිපතිවරයා දළදා වහන්සේ වන්දනා මාන කිරීම සඳහා සෙනසුරාදා මහනුවරට යාමට නියමිත සංචාරයේ සංවිධාන කටයුතු රුවන් විජයවර්ධන මහතාට පැවරුවේය. ඊට අමතරව ජනාධිපතිවරයා මහ නායකහිමිවරුන් බැහැදැකීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සංවිධානයද්‍ රුවන්ට පැවරුවේය.
මීට අමතරව ඉන්ධන බෙදාහැරීම පිළිබඳව පැවැති සාකච්ඡාවටද රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සමන් රත්නප්‍රිය මහතාද සහභාගි විය. එහිදී තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණ ගණනාවකටම එළඹියේය.


ජවිපෙ නායකයා ඉන්දියාවෙන් ආධාර ඉල්ලයි


රටේ පාලකයන්ගේ වැරදි මොනවා තිබුණත් ජනතාව ජීවත් කරවීම සඳහා තවදුරටත් මානුෂීය ආධාර ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලා සිටියේය.

විදේෂ තානාපතිවරුන් හමුවීමේ වැඩ පිළිවෙළ යටතේ ඉන්දියානු මහ​කොමසාරිස්වරයා හමුවීමට ද ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබූ අතර පසුගිය සතියේ දී ඒ අවස්ථාව ලැබී තිබුණි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති මෙම හමුවට අනුර කුමාර දිසානායක මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද සහභාගි විය.


මෙහිදී ගෝපාල් බාග්ලේ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය මාස 6ක කාලය තුළ විවිධ ණය, ආධාර හා ක්‍රෙඩිට් ලයින් මගින් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.8ත් 4ත් අතර ප්‍රමාණයක මුදල් වැය කර ඇති බවයි.


මෙහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ඉදිරියටත් මානුෂීය ආධාර ලබා දෙන ලෙසටයි. මේ අර්බුදකාරී අවස්ථාවේ පාලකයන් නිසා නොව ජනතාව ජීවත් කරවීම විශේෂයෙන් වැදගත් දෙයක් බවයි. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට යමක් ඇත්නම් එක එල්ලේම විමසා බලන ලෙස ද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.


ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසු ජාතික ජනබලවේගය ඒ පිළිබඳව පසුවිපරමක් සඳහා රැස්විය. එහිදී ජනාධිපතිවරයා ඡන්දය ලැබූ ආකාරය පිළිබඳව එක් එක් පුද්ගලයා තම තමන් දන්නා කරුණු ප්‍රකාශ කර සිටියහ. විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ විපක්ෂයේ පක්ෂවල කණ්ඩායම් රනිල්ට ඡන්දය දී ඇති බවය. ඒ අනුව ස්වාධීන වූ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහන් පක්ෂය හා පක්ෂ 11 කණ්ඩායමේ කොටස් රනිල්ට ඡන්දය දී ඇති බව ප්‍රකාශ කළේය. විශාල වශයෙන් මුදල් හුවමාරුවක් හා මෙහෙයුමක් සිදුවී ඇති බවද මෙහිදී විජිත හේරත් මහතා කීවේය.

මේ තත්ත්වයන් සමග ගම් මට්ටමේ පොහොට්ටු සාමාජිකයන් දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. ගියවර ජනාධිපතිවරණයේදී බැඳුම්කර වංචාව, වරාය විකිණීම ආදී පිළිබඳ චෝදනා කරමින් ඡන්දය ලබාගත් ජනතාවට දැන් යළි වෙනස්විය නොහැකි බව ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණට සහාය දැක්වීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ නියෝජිතයන් සමග සාකච්ඡා කර ඇති බව ඔහු කීවේය.


අරගලයේ කණ්ඩායමක් ගිය සතියේදී පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියහ. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද ඒ අවස්ථාවට සහභාගි විය. මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වූයේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමය. සාකච්ඡාවට සහභාගි වූ අයකුට ඒ අවස්ථාවේ දුරකතන ඇමතුමක් ලැබුණ අතර එහිදී ප්‍රකාශ වූයේ තවත් අරගලකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.


මෙහිදී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පවතින තත්ත්වය යටතේ යළි යළිත් බලයට පත්වන්නේ පාර්ලිමේන්තුවේම සිටින පිරිසෙන් කොටසක් බවය. ඒ බලයට එන හැම පුද්ගලයාම තනතුරින් ඉවත් කරන්න කියල කරන උද්ඝෝෂණවලට ජනතාව තුළ වැඩි ප්‍රසාදයක් නැති බවද ජවිපෙ නායකයා කීවේය.


‘‘ඒ නිසා ජනතාවට නව රජයක් හඳුන්වා දීම වඩාත් සුදුසුයි. අලුත් රජයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම අවශ්‍යයි. අපි උත්සාහ කරන්නෙ මහ මැතිවරණයකට යාම’’ ජවිපෙ නායකයා කීවේය.
මෙයට අරගල නියෝජිතයන්ගේ පිළිතුර වූයේ එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන බවය.

 

 

 

ගජබා