ආණ්ඩුවේ රතු කට්ට පැන්න පක්ෂ එකොළහේ රැස්වීම


 

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍ය ධුරවලින් පන්නා දැමීම ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. ඔවුන් දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත්කිරීමට ආසන්නම හේතුව වූයේ ඉකුත් බදාදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවැත්වූ සමුළුවයි. එහෙත් එය ඔවුන් ඉවත් කිරීමට එකම හේතුව නොවීය. විමල්, ගම්මන්පිල දෙදෙනා ආණ්ඩුවට කරදරයක් වී තිබූ බව පසුගිය කාලය පුරාම ආණ්ඩුවේම අය කළ කී දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පැහැදිලිය. එය උච්චතම ස්ථානයට පැමිණියේ බදාදා පැවති සමුළුවෙනි.   
  
ආණ්ඩුවේ නායකයින්ගේ රතු කට්ට පැන්නේ බදාදා පැවැති සමුළුවත් සමඟිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයන් ජයවර්ධනපුර කෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්වූ රැස්වීමත් සමඟ විමල්, උදය ගම්මන්පිල ඇතුළු පිරිස වෙනත් ගමනකට සූදානම් වන බවට ආණ්ඩුව කල්පනා කළේය.   


ඔවුන් දෙදෙනාම මේ රැස්වීමේදී ඉලක්කය කර ගත්තේ පොහොට්ටුවෙ නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාය. ඒ කතාවලට මාධ්‍ය මඟින්ද ලොකු ප්‍රචාරයක් ලැබිණි.   


සමුළුව අවසන්වීමත් සමග එහි කළ කී දේ සියල්ල ආණ්ඩුවේ නායකයන්ට ආරංචි වී තිබිණි. ඒ සමගම බොහෝ දෙනාගෙන් ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වූයේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඉවත් කරන ලෙසය. ඇමැති බැසිල් රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ විමල්, උදය ගම්මන්පිල සහභාගි වන කැබිනට් රැස්වීම්වල වාඩිවීමට තමන් සූදානම් නැති බවය. ඒ සමඟම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ද කරළියට බැස්සේ ගම්මන්පිලලාට එරෙහිව සටන අතට ගනිමිනි. ඔවුන් ද කියා තිබුණේ විමල්ලා, ගම්මන්පිලලා සහභාගී වන ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට පසුපෙළ සහභාගී නොවන බවය.   


මේ අතර, පසුදා උදේම ජනාධිපතිවරයා වාසුදේව නානායක්කාරට දුරකථනයෙන් කතා කරමින් කලින්දා සිදුවීම දැඩි දෝෂාරෝපණයට ලක් කළ බවද වාර්තා විය. එ් අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පසුදින උදේ විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන්ගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් කළ බවද වාර්තා විය. එහිදී ඇමැතිවරුන් දෙදෙනාම කියා තිබුණේ ආණ්ඩුව තුළ විවේචනයට ඉඩක් නැත්නම් ඒ සම්බන්ධයෙන් එළියට ගොස් ජනතාව හමුවට කියන්නට තමන්ට අවස්ථාවක් තිබිය යුතු බවය. කෙසේ හෝ මේ දෙදෙනාගේ ක්‍රියාකලාපය ආණ්ඩුවේ ගමනට දැඩි බාධාවක් බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු දිගින් දිගටම කියා සිටියහ. මේ නිසා තීන්දුවක් ගන්නට ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් බ්‍රහස්පතින්දා උදේ ජනාධිපති කාර්යාලයට කැඳවීය. ඒ උදේ 11.30 ට පමණය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද, බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ආචාර්ය සරත් වීරසේකර, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලු‍ත්ගමගේ, කාංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, මිලාන් ජයතිලක ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූහ. ඔවුන් දිගින් දිගටම ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස සමඟ තවදුරටත් ආණ්ඩුවට ගමනක් නැති බවය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වෙනත් ගමනක් යන බවත්, එය ආණ්ඩුව තේරුම් ගත යුතු බවත්, ඔවුහු කියා සිටියහ. සරත් වීරසේකර, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් මෙන්ම මධුර විතානගේ ඇතුළු පිරිස දිගින් දිගටම කියා සිටියේ විමල්, ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළ යුතු බවය. ජනාධිපතිවරයාද කීවේ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ආණ්ඩුවට දැඩි බාධාවක් බව ය. ඔවුන් කලින් දිනයේ කළ විවේචනය කැබිනට් මණ්ඩලය තුළ ද කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇතැයි කීවේය. ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඉදිරිපත් කළේ වෙනස් වූ අදහසකි. විමල්, ගම්මන්පිල ඇමැතිධුරවලින් ඉවත් කිරීමට බන්දුල විරුද්ධ විය “ගම්මන්පිලලා, විමල්ලා හරි කියලා මම කියන්නේ නෑ”‍ බන්දුල කීවේය. ඔහු කීවේ මේ අවස්ථාවේ කලබල විය යුතු නැති බවය. පිරිසක් විසුරුවා හැරීම පහසු බවත්, එකතු කිරීම අමාරු බවත් කී බන්දුල මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ යුතු බව ද කීවේය. ඒ සමගම ඔහු ප්‍රේමදාස ආණ්ඩුව ලලිත්, ගාමිණීලා ඉවත් කරමින් ගත් තීන්දුව නිසා පසුකාලීනව ඇතිවූ දේශපාලන බිඳවැටීම් ගැනද පැහැදිලි කළේය. රමේෂ් පතිරණ, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් ද කිව්වේ කලබලවී තීන්දු නොගත යුතු බවය. ජනාධිපතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇති බවය. එහෙත් ගන්නේ කුමන තීන්දුවක් ද යන්න ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පැහැදිලි කළේ නැත. එසේ වුවද සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇමැතිවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කරමින් සිටියදී කීවේ විමල්, ගම්මන්පිල දෙදෙනා ඇමතිකම්වලින් ඉවත් කිරීමේ තීරණය තමා දවල් කෑමෙන් පසුව ගන්නා බවය. ඒ සමඟම විමල් ගම්මන්පිල දෙදෙනා ඇමතිකම්වලින් ඉවත් කරනු ඇතැයි යන බවට ආරංචි පැතිර ගියේය. ඔවුන් දෙදෙනාටද එම ආරංචිය ලැබී තිබූ අතර ඔවුන් දෙදෙනා ද කියා තිබුණේ ඉවත් කළොත් හිත හදාගෙන එළියට යන බවය.   
ඒ අනුව ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ අතර ඒ සමගම කැබිනට් මණ්ඩලය සංශෝධනය කළේය. අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමේ දී මීට පෙර ඔවුන්ට ලිඛිත දැනුම් දීමක් සිදු නොවූව ද, විමල් සහ ගම්මන්පිල දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අත්සනින් ඔවුන් දෙදෙනාටම ලිපියක් එවා තිබිණි. ඔවුන් දෙදෙනා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කර කෙටි කාලයක් තුළ නව අමාත්‍යවරු තිදෙනෙක් පත්කරනු ලැබූහ. විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ, බලශක්ති ඇමැතිවරයා ලෙස පත් කළ අතර, ප්‍රවාහන ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, විදුලිබල ඇමැති ධුරයට පත් කරනු ලැබුවේය. විමල්ගෙන් හිස් වූ කර්මාන්ත ඇමැතිධුරයට පත්කරනු ලැබුවේ එස්.බී. දිසානායකය. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කර්මාන්ත ඇමැතිධුරයට පත්කරන බවට මුලින් ආරංචි පැතිර ගියේය. එහෙත් දිනේෂ් ඊට විරුද්ධ වීම නිසා එම තීන්දුව වෙනස් වූ බවට ද ආරංචි පැතිර ගියේය. මුලින් ආරංචි පැතිර ගියේ එස්.බී. දිසානායකට අධ්‍යාපන ඇමැතිකම දෙන බවය. ඒ අතර එස්.බී. ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සී.බී. රත්නායක ඇමැතිවරයා විරුද්ධත්වය පළ කර ඇති බවටද වාර්තා විය.   


පවිත්‍රා විදුලිබල ඇමැති ලෙස පත් කිරීමෙන් පුරප්පාඩු වූ ප්‍රවාහන අමාත්‍ය ධුරයට පත් කරන්නට තීරණය වූයේ දිලු‍ම් අමුණුගම ඇමැතිවරයාය. එහෙත් දිලු‍ම් කොළඹින් බැහැරව සිටි නිසා ඔහුට පසුදින උදේ පැමිණ දිවුරුම් දෙන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබිණි.   


හවුල් පක්ෂ එකොළහේ රට හරිමගට සමුළුව   


 රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට ආණ්ඩුවේ හවුල් පක්ෂ එකොළහක් එක්ව ඉකුත්දා කොළඹ දී සමුළුවක් පැවැත්වීය. ඊට මූලිකත්වය ගත්තේ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි වැඩි බරක් කරට ගන්නට පසුව තීරණය කළේය. ඒ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේ දී පැවැත්වූයේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීරු 14 දෙනාම ඊට සහභාගි වූහ.   


මේ අතර යෝජනාවලිය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කරන්නට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාද පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙනි. ඔවුන් දෙදෙනා එන්නට පෙර මන්ත්‍රීවරු දාහතර දෙනා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යෝජනාවලිය ගැන සාකච්ඡා කරද්දී නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ඒ සම්බන්ධයෙන් විරෝධයක් පළ කර තිබිණි. ඔවුන්ගේ විරෝධයට හේතුවී තිබුණේ පක්ෂයේ අනුමැතියකින් තොරව හවුල් පක්ෂ සමඟ එක් වී මෙවැනි සමුළුවක් පැවැත්වීම හා යෝජනාවලියක් සකස් කිරීමය. මධ්‍යම කාරක සභාව හෝ දේශපාලන මණ්ඩලය තුළ සාකච්ඡාවකින් තොරව මෙවැනි යෝජනාවලියකට පක්ෂයේ යෝජනා ඉදිරිපත් කළේ කෙසේද යන්න එම පිරිසගේ අදහස විය. යෝජනාවලියට අදහස් දෙන්නැයි අතුරලියේ රතන හිමියන් දැනුම්දී තිබුණේ දයාසිරි ජයසේකර මහලේකම්වරයාට ය. දයාසිරි ඒ ගැන මෛත්‍රීත් දැනුවත් කර සාකච්ඡාවලට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා යැවීමට තීරණය කළේය. එසේ වුවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කොළඹින් බැහැරව සිටීම නිසා ඒ සඳහා ආචාර්ය චමිල ලියනගේ යැවීමට යෝජනා විය. චමිල ලියනගේ මෙම සාකච්ඡාවලට ගොස් යෝජනාවලිය සකස් කිරීමට සම්බන්ධ වූ අතර, නිමල් සිරිපාලලා ඇතුළු පිරිසගේ විරෝධය තිබුණේ ඒ සම්බන්ධයෙනි. පක්ෂයේ අනුදැනුමකින් තොරව මෙවැනි සාකච්ඡාවකට කෙනෙකු යැවීම ගැන මෛත්‍රී කනගාටුව පළ කළේය. මෙම සමුළුවට යන්නෙ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැලකිය යුතු තැනක් ලැබිය යුතු බව මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ සඳහා ආරාධනා පත්‍රය ද ඒවන විට නිකුත් කර තිබූ අතර, ශ්‍රීලනිපයේ නම එහි සඳහන් වූයේ තුන්වැනි තැනට ය. එහෙත් මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මේ සමුළුවේ ප්‍රධාන තැනක් ශ්‍රී ලනිපයට ලැබිය යුතු බවය. පාර්ලිමේන්තුවේ සිටින හවුල් පක්ෂවලින් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීමත්, රට පුරා පැතිරුණු පක්ෂය ශ්‍රී ලනිපය වීමත්, හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවීමත් යන කාරණා මත පක්ෂයට සැලකිය යුතු තැනක් ලැබිය යුතු යැයි පක්ෂය තීරණය කළේය. ශ්‍රීලනිපයේ අදහස වූයේ එම සමුළුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතු බවය .   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ද සමුළුවට කලින් දින හැන්දෑවේ රැස්විය. ඒ පසුදින පැවැත්වෙන සමුළුවට සහභාගි වීම සඳහා පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙනි. මධ්‍යම කාරක සභාවේ අදහස වූයේ මේ සමුළුවට යන්නේ නම් එහි ප්‍රධානත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතු බවය. හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා එහි මූලාසනයේ සිටිය යුතු බව ද කාරක සභිකයින්ගේ අදහස විය.   


මේ අතර ඉකුත් සඳුදා හැන්දෑවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ සූම් තාක්ෂණය ඔස්සේ ය. කැබිනට් පත්‍රිකා තිස් අටක් ඉදිරිපත්වී තිබිණි. ඉන් එකොළහක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවලට අදාළ කැබිනට් පත්‍රිකාය. මේ අතර රථවාහන දඩ ගෙවීම තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර මොබිටෙල් ආයතනය සඳහා පැවරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ සරත් වීරසේකර ඇමතිවරයා විසිනි.   
ජනාධිපතිවරයාද, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සහ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද ඊට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට එන ප්‍රධාන ආදායමක් එමගින් අහිමිවන බවය. ඊට ඉඩ දිය නොහැකි බව ඔවුන්ගේ අදහස විය. අනතුරුව කතාබහට ලක්වුණේ විදුලි අර්බුදය සම්බන්ධයෙනි. සති තුනක් කැබිනට් මණ්ඩලයට සහභාගී නොවූ ගාමිණි ලොකුගේ ඇමැතිවරයාද සාකච්ඡාවට සහභාගී වී සිටියේය. විදුලිය කැපීමෙන් ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති බවද, එබැවින් ඒ සඳහා ගත හැකි විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා කීවේය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩීසල් හා දැවි තෙල් ආනයනය කර විදුලිබල මණ්ඩලයට ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සලසන්නැයි ජනාධිපතිවරයා කීවේය. ඒ අතර බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ මාර්තු පස්වැනිදායින් පසුව විදුලිය කැපීම නතර කරන බවය.  


විපක්ෂ නායක සජිත් විභාග ශාලාවේ   


සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත්​ ප්‍රේමදාස පසුගිය සති කිහිපයේදී සිය දේශපාලන වැඩ කටයුතු අතරේ තවත් වැඩ කටයුත්තක් වෙනුවෙන් කාර්ය බහුල වී සිටියේය. ඒ විවෘත විශ්වවිද්‍යාලයේ හදාරණ ශාස්ත‍්‍රපති උපාධියේ අවසන් විභාගයට සූදානම්වීමට නියමිතව තිබූ නිසාය. දේශපාලන වැඩ කටයුතු අතරේ අධ්‍යාපන කටයුතු සඳහා වේලාවක් වෙන් කරගැනීමට ඔහු අමතක කර තිබුණේ නැත.   
දිවා කාලයේදී දේශපාලන වැඩ කටයුතු කරන ඔහු රාත‍්‍රියේදී නිවසට පැමිණ මධ්‍යම රාත‍්‍රිය අවසන් වන තෙක් අධ්‍යාපන වැඩ කටයුතුවල යෙදෙන්නේය.   


පසුගිය සතියේදී දින දෙකක්ම විභාගය පැවැත්වුණේ විවෘත විශ්වවිද්‍යාලයේදීමය. විවෘත විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසලට වාහනයෙන් ගිය ඔහු එතැනින් බැස විශ්වවිද්‍යාලය තුළට යන්නට විය. ආරක්ෂක අංශයේ නිලධාරීහු ඔහු සමග විශ්වවිද්‍යාලය තුළට යාමට සූදානම් වූහ.   


‘‘ඔයාලා මොකටද එන්නේ. ඔයාලා ඉන්න’’සජිත් ආරක්ෂක අංශ නිලධාරීන් නැවැත්වූවේය.   
‘‘සර්ගේ ආරක්ෂාවට’’ආරක්ෂක නිලධාරීන් කියන විට සජිත් ඔවුන්ට පෙරලා කීවේ තමන් යන්නේ විභාගයකට පෙනී සිටිම සඳහා බවය.   


‘‘මම යන්නේ විභාගයකට. අනික් ළමයින්ට වගේ මටත් එකම අවස්ථාව තියෙන්න ඕනෑ. මට විශේෂ ආරක්ෂාවක් හරි, විශේෂ වරප‍්‍රසාදයක් හරි අවශ්‍ය නෑ’’ ඔහු ආරක්ෂක අංශ නිලධාරීන් නැවත හරවා යැව්වේය.   


විභාගයට පෙනී සිටීම සඳහා තනිවම විභාග ශාලාවට ගිය ඔහුගේ අතේ තිබුණේ පෑන් අටක් පමණි. තමන්ගේ විභාග අංකයට නියමිත ශාලාව සොයා ගෙන ගිය ඔහු විභාගය ආරම්භවීමට විනාඩි විස්සකට පමණ පෙර ශාලාවට ඇතුළු විය.   


කිසිදු විශේෂත්වයක් නොමැතිව විභාගයට පෙනී සිටි සජිත් විභාගය අවසන් වී එළියට පැමිණියේ විභාගයට පෙනී සිටි අනෙක් විද්‍යාර්ථීන් ද සමගය. සැහැල්ලු‍ අළු‍පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටි ඔහු සමග බොහෝ දෙනා කතා කළේ දේශපාලනය කරන අතරවාරයේදී විභාගවලට පෙනී සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි අසමිනි.   


‘‘දේශපාලනය කරන්න එන අයගේ අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නෑ තමයි. හැබැයි ඉගෙන ගන්න එක නතර කළොත් සාම්ප‍්‍රදායික රාමුවෙන් පිට ගිහින් හිතන්න බෑ. ඒ නිසා අපි ඉගෙන ගැනීම නතර කරන්න ඕනෑ නෑ’’ සජිත් කීවේය. 

 
‘‘අපි හිතුවේ සර්ට වෙනම කාමරයක විභාගයට ඉන්න දේවි කියලා’’සජිත් සමග විභාගයට පෙනී සිටි අයෙක් කීවේය. 

 
‘‘ඒ කාලේ අය තමයි වෙනම ඒ.සී. කාමරවල විභාගවලට පෙනී සිටියේ. මට කවදාවත් විශේෂත්වයක්, විශේෂ වරප‍්‍රසාදයක් අවශ්‍ය වුණේ නෑ. ඒ නිසා තමයි මම අනෙක් අයත් එක්ක එකට විභාගයට පෙනී සිටියේ. විභාගයක් කියන්නේ හැමෝටම සාධාරණ වෙන්න ඕන දෙයක්’’සජිත් පැවසුවේය.   


විභාගය ලියූ සජිත් කළ දේ   


විභාගයට පෙනී සිටි සජිත් පැමිණියේ විපක්ෂ නායක කාර්යාලටය. ඒ වන විට හරින් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරු එහි පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනා සමග සමගි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධනද විය. 

 
ඔවුන් සමග සජිත් සාකච්ඡා කළේ පසු දිනයේදී හරින් සහ මනුෂ ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව තිබූ නිසාය. සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත‍්‍රීවරයාට නිදහස ලබාදෙන ලෙසට ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටීම සඳහා ඔවුන් දෙදෙනා ජිනීවා බලා පිටත්ව ගියහ. එහි යාමට පෙර ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ සජිත්ය.   


හරින් - මනුෂ ජිනීවාවලදී මොනවද කළේ?   


හරින් සහ මනුෂ ජිනීවා බලා පිටත්ව ගියේ එකටමය. මන්ත‍්‍රීවරුන් විදේශ ගතවීමේදී විශේෂ අමුත්තන්ගේ පර්යන්තය භාවිතා කරන නමුත් ඔවුන් දෙදෙනා සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඩුබායි හරහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියහ.   


‘‘අපි ජිනීවා යන්නේ රංජන් රාමනායක මන්ත‍්‍රීවරයාට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කරන්න. අධිකරණයට අපහාස කිරීම සඳහා ලබාදෙන නිශ්චිත දඬුවමක් නීතියේ නෑ. ඒ වගේම තමයි ඔහුට නිදහස ලබාදෙන්න කියලා විපක්ෂනායතුමා අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාගෙන් ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කළා. එයට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා තමයි අපි ජීනීවා බලා පිටත්ව යන්නේ’’මනුෂ පැවසුවේය.   


ජිනීවා බලා පිටත්ව ගිය හරින් සහ මනුෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට පැමිණ සිටි ජාත්‍යන්තර නියෝජිතයින් සමග සාකච්ඡා කළහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා හමුවූ ඔවුන් රංජන් නිදහස් කරන ලෙසට වන ලිඛිත ඉල්ලීමක්ද භාරදුන්නේය   


‘‘මේ සම්බන්ධයෙන් අපි එක් වරක් ශ‍්‍රී ලංකා රජයට සිහිකැඳවීමක් කළා. නැවත වරක් අපි ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් කරන්නම්. ඒ වගේම මේ ගැන සොයා බැලීමට අපේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවන්නම්’’අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයාගෙන් ලැබුණේ සුබවාදී ප‍්‍රතිචාරයකි.   


මේ අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශ්වීය මානව හිමිකම් කවුන්සිලය සංවිධානය කර තිබූ සාකච්ඡාවකටද හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සහභාගී වුනේය.   


‘‘අපි කිසිම අවස්ථාවකදී ලංකාවට සම්බාධක පනවන්න කියලා ඉල්ලීම් කරන්නේ නෑ. ලංකාවට සම්බාධක අරගෙන යන්න නෙමෙයි අපි ආවේ. අපේ එකම ඉල්ලීම වෙන්නේ රට ඇතුළේ මානව හිමිකම් ආරක්ෂා කරලා, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන්න කියන එක විතරයි’’හරීන් පැවසුවේය.   


ජාත්‍යන්තර ප‍්‍රජාවේ නියෝජිතයින්ගෙන් ඔවුන් දෙදෙනාට ලැබී තිබුණේ සුබවාදී ප‍්‍රතිචාරයකි.   


ඇමැති මාරු ගැන කතා   


බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ආණ්ඩුවේ ඇමැති මාරුවත් සමග ඇතිවූ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය.   
‘‘ආණ්ඩුව ඇතුළේ අර්බුදය දවසෙන් දවස වර්ධනය වෙනවා. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විවේචනය කරන අයට වෙන දේ තමයි මේ’’මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සාකච්ඡාව ආරම්භ කළේය.   


‘‘ජනාධිපතිවරයා විදුලිය කපන්නේ නෑ කියලා කියනවා. ඒත් දවසට පැය හතහමාරක් විදුලිය කපනකම් මොකක්ද ජනාධිපතිවරයා කළේ. කිසිම විසඳුමක් නැති ආණ්ඩුව දැන් තෙල් නිපදවන රටවලින් ණයට තෙල් ඉල්ලමින් හිඟා කනවා’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේ මාධ්‍ය වාර්තා කිහිපයක් උපුටා දක්වමිනි.   
‘‘හැට නම ලක්ෂයක් පෝලිමේ ගිහින් ඡන්දය දුන්න නිසා රටේ හැමෝටම පෝලිම්වල ඉන්න ආණ්ඩුව වැඩ කටයුතු සැලසුවා කියලා තමයි සමාජ මාධ්‍යවල යන්නේ’’ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කීය.   
‘‘අනුරාධපුර සල්ගාදු පිටියේ රැස්වීමටත් අපි සූදානම් වෙන්න ඕනෑ. පොහොට්ටු රැස්වීමට ආපු සෙනග වගේ තුන් හතර ගුණයක සෙනග ගෙනැවිත් ජන මතය පෙන්නලා, ආණ්ඩු විරෝධී රැල්ල දිගටම අරගෙන යන්න ඕනෑ’’එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කී කතාවට සියල්ලන්ගෙන්ම ලැබුණේ හොඳ ප‍්‍රතිචාරයකි    


යුක්‍රේන ප්‍රශ්නය එජාපයේ කතාබහට


රුසියාව, යුක්‍රේනයට කරනු ලබන පහරදීම් මත ඇති වී තිබෙන යුද ගැටුමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන හානිය ඉකුත් සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේ දී සාකච්ඡාවට භාජනය විය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කළමනාකරණ කමිටු රැස්වීමට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු ක්‍රියාකාරීහු රැසක් සහභාගි වූහ. රැස්වීම පැවතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.


මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අපේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැණුම්කරුවෙකු වූ රුසියාවට බටහිර රටවලින් සම්බාධක පැනවීම අපටත් දැඩිව බලපානු බවයි. එක්සත් ජාතික පක්ෂයටත් යුක්රේනයට වඩා රුසියාව සමග සමීප සම්බන්ධතා පවතින බව ද මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.


පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තුන්වැනි ලෝක යුද්ධය දක්වා ඇදීයාම වැළැක්වීමට නම් ඒ සඳහා ආසියාවට මැදිහත් වීමට සිදුවන බවයි.
රුසියානු - යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කරනු ලැබුවේය.


මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පස්වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසේ දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා ක්‍රියාකාරීන් පිරිසක් හමුවූයේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ වාර්තාවේ පිටපත් මෙහි දී රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස අතරේ බෙදා දුන්නේය.


මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ වැට් බද්ද හා ආදායම් බදු වැඩි කරන ලෙසටත්, මහ බැංකුවට මුදල් අච්චු ගසන්න එපා කියලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බවයි.


රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, ‘‘ආණ්ඩුව මේ වාර්තාව ගැන දක්වන මතය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ ගැන කතාකරන්න මම විවාදයකුත් ඉල්ලුවා. ලබන සතියේ පාර්ලිමේන්තුවේදි මම ඒ ගැන ප්‍රශ්න කරනවා’’ යනුවෙනි.


රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ දී කොරියානු තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙක්ම හමුවී රටේ තත්ත්වය ගැන සාකච්ඡා කළේය.


රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා ජවිපෙන් විරෝධතා


විදුලි කප්පාදුව, තෙල් හිඟය ඇතුළු රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම පිළිබඳව විරෝධය දක්වා රටපුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති තීරණය පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක විය. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවලදී විශේෂ සිදුවීම් කීපයක්ම සිදුවිය. පානදුර පැවැති උද්ඝෝෂණයට එම නගරයේ ත්‍රිරෝද රියැදුරෝ විශාල පිරිසක් සහභාගි වූහ.


මෙහිදී විරෝධතා පා ගමනක් පැවැති අතර ත්‍රිරෝද රථ රියදුරන් කලින් දැනුම් දීමකින් තොරව පැමිණ එම අවස්ථාවට සහභාගි වූහ. මීට අමතරව පා ගමන අතරතුර ස්ථාන කීපයකදීම පිළිගැනීම් ද පැවැත්වුණි.
මෙම විරෝධතා ව්‍යාපාර රටපුරාම පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
මේ අතර ජාතික ජන බලවේගය ප්‍රථම වරට තංගල්ලේ පැවැත් වූ රැස්වීමට විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එහිදී විශේෂත්වයක් වූයේ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැත් වූ කතාවයි. හර්ෂණ කලාශිල්පී යසපාලිත නානායක්කාර මහතාගේ පුත්‍රයාය. රැස්ව සිටි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේ රජයේ ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වා ‘‘හූ’’ කියන ලෙසටය. එම ඉල්ලීමට අනුව රැස්ව සිටි පිරිස විනාඩි කීපයක් එක දිගටම ‘‘හූ..’’ කියන්නට වූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවස අසල මෙම රැස්වීම පැවැත්වීම විශේෂයක් විය.


ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද ‘‘කොට්ඨාස සභා’’ පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ කළුතර හා කොළඹ ප්‍රදේශවල පැවැති සභා පිහිටුවීමේ වැඩපිළිවෙළට විහාරස්ථානවල ප්‍රධාන හිමිවරුන් සහභාගි වී ආශිර්වාද කර අනුශාසනාවක්ද කිරීම විශේෂත්වයක් විය. කොට්ඨාස සභා පිහිටුවන බවට ඒ ඒ කොට්ඨාසවල පිහිටි විහාරස්ථාන දැනුවත් කිරීම සිදු වෙන අතර මෙම ස්ථානවලට සමහර භික්ෂූන් වහන්සේලා නොදන්වාම පැමිණ ආශිර්වාද කළහ.


අභාවප්‍රාප්ත මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ අවමංගල අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිශානායක, සුනිල් හඳුන්නෙත්ති වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජිත හේරත්, බිමල් රත්නායක යන මහත්වරු විටින් විට සහභාගී වූහ. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ ස්ථානයට යන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ද පැමිණ සිටියේය. දෙදෙනා පැත්තකට වී දිගු වෙලාවක් පෞද්ගලිකව කතා බහක යෙදී සිටින අයුරු දක්නට ලැබුණි. අවමංගල අවස්ථාවට පැමිණ සිටි බොහොමක් දෙනාට මේ දෙදෙනාගේ කතාබහ පිළිබඳ කුතුහලයක් ඇති වූ බවත් දක්නට ලැබුණි.


ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා ගිය සතියේ දී මීගමුව හලාවත හා කොළඹ ප්‍රදේශවල කතෝලික පූජාකතුමන්ලා බැහැදැක සාකච්ඡා කළේය. මීට අමතරව කල්මුණේ ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් නියෝජිතයන්ගේ ආරාධනයෙන් ජවිපෙ නායකයා කල්මුණේ දී විශේෂ සාකච්ඡාවකට සහභාගි විය.

 

 

-ගජබා-