ප්‍රංශයට අවමන් කළ ලෝක හොරකම


කෞතුකාගාරයට ඇතුළු වී තිබුණේ ඉණිමගකිනි. 

ගෙවී ගිය සතියේ ලෝකයේ විවිධ රට වලින් අර්බුද හා විශේෂ සිදුවීම් රැසක් වාර්තා විය. ලෝකයම බලා සිටින ඊශ්‍රායල් පලස්තීන සාමය කැඩි කැඩී අමාරුවෙන් ඉදිරියට ගමන් කළේය. හමාස් කල්ලියෙන් එලවූ බවට චෝදනා කෙරුණු ප්‍රහාරයක් මුල් කර ගනිමින් ඊශ්‍රායලය දිනක් තුළ ගාසා තීරයට නැවතත් බෝම්බ හෙළිය. හමාස් කල්ලිය කියා සිටියේ ඊශ්‍රායල් හමුදාවට පහර දුන්නේ තමන් ගෙන් කැඩීගිය කුඩා කණ්ඩායමක් බවයි. කෙසේ වෙතත් දිනක් තුළ අමාරුවෙන් යළි සටන් විරාමයේ ආරම්භ විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සාකච්ඡා පවත්වන බව සතිය මුලදී යළි ප්‍රකාශ කළේය. එසේ කියා තමා හමුවීමට ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට තවත්  වතාවක් කොකා පෙන්විය. කලින් යුක්රේනයට පොරොන්දු වූ පරිදි ඇමරිකානු ටෝම හෝක් කෲස් මිසයිල ලබා නොදී සෙලෙන්ස්කිව හිස් අතින් ගෙදර යැවීය. සතිය අවසන් වන විට ජනාධිපති ට්‍රම්ප් තවත් වතාවක් පුටින් සමග උරණ විය. හංගේරියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ එහෙත්ම දින නියම කර නොතිබූ සාකච්ඡා අවලංගු කළේය. එතනින් නොනැවතී රුසියානු තෙල්  වෙ​ෙළඳාමට  නැවතත්  සම්බාධක පැනවීය.

අනෙක් අතට සමස්ත ලෝකයම කම්පා කරන පුවතක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරනු ලැබීය. එය නම් - ගෝලීය පෝලියෝ මර්දන වැඩ සටහනක් අඩාළ වීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අද්නාම් ගේබ්රියාෂස් විසින් නිවේදනය කරනු ලැබීමයි. ඊට හේතුව ඩොලර් බිලියන 1.7 ක අරමුදල් හිඟතාවක් පැවතීමයි. වත්මන් අමෙරිකානු පාලනය වසර මුලදීම ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් කපා හැරීය.  ගෝලීය ජනප්‍රජාවගේ සෞඛ්‍ය සඳහා කැපවී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම අරමුදලක් එනම් සියයට27ක් පිරිනැමෙන්නේ අමෙරිකාවෙනි. ද්වී වාර්ෂික ප්‍රදානයන් යටතේ අමෙරිකාව 202 2- 2023 කාලවකවානුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් බිලියන1.28ක් ගෙවා ඇත. ඉන්පසු ඇමරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබිය යුතු මුදල් ගෙවීම ජනාධිපති ට්‍රම්ප් විසින්  ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සහන මෙහෙවරට දැඩි බාධා එල්ල වී තිබේ. යුක්රේන යුද්ධයට අමෙරිකාව විසින් 2024 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 83 කට අධික මුදලක් ගෙවා ඇති බව පමණක් මෙහිදී සිහිපත් කිරීම වටී. 

සිද්ධියේ දී කඩතොළු වූ එවුජින් අධිරාජිණියගේ ඔටුන්න

එහෙත් ලෝකයා වැඩිපුරම කතා කළේ ඉහත සඳහන් කළ අර්බුද කිසිවක් ගැන නොවේ. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සිදුවූ ක්‍රියාදාම පන්නයේ ලෝක හොරකම පිළිබඳවයි. 

ප්‍රංශයේ පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි කෞතුකාගාරය බිඳීමට මෙතරම් පහසුවෙන් හැකි වූයේ කෙසේ ද යන්න ගැන ප්‍රංශ ජනතාව හමුවේ බරපතළප්‍රශ්නයක් පවතී. එමෙන්ම ලෝක ප්‍රජාව ගෙන්ද මේ ප්‍රශ්නය බරපතළ ලෙස ඇසෙමින් පවතී. ඉන් අපහසුතාවට පත්ව ඇත්තේ ප්‍රංශ ආණ්ඩුවයි. ජනාධිපති මෑනුවෙල් මැක්රන් හට සෘජුවම චෝදනා එල්ල වෙයි. ඒ ප්‍රංශයේ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනි. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකිවීම නිසා ප්‍රංශය මේ අවස්ථාවේ දේශපාලනික වශයෙන් සිටින්නේ ඉතා බරපතළ අවුල් සහගත තත්ත්වයකය. නව අගමැතිවරයෙකු ප්‍රමුඛ ආණ්ඩුවක් තිරසර ලෙස පිහිටුවා ගැනීමට කීප විටක්ම අපොහොසත් වීම නිස ප්‍රංශ දේශපාලනික අවුල් සහගත බව ඉහළ ගොස් තිබේ. අනෙක් අතට ප්‍රංශයේ දක්ෂිණාංශික බලය වර්ධනය වෙමින් පවතී. ජනාධිපති එමෑනුවෙල් මැක්‍රන් හදිසි මහ මැතිවරණයක් පවා කැඳවා  දක්ෂිනාංශික බලවේග පිටුදැකීමට එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ උත්සාහයක ද නිරත විය. දකුණේ බලවේගවලින් එල්ල වන තර්ජනය නිසා තිරසර ආණ්ඩුවක් පිහිටුවීමේ දී පවතින අභියෝගය හේතුවෙන් තවත් දෙවසරක කාලයක් ජනාධිපති පදවියේ රැඳී සිටින මැක්‍රන් දේශපාලන දිවියේ වඩාත්ම බරපතළ අභියෝගයට මේ වන විට මුහුණ දෙමින් සිටි. ඒ නිසා ලූවර් කෞතුකාගාරයේ සොරකම ජනාධිපතිවරයා, ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකට දැමීමට සමත්ව තිබේ. මෙය ජනාධිපති  මැක්‍රන් හා රජයේ අභිමානයට පමණක් නොව සමස්ත ප්‍රංශයේම අභිමානයට එල්ල කෙරුණු දැවැන්ත පහරක් සේ සැලකිය හැකිය.

සිදුවූයේ කුමක්ද?

දැනටමත් අප දන්නා පරිදි පසුගිය ඉරිදා උදේ 9.30 ට පමණ සිව් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් ප්‍රංශයේ අගනුවර මධ්‍යයේ පිහිටි ලු‍වර් කෞතුකාගාරයට කඩා වැදුණහ. ඔවුහු යාන්ත්‍රික ඉනිමං සෝපානයක් යොදා ගනිමින් ඉහළ මහලේ පිහිටි“ඇපලෝ ගැලරි“ ප්‍රදර්ශනාගාරයට ඇතුළු වූයේ ජනේලයක් බල මෙවලම් වලින් කපා ඉවත් කිරීමෙනි. ඒ සමගම එම මහලේ සිටි ආරක්ෂකයන් මෙල්ල කරගැනීමට කොල්ලකාර කණ්ඩායම සමත් වූහ. මෙයට ප්‍රධානම හේතුව වූයේ කෞතුකාගාර ආරක්ෂකයන් සන්නද්ධව නොසිටීම හා ඔවුන් මෙවැනි ප්‍රහාරයකට මුහුණ දීමට තරම්පෙර සූදානමක නොසිටීමයි. එපමණක් නොවේ කෞතුකාගාරයේ ආරක්ෂක අඩුපාඩු රැසක් පැවති බවද, මේ කොල්ලය ඔස්සේ අනාවරණය විය. ප්‍රධානම දේ කෞතුක භාණ්ඩ පිහිටි කුටිවලට වටිනාකමට සරිලන මට්ටමේ ආරක්ෂාවක් නොතිබීමයි. අනතුරුව කොල්ලකරුවෝ සිත්සේ ඇපලෝ කුටියේ තිබු රාජාභරණ කොල්ල කෑහ. මේවා 19 වැනි සියවසේ ප්‍රංශ අධිරාජ්‍ය පවුල්වලට සම්බන්ධ ඉතා ඉහළ කෞතුක වටිනාකමක් මෙන්ම මුල්‍යමය වටිනාකමක් ද සහිත වූ බව තහවුරු වී තිබේ. කොල්ලකරුවන් පලා ගියේද ඉතා සැලසුම්ගත ආකාරයකට අනුවයි. ඔවුන් පැමිණ ඇත්තේ විශාල වාහනයකින් වුවද පලා යාම සදහා භාවිත කර ඇත්තේ කුඩා ස්කුටර් විශේෂයකි. ඔවුන් අතට පත්වූ ආභරණවල වටිනාකම යුරෝ මිලියන 88කි. සමස්තයක් වශයෙන් වටිනා රාජාභරණ 8ක් කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබේ. ඒ අතරින් එක් හිස් පලඳනාවක් අතරමග වැටී තිබි කෞතුකාකාර සේවකයන් ට හමුවී ඇත. ඊට දැඩි ලෙස හානි සිදුව ඇතත් එම ආභරණය නැවතත් යථා තත්ත්වයට පත්කරගත හැකි බව කෞතුකාගාර පාලනාධිකාරිය පවසයි. ඉතිරි ආභරණවල අනාගතය අවිනිශ්චිතය. විශේෂඥයන් දැනටමත් පෙන්වා දෙන්නේ කොල්ලකරුවන් එම ආභරණ උණුකර හෝ කැබලි වලට කපා දමා තිබීමට ඇති ඉඩකඩ බහුල බවයි. එසේනම් ඉතා වටිනා යුරෝපා සංස්කෘතික හා ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක ඉරණම විසඳී ඇතැයි සිතිය හැක. මෙය ලෝක ජනතාවට හිමිව තිබූ වටිනා දායාදයක් සුළුතර කොල්ලකාර පිරිසකගේ අවභාවිතයට ලක්විමක් සේ පෙන්වා දිය හැක.

වටිනා සාරිකටුවක්

 

ලු‍වර් කෞතුකාගාරයේ අඩුපාඩු

මේ වනවිට හේතු දැක්විමේ, එකිනෙකාට වරද පටවා ගැනිමේ හා ඉතා බරපතළ ලෙස නොසැලකිලිමත් භාවයක් පෙන්නීම පිළිබද චෝදනා විවිධ දිශාවන්ට එල්ල කෙරෙමින් පවති. කොල්ලකරුවන් ගැන පැහැදිළි තොරතුරක් මේ දක්වා නැත. ඔවුන් පළාගිය දිශාවේ තිබු කෞතුකාගාර වීඩියෝ දර්ශන ලබාගත නොහැකි වෙන සේ සී.සී.ටී.වී හෙවත් නිරික්ෂක කැමරා වෙනත් දිශාවකට හරවා පැවති බව වාර්තා වේ. ඊට අමතරව කෞතුකාකාරයට නිසි අභ්‍යන්තර ආරක්ෂක පද්ධතියක් නොතිබු බවද, මේ වනවිට තහවුරු වි තිබේ. ප්‍රධාන වශයෙන්ම ලූවර් කෞතුකාගාර කුටිවල තත්ත්වය නිරීක්ෂණය කිරිමක් සිදු කළ නොහැකිව තිබූ බව මුලික විමර්ශන වලදී හෙලිවෙයි. එමෙන්ම කෞතුකාගාර බලධාරින් රජයට මින් පෙර මේ අඩුපාඩු පෙන්වා දුන්නද එවා නිසි පරිදි යථා තත්ත්වයට පත්කොට නොමැති බවද, මුලික පරික්ෂණ වලින් හෙළිවි තිබේ. මෑත කාලීනව ප්‍රංශයේ වෙනත් කෞතුකාගාර කිහිපයකම කෞතුක භාණ්ඩ සොරා ගැනීම් වාර්තා විය. සියවසේ ලොකුම කළා හොරකම වන්නේ ඉකුත් සියවසේ මුල භාගයේ දී මොනාලිසා සිතුවම සොරා ගැනීමයි. දෙවසරකට පසු එය යළි හමුවිය. එදා සිට මෙදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර සිතුවමකට ලබාදී ඇති වැදගත්ම හා පුළුල්තම ආරක්ෂාව ලබාදී ඇත්තේ මොනාලිසා සිතුවමට බව වාර්තා වේ. පැරිසියේ බොහෝ කෞතුකාගාර වල ඇත්කේ නැපෝලියන් අධිරාජ්‍යයා හා ඔහුගේ  සේනාව යුරෝපයේ විවිධ රවවල යුද ක්‍රියාන්විත වල යෙදී ආපසු ප්‍රංශයට පැමිණෙද් දී රැගෙන ආ වටිනා භාණ්ඩ වෙයි. අවස්ථා කිහිපයක දී ප්‍රංශ කෞතුකාගාර හා රාජ්‍ය පාලකයන් විසින් මෙවැනි වටිනා කෞතුක භාණ්ඩ අදාල රටවලට පිරිනමා ඇත. එහෙත් සියල්ලම නොවේ.

සොරබඩු ඕන කාටද?

ලොව වටිනා කෞතුක වස්තු සොරකම හා කාලයක් තිස්සේ පතළ දෙයකි. මේවා මිලදී ගැනීමට ධනපතියන් රහසිගතව ලොව පෙළ ගැසී සිටිති. ඇතැම් වටිනා සිතුවම් තවමත් හමුවී නැත්තේ එබැවිනි. වර්තමානය වන විට ලොව පුරා ඇති කෞතුකාගාර වල ආරක්ෂාව ගැන යළි සිතිමට කාලය එළැඹ ඇත. 

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

සොරුන් රැගෙන ගිය ආභරණවලින් කොටසක්

මාරි - ඇමෙලි හා හෝටෙන්ස් රැජිණියන්ගේ ආභරණ අතර තිබූ හිස පලඳනාවක් සොරකම් කළ ආභරණ අතර විය.