‘හරිමි රජ සැපා’ ඇන්ඩෲ කුමරුට මහේශාක්‍යත්වය අකැපයි


බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරා වූ ඇන්ඩෲ කුමරුට“කුමාර පදවිය”නැතිවී තිබේ. ඔහුට තවදුරටත් රාජකීය නාමය අදාළ නොවන බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත. එපමණක් නොවේ මෙතෙක් හිමව තිබූ රාජකීය මාලිගය ද තවදුරටත් ඔහුට හිමි නොවේ. මාලිගය භාරදෙන ලෙස නියෝගයක් රජු ගෙන් ඇන්ඩෲ ට යොමුව ඇත. ඒ අනුව සාමාන්‍ය නිවසක පදිංචියට යාමට ඔහුට සිදුව තිබේ. 

නැවත වතාවක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ රජ පවුල ගැන කම්පා වෙති. මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අනුව ජනතාව ගේ අප්‍රසාදය ඇන්ඩෲ වෙත යොමු වෙමින් පවතී. ඇන්ඩෲ රාජාසනයෙන් එකවිටම බිම ඇද වැටීමට හේතුව කුමක් ද?  

කාන්තාවක් මුල් කරගත් අපවාදයකි. ලිංගික අපවාදයක් මුල් කරගත් අර්බුදයක් හේතුවෙන් ඇන්ඩෲ ඇදවැටී ඇත. හරියටම අප කුඩා කළ අසා ඇති“හම්ටි ඩම්ටි”නම් වූ බිත්තර කුමාරයා මෙනි. ඇන්ඩෲ බිඳී ගොසිනි. “ all the kings’s horses and all the kings men couldn’t put Hamty Dumpty together again” කවියේ හැටියට හම්ටි ඩම්ටි ව ආපසු හදන්නට බැරි වූයේ රජුගේ සියලු‍ අශ්වයන්ට හා රාජ සේවකයන්ටය. එහෙත් ඇන්ඩෲ ගේ තත්ත්වය හම්ටිටත් වඩා බරපතළය. ඔහුව ගොඩ දාන්නට තම අයියණ්ඩිය වූ රජුටත් නොහැකි වී ඇත. තම මලයණ්ඩිය රාජකීයත්වයෙන් නෙරපූ බවට චාල්ස් රජු රාජ නිවේදනයක් නිකුත් කළේ එබැවිනි. එහි මෙසේ සදහන් වේ.“අද සිට බලපැවැත්වෙන පරිදි ඇන්ඩෲ කුමරු ගේ සියලු රාජකීය නාමයන් හා ගෞරව ඉවත් කිරීමේ නිල ක්‍රියාදාමය රජතුමා විසින් අරඹා ඇත. ඒ අනුව ඇන්ඩෲ කුමරු තවදුරටත්“ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්සර්”යන රාජකීය නිල නාමයෙන් හදුන්වනු නොලබයි.” 

රාජකීය නිවේදනය 

“මෙවැනි දණ්ඩන ක්‍රියාමාර්ගයන් අවශ්‍ය වන්නේ ඔහු තමාට එරෙහිව ඇති චෝදනා දිගටම ප්‍රතික්ෂේප කරන්නේය යන කරුණ පදනම් කර ගනිමිනි. යම්කිසි වූ අපයෝජනයන්ට ලක්වූ වින්දිතයන් වෙත රජතුමා සිය උපරිම අනුකම්පාව පළකරන අතර, එතුමාගේ සිතුවිලි මේ අවස්ථාවේ ඔවුන් සමග වන බවද දන්වා සිටී”. 

මේ ප්‍රකාශයත් සමග ඇන්ඩෲ ට නිල වශයෙන් මෙතෙක් හිමිව තිබු සියලු රාජකීය වරප්‍රසාද අහිමි වෙයි. තරුණ මදයෙන් කළ බවට චෝදනා ඇති වැරදිවලට ඔහුට දඬුවම් විඳීමට සිදුව ඇත්තේ අවුරුදු 65ක් තරම් වූ වියපත් කාලවකවානුවකදීය.  ඇන්ඩෲ සම්බන්ධ අර්බුදය බ්‍රිතාන්‍ය රජපවුල මුහුණ දෙන අලු‍ත්ම අපවාදයයි. මේ වනවිට රජුට පවා ඇතැම් බ්‍රිතාන්‍ය වැසියන්ගේ විරෝධය එල්ල වෙමින් පවතී. ඇතැම් ජනයා චාල්ස් රජු ගැන අනුකම්පාව පළ කරයි. බ්‍රහස්පතින්දා ස්ටැෆර්ඩ්ෂයර් ප්‍රදේශයේ පිහිටි ලිච්ෆීල්ඩ් දේවස්ථානයේ උත්සවයකට සහභාගි වී ආපසු යන අතර වාරයේ එහි රැස්ව සිටි මහජනතාවට සුබපැතීමට චාල්ස් රජු උත්සුක විය. ජනයාගේ සුබපැතුම් ලබමින් හා ඔවුන්ට පෙරළා සුබපැතුම් පළ කරමින් ගමන් ගත් රජුට එක් පුද්ගලයෙක් අපහාසාත්මක ලෙස කෑ ගසමින් විමසා සිටියේ “ඇන්ඩෲ කුමරු බේරා ගැනීමට රජු පොලිසියට බලපෑම් කළා ද?”  යන්න විමසමිනි. එහි රැස්ව සිටි මහජනතාව අපහාසය සිදුකළ තැනැත්තා පලවා හැරිමට උත්සාහ කළ අතර, එක් කාන්තාවක් එම පුද්ගලයාට “කට වහපන්” යනුවෙන් තර්ජනය කරනු දක්නට ලැබිණ. ඇතැම් ජනයා රජුට සහය පළ කරමින් කෑ ගසනු ඇසුණි. මේ  එක් සිද්ධියක් පමණි. ඉන් ගම්‍ය වන්නේ රජ පවුල මුහුණ දෙන තවත් අපවාදයක් දිග හැරෙමින් පවතින බවයි. බ්‍රිතාන්‍ය රජ පවුල යනු තවදුරටත් තීරණාත්මක දේශපාලන සාධකයක් නොවේ. රාජකීයත්වය බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ හා බ්‍රිතාන්‍ය යටත්විජිත හා ඩොමීනියන් රාජ්‍ය්‍යන් තුළ නියෝජනය කරන්නේ නාම මාත්‍රික හා හුදෙක් උත්කර්ෂවත් බවක් පෙන්නුම් කරන සංකේතාත්මක තත්ත්වයක් පමණි. අප වැනි රටවලට තවදුරටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ හුටපට වැදගත් නොවේ. ඒසේ නම් අප රට හා ලෝකය තුළ බ්‍රිතාන්‍ය රජ පවුලේ පුද්ගලික සිදුවිම්වලට පවා විශාල ප්‍රසිද්ධියක් අත්වන්නේ ඇයි? එය පැහැදිලි කළ හැක්කේ ජනමාධ්‍ය කලාව තුළ නිරන්තරයෙන් සඳහන් වන සංකල්පමය න්‍යායක් පදනම් කරගනිමිනි. එය“BIG NAMES MAKE NEWS”- ප්‍රසිද්ධ පුද්ගලයන් පුවත් මවන්නේ ය යන න්‍යායාත්මක තත්ත්වයයි. අනෙක් අතට හුදු ඕපාදූප කෙරෙහි ලොව පුරා ජනතාවගේ ඇති ඇල්මයි. තුන්වැන්න කලක් බ්‍රිතාන්‍යය හෙවත් හිරු නොබසින අධිරාජ්‍යයයේ මුදුන් මල්කඩ බදු රජ පවුල අද වනවිට පෙර අතීත මහේශාක්‍ය භාවයෙන් මිදී ඇති බව දන්වා සිටිමේ පණිවුඩයයි. 

ඇන්ඩෲ අගතියට පත් වූයේ කවුරුන් නිසා ද?

ඉහත ප්‍රශ්නයට උත්තර සැපයීමේ දී අපට බෞද්ධ ප්‍රාර්ථනා ගාථා පාඨයක් උපුටා දක්වමින් කරුණු පැහැදිළි කළ හැක. “රාජා භවතු ධම්මිකෝ” - රජු දැහැමි වේවා. මේ දැහැමි යනු ආගමානුකුල බව පමණක් නොවේ. යහපත් චර්යාවන් ද ඊට අයත් වේ. මේ පැවැත්ම පිරිසිදු දේශපාලනික චර්යාව හා පුද්ගලික චර්යාව යන සාධක දෙකම මත පදනම් වේ. නායකයා දූෂිතයකු නම්, ඔහු ගෙන් පාලනය වන ජනතාව පීඩා විඳිති. රජු සල්ලාලයකු නම් ඔහු ගෙන් පාලනය වන ජනතාව අපුලෙන් බියෙන් හා සැකෙන් පසුවෙති. මෙහි දී ඇන්ඩෲ ගේ සතුරා වෙනෙකෙකු නොව ඇන්ඩෲමය.  රජවරු අයථා සබඳතා නිසා සිහසුනෙන් බිමට වැටුණු හා ජිවිත පවා නැතිවූ අවස්ථා පිළිබඳ උදාහරණ එමටය. කාලිදාස මහා කවියාට සිය මිතුරා වූ කුමාරදාස රජ සමයේ දී සිය ජීවිතයෙන් වන්දි ගෙවිමට සිදුවූයේ, අයථා ඇසුරක ප්‍රතිඵලයක් ලෙසින් බව ඉතිහාස හා සාහිත්‍ය කතා පෙන්වා දෙයි. අනෙක් අතට බ්‍රිතාන්‍ය රජ පවුලට ද මෙවැනි සබඳතා අරුමයක් නොවේ. දෙවැනි හෙන්රි රජු ගේ හා රොස්මුන්ඩ් ක්ලිෆර්ඩ් නම් කාන්තාවගේ සබඳතාව, පළමුවැනි එළිසබෙත් රැජිනගේ පෙම්වතුන් ලැයිස්තුව, තුන්වැනි එඩ්වඩ් රජුගේ කාන්තා ඇසුර, අටවැනි එඩ්වඩ් හා සිම්සන් ආර්යාව, චාල්ස් කැමිලා බැඳීම ආදි සබඳතා බොහොමයක් සහිත ලැයිස්තුවක් ගෙනහැර දැක්විය හැක. 

එහෙත් ඇන්ඩෲ සම්බන්ධ ප්‍රශ්නය මීට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයකි. ජෙෆ්රි ඒප්ස්ටයින් නම් වූ අමෙරිකානු මූල්‍ය ව්‍යාපාරිකයා හා ඇන්ඩෲ අතර මිතුරුකම මේ අර්බුදයේ මූල සාධකයයි. ළමා අපචාරකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් ඒප්ස්ටයින් අතින් අතවරයට ලක්වූ බාල වයස්කාර දැරියන් ගේ සංඛ්‍යාව 36ක් ලෙස ලැයිස්තු ගතකොට ඇත. ඔහු මේ නිසා 2005 වසරේ සිට අමෙරිකානු පොලිස් ඇසට කොටුවී සිටි අතර, 2008 වසරේ දී බාල අපචාරකරුවකු ලෙස අධිකරණය මගින් දඬුවම් ලැබීය. එහෙත් සහන එකඟතාවක් මත සිරගත නොවී සිටි ඒප්ස්ටයින් 2019 වසරේ දී යළි අමෙරිකානු පොලිස් අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඒම වසරේදීම ය. මෙවර සිය වාසනාව ගිලිහී තිබූ ඒප්ස්ටයින් 2019 අගෝස්තු 10 වෙනිදා තම සිර මැදිරිය තුළදී ම මියගිය අතර, ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 66කි. ප්‍රශ්නය ඒප්ස්ටයින්ගේම පමණක් නොවේ. ඔහු තමන් අතින් අපයෝජනය වූ යුවතියන් තම මිතුරන් ගේ පරිහරණය සදහා ද ලබා දී තිබේ. බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු ඒප්ස්ටයින් ලැයිස්තුවේ ඉහළින්ම පසුවූ අයෙකි. මෙ නිසා ඇන්ඩෲ කුමරුද අයථා ලෙස ළාබල තරුණියන්ගේ පහස ලැබු අයෙකු බවට චෝදනා එල්ල වි තිබිණ. ඇන්ඩෲ පමණක් නොව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ද මේ ලැයිස්තුවේ පසුවන බව පරික්ෂණ වලදී හෙළිවි තිබේ. කෝටිපති ව්‍යාපාරිකයන් වන ඉලොන් මස්ක් හා බිල් ගේට්ස් ද ඒප්ස්ටයින්ගේ මිතුරු ලැයිස්තුවේ පසුවුව ද ඔහුගේ ලිංගික බිලිපූජා පිළිගත් බවට සාධක නැත. 

ඇන්ඩෲ පමණක් අමාරුවේ වැටීම

ඇන්ඩෲ කුමරු ඒප්ස්ටයින්ගේ අනුග්‍රහය යටතේ වර්ජිනියා ගියුෆ්‍රේ නම් කාන්තාව ඇය ළාබාල තරුණියකව සිටි සමයේ බාල වයස්කාර දැරියක ලෙස ඇන්ඩෲ කුමරු අතින් අපයෝජනයට ලක්වූ බවත්, තෙවරක් ලිංගික සබඳතා පැවැත්වූ බවත්, චෝදනා කොට තිබිණ. ඇය මේ වසරේ අප්‍රේල් මාසයේ දී මිය ගියාය. ඇය ඒප්ස්ටයින්ගේ ලිංගික අධිරාජ්‍ය්‍යට විරුද්ධව සටන් කළ තරුණියකි. ඒ සඳහා නඩු මගට බැස සිටියා පමණක් නොව, ඇයගේ ජීවිතය රෝගී තත්ත්වයක් මත අවසන් වුව ද, ඉන් පසුව පවා ඇන්ඩෲ කුමරු ගේ රාජකීයත්වය ගලවා දැමිමට තරම් ප්‍රබල විය. මේ අනුව මියගිය ද, වර්ජිනියා තවමත් අපයෝජකයන්ට බිය දනවන චරිතයකි. ඇන්ඩෲ කුමරු ගේ රාජකීයත්වය ඉවත් කරන බවට බකිංහැම් මාලිගය කළ නිවේදනය පිළිගත් වර්ජිනියා ගේ සොහොයුරා ප්‍රමුඛ පවුලේ සාමාජිකයෝ මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටියහ. චාල්ස් රජු අනුකම්පාව පළකරමින් කළ ප්‍රකාශය ඍජුවම යොමු වන්නේ වර්ජිනියා කෙරෙහිය.

දැන් ඇන්ඩෲ ඔහුගේ අයථා චර්යාව වෙනුවෙන් දඬුවම් ලැබූ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව තිබේ. ඒ ඔහුට එරෙහි චෝදනා ප්‍රසිද්ධියට පත්වීම නිසාය. ඇන්ඩෲ බී.බී.සී.ලෝක සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවා මේ චෝදනා ප්‍රතික්ෂේප කළේය. එහෙත් සියලු‍ සාධක ඇත්තේ ඇන්ඩෲට එරෙහිවයි. මේ අනුව දෙවැනි එළිසෙබෙත් රැජින ගේ සල්ලාල පුත්‍රයා අවසානයේ දී රාජකීයත්වය පවා අහිමි කර ගනිමින් වන්දි ගෙවා ඇත. එහෙත් එසේ වන්දි නොගෙවූ කොපමණ ප්‍රසිද්ධ හා බලවත් පුද්ගලයන් ඇත් ද? ප්‍රශ්නය එයයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ