දෙසතියක් පුරා පැවති අවිනිශ්චිත යුද භීතිකාව අවාසනාවන්ත ලෙස යථාර්ථයක් වී තිබේ. ඉන්දියාව හා පකිස්ථානය තම අවි ගබඩාවල ඇති යුද උපකරණවල ශක්තිය විදහා දක්වමින් සිටී. මේ වෙනවිට දෙපාර්ශ්වය නිල නොවන යුද්ධයක පැටලී සිටිති. දෙපාර්ශ්වයම කියන්නේ තමන් යුද්ධයක් සඳහා කැපවී නැති බවයි. දැන් අනුගමනය කරන සියලු ක්‍රියාමාර්ග, තම රටේ සෛවරීභාවය හා ජාතික ආරක්ෂාව උදෙසා බව ඉන්දියාව මෙන්ම පකිස්ථානයද කියයි.
මේ වෙනවිට පෙරමුණු තුනක යුද්ධ ක්‍රියාත්මකයි. දෙරටේ හමුදා අතර ආරම්භ වී ඇති අවි ගැටුම, දෙරටේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කොට ඇති රාජ්‍යතාන්ත්‍රික සටන හා තොරතුරු පිළිබද යුද්ධයයි. මේ යුද්ධ තුන මැද අසල්වැසි රටවල අප සැම සිදුවෙන දෑ ගැන අවිනිශ්චිත භාවයෙන් හා දැඩි විමසිලිමත් බවින් පසුවෙන්නේ, කලාපයේ තෝරු මෝරු ගැටෙද්දි අප වැනි හාල්මැස්සන්ට කුමක් වේද හා අප කුමක් කළ යුතු ද යන ප්‍රශ්නාර්ථන්ද සහිතවයි. ලෝකය මෙය දකින්නේ ගෝලීය ආරක්ෂාව, ස්ථාවභාවය හා ආර්ථික ප්‍රවණතාවන්ට හානිකර තත්ත්වයක් ලෙසිනි. ඊශ්‍රායල් - හමාස්-හුති-හිස්බුල්ලා-ඉරාන ගැටුම් නිසා මැදපෙරදිගත්, රුසියා- යුක්රේන යුද්ධය නිසා යුරෝපයත් අස්ථාවර වී තිබේ. ට්‍රම්ප්, චීනය සමග වෙළෙඳ යුද්ධයක පැටලී සිටී. ට්‍රම්ප් පාලනය දිගට හරහට බදු ගැසීම නිසා ලෝකයේ නිදහස් වෙළෙඳ රටාව උඩු යටිකුරු වී ගෝලීය ආර්ථික වර්ධන වේගය අඩාළ වී, ආර්ථික අභියෝගවලට ලක්ව සිටින ශ්‍රී ලංකාව වැනි රටවල් තවදුරටත් අවදානමකට තල්ලු කරන ගෝලීය වටපිටාවක් නිර්මාණය වී තිබේ. මේ නිසා “ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් “ මෙන් දකුණු ආසියාවේ අපේ ගෙමිදුලේ සිදුවෙන යුද හරඹයකින් අපි තවදුරටත් අපහසුතාවට පත්වීමේ අවදානමකට ලක්ව සිටිමු. ප්‍රශ්නය අපේ අසල්වැසියන් දෙදෙනා කොපමණ දුරකට කොපමණ කලකට ඔවුන්ගේ ආරවුල දිග්ගස්සා ගනු ඇද්ද යන්නයි.
යළි ඇවිළුණු කාශ්මීරය
අප්‍රේල් 22 වෙනිදා ඉන්දියාවේ “පුංචි ස්විට්සර්ලන්තය“ යනුවෙන් හැදින්වෙන කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේ ඉන්දීය සංචාරකයන් 25 දෙනෙකු හා නේපාල ජාතිකයෙකු ආර් එෆ් යන කෙටි නමින් හඳුන්වා ගන්නා, එහෙත් ඉන්දියාව පවසන පරිදි, ලෂ්කාර් ඊ තයිබා ත්‍රස්තවාදී කල්ලියට අයත් තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබීම, වත්මන් ගැටුමේ ප්‍රථම ගිනි පුලිඟුවයි. 2008 ඉන්දියාවේ මුම්බායි නගරයට පහරදී ජීවිත 175ක් වැනසුවේ ද මේ ලෂ්කාර් කල්ලියයි. ඉන්දියාව තුළ තවත් ත්‍රස්තවාදී ක්‍රියා රැසක්ම එම කල්ලිය විසින් සිදුකර තිබේ. මේ ගැන ඇති පදමට දේශීය හා අන්තර්ජාතික මාධ්‍ය විසින් කතාබහ කරනු ලැබ ඇත. ප්‍රහාරයේ අරමුණ ඉතා පැහැදිළිය. 2019 න් පසු නිහඬව තිබු කාශ්මීරය යළි අස්ථාවර කිරීමත්, කාශ්මීර ආර්ථිකයට ශක්තියක් වෙමින් තිබු සංචාරක කර්මාන්තය කඩා බිඳ දැමීමත් ය. 2024 කාශ්මීරයේ සංචාරක ආගමනය මිලියන 3.5 ඉක්ම වූ අතර එය ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% ක දායකත්වයක් ඉක්මවා තිබිණ. ඉකුත් වසරේ කාශ්මීරයට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 43000 ඉක්මවයි. අනෙක් අතට, තැනින් තැන පුද්ගලයන් ඉලක්ක කළ ඝාතන සිදුවුවද, කාශ්මීරය වසර 25කින් මෙපිට දුටු වඩාත්ම සාමකාමී තත්ත්වයක් දක්වා පිය නඟමින් තිබිණ.
ඉන්දීය හමුදාව හා කාශ්මීර බෙදුම්වාදීන් අතර 1989 වසරේ සිට පවතින ගැටුම් වලින් පිඩාවට පත්ව සිටි කාශ්මීර නිම්නයේ 90%ක් වූ මුස්ලිම් ප්‍රජාව, නැවත වතාවක් සංචාරක කර්මාන්තය, සාම්ප්‍රදායික කාශ්මීර සළුපිළි වෙළෙඳාම ආදි කටයුතුවල නිරතවෙමින්, තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හා යුදබියෙන් තොර, තම ජීවිතවලට ඇති තර්ජන ගැන බියකින් තොරව සාමාන්‍ය තත්ත්වයක් යටතේ ජීවත් වීම අරඹා සිටියහ. කාශ්මීරයේ අයිතිය ගැන ඉන්දියාව හා පකිස්ථානය අතර ප්‍රශ්නයක් පවතී. කාශ්මීරයේ අයිතිය ගැන ඉන්දියාවට ස්ථාවරයක් ඇත. පකිස්ථානය ඊට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දරයි. 1947දී ඉන්දියාව බ්‍රිතාන්‍යයන් නිදහස් වීම හා පකිස්ථානය බිහිවීම යන සිදුවීම්වලට පසුව මේ වෙනතෙක් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මේ ගැටලු සමතයකට පත් කරගැනීමට දෙරටටම හැකිවී නැත.
කාශ්මීරයේ මුස්ලිම් ප්‍රජාව කේන්ද්‍ර කරගත් දේශපාලනික, සමාජයීය, ආර්ථික හා සංස්කෘතික ගැටලුද පවතින බව එම ජනකොටසේ අදහස් විමසා බැලීමේදී පැහැදිළි වෙයි. එහෙත් මේ ප්‍රශ්න විසදාගැනීමේ මගක් ඊට අදාළ පාර්ශ්ව විසින් සලසා ගතයුතු අතර, එම අර්බුද මත මත ඇලී ගැලී සදාකාලිකව ජනජීවිත අඩාළ කොට ජනතාවට සැමදා බියෙන් හා සැකෙන් ජීවත් වීමට සිදුවෙන තත්ත්වයන් නිර්මාණය කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. ත්‍රස්තවාදය තුළින් කිසිවෙකුටත් කිසිදු යහපතක් අත් නොවේ. කාශ්මීරය ක්‍රමයෙන් ත්‍රස්තවාදි බලපැමෙන් මිදෙමින් පැවති අතර එහි ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට හුරුවෙමින් තිබිණ. පෙහෙල්ගම් සංචාරකයන් ඝාතනය මගින් ඍජු ප්‍රහාරයක් එල්ල කෙරුනේ, කාශ්මීර ජන ජීවිතයට හා ඔවුන්ගේ ආර්ථිකයටයි. ප්‍රහාරයෙන් පසු සංචාරකයන් තම ගමන් හා නවාතැන් ඇණවුම් අවලංගු කළ ආකාරයත් ඒ නිසා තමන්ට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික ව්‍යසනයත් ගැන කාශ්මීර වැසියන් අන්තර්ජාතික මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත්තේ ඔවුන් යළි මුහුණ පෑමට නියමිත ව්‍යසනය ගැන ලෝකයට කියාපාමිනි.
පෙහෙල්ගම් ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ගේ අරමුණ ඉටුවී තිබේ. දැන් නැවතත් යුද බිය කාශ්මිරයට පැමිණ තිබේ. එම යුද බිය ඉන්දු කාශ්මිරයට පමණක් නොවේ. පකිස්ථානය යටතේ ඇති අසාද් කාශ්මිරයටද අවතිර්ණ වී ඇත. එමතුද නොව, සමස්ත කලාපයම මේ යුද බියෙන් හා අවිනිශ්චිත භාවයෙන් පෙළෙමින් සිටී. කාශ්මීරයේ දේශසීමාව ලෙස පවතින පාලන රේඛාව නම් කලාපය හරහා ඉන්දියාවෙන් පකිස්ථානයටත් පකිස්ථානයෙන් ඉන්දියාවටත් කාලතුවක්කු හා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඉන්දු කාශ්මීරයේ පමණක්, මේ වෙනවිට 40 දෙනෙකුට මේ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා දිවි අහිමි වී ඇත. නැවතත් කාශ්මිරයේ දෙපසටම අස්ථාවරත්වය පැමිණ තිබේ. දෙපාර්ශ්වය අතර සිදුවෙන ගැටුම්වල ස්වභාවය හා ඒවායේ ප්‍රතිඵල ගැන දෙපාර්ශ්වයෙන්ම ලැබෙන නිල හා නිල නොවන වාර්තා සලකා බැලීමේදීද පෙනීයන්නේ මිසයිල වැටීම, ගුවන්යානා වැටුණු බවට වාර්තා පළවීම, ඩ්‍රෝන යානා ඇද වැටීම ආදී සිදුවීම් නිසා මේ වෙන විට ඉන්දු කාශ්මිරය හා පකිස්ථාන කාශ්මීරය ගැටුමේ ප්‍රධාන වින්දිතයන් බවට පත්ව ඇති බවක් තහවුරු වෙයි. මෙය කිසිදු පාර්ශ්වයකට වාසියක් අත් නොවන අගතිගාමි තත්ත්වයකි.
යුද ප්‍රහාරයෙන් විපතට පත් ජන සමාජය...
ඉන්දීය ප්‍රතිචාරය
ඉන්දියාව මැයි මස 7 වැනි බදාදා පකිස්ථානය ඉලක්ක කරගනිමින් සීමිත ප්‍රහාරයක් දියත් කළ බව නිල වශයෙන් නිවේදනය කළේය. මේ සඳහා ඉන්දීය යුද ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධ වූ බව ඉන්දීය නිවේදනයේ සඳහන් විය. 1971 බංග්ලාදේශය බිහිකෙරුණු ඉන්දු- පකිස්ථාන යුද්ධයෙන් පසු, ඉන්දියාවේ ත්‍රිවිධ හමුදා එක්ව පකිස්ථානයේ අභ්‍යන්තරයට මෙහෙයුමක් දියත් කළ ප්‍රථම වතාව මෙයයි. වසර 54කින් පසු සිදුවු මේ ගැටුම, ඉන්දියාව කලක් තිස්සේ ගොඩ නැගු යුද බලය ප්‍රායෝගිකව අත්හදා බැලූ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැක. ඉන්දියාව මැයි 7 ප්‍රහාරය සඳහා රෆායල් ගුවන් යානා, SCALP මිසයිල, AASM Hammer බෝම්බ හා SkyStriker අවි යොදාගත් බව වාර්තා වෙයි. රෆායල් ගුවන් යානා" ප්‍රංශයේ ඩසෝල්ට් සමාගමේ නිෂ්පාදනයක් වෙන අතර එය නවීන 4.5 පරම්පරාවේ ප්‍රහාරක යානා විශේෂයක් ලෙස හැඳින්වේ. එම යානා මෙතෙක් යුද්ධයකදී විනාශ වී නැත. SCALP මිසයිල, AASM Hammer බෝම්බ ද ප්‍රංශ නිෂ්පාදන වේ. Sky Striker අවි යනු ඉලක්කය සොයා ස්ව්‍යංක්‍රියව ඇදෙන ඩ්‍රෝන විශේෂයකි. එය ඉලක්කය වටා භ්‍රමණය වෙමින් ඉලක්කය නිශ්චය කොට ඒ මතට කඩා වැටී පුපුරා යන්නකි. ඒවා ඉන්දු - ඊශ්‍රායල් ඒකාබද්ධ යුද අවි නිෂ්පාදනයකි.
ඉන්දියාව දියත් කළ ප්‍රහාරය ගැන නිල නිවේදනයේ දක්වා තිබුණේ එය ඉලක්ක ගත , ප්‍රමාණාත්මකව සලකා බැලුනු හා ගැටුම් උත්සන්න නොවන ආකාරයෙන් සිදුකළ ප්‍රහාරයක් බවයි. ප්‍රහාරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පුද්ගලිකවම විමර්ශණය කළ බව ඉන්දිය ආරක්ෂක වාර්තා උපුටා දක්වන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙය කිසිසේත් පකිස්ථාන ජනතාවට හෝ පකිස්ථාන හමුදාවට ඉලක්ක වුණු ප්‍රහාරයක් නොවන බව ඉන්දීය රජය තහවුරු කළේය. ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවූ ඉන්දිය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි කියා සිටියේ, මෙය පකිස්ථානයේ ස්ථානගත ත්‍රස්තවාදින් ඉලක්ක කර සිදු කළ ප්‍රහාරයක් යන්නයි. මෙහිදී ඉන්දිය රජය කියා සිටියේ ලෂ්කාර් - ඊ- තයිබා, ජායිෂ් - ඊ - මුහම්මද් හා හිස්බුල් මුජහිදීන් යන සංවිධානව වල පකිස්ථානයේ පිහිටි මධ්‍යස්ථාන හා පුහුණු කඳවුරු මේ ප්‍රහාරයේදී ඉලක්ක කරගත් අතර ස්ථාන 9ක් ඉලක්ක වූ බව ඉන්දීය නිවේදනයේ දැක්වේ. ඉන්දියාවට වඩාත්ම දුරින් පකිස්ථානයේ පිහිටි ඉලක්කය වූයේ බහාවල්පූර්ය. එය දේශසීමාවට කිලෝමීටර 100ක් උතුරින් පිහිටා ඇත. මෙය ජායිෂ් ඊ මුහම්මද් කල්ලියේ මූලස්ථානය බව ඉන්දියාව පවසයි. අනෙක් ප්‍රධාන ස්ථානය මුරිද්කේ නගරයයි. එය ලෂ්කාර් ඊ තයිබා කල්ලියේ මූලස්ථානය බව ඉන්දියාව පෙන්වා දෙයි. එහෙත් පකිස්ථානය පවසන්නේ ලෂ්කාර් ඊ තයිබා කල්ලියේ නායක හෆිස් සයිද් විසින් ගොඩනඟා පවත්වාගෙන යනු ලැබූ දේවස්ථානයක් හා මද්රාසා පාසලක් එහි තිබූ අතර 2019 වසරේ හෆිස් සයිද් සිරගත කරනු ලැබීමෙන් පසු එය රජයට පවරාගෙන එහි දේවස්ථානයක් හා පාසලක් පවත්වාගෙන ගිය බවයි.
ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයේදි මුස්ලිම් පල්ලියට හානි සිදුවි තිබු අතර එය මාධ්‍යෙව්දින්ටද පෙන්වීමට පකිස්ථාන බලධාරීහු ක්‍රියාකළහ. මේ අතර මුරිද්කේහි වැසියන් පවසන්නේ, ඉන්දියාවට එල්ල වු ප්‍රහාරයෙන් පසු මුරිද්කේ ඉන්දිය ප්‍රහාරයකට ලක්විය හැකි බවට අනතුරු ඇගවීමක් පකිස්ථාන බලධාරීන් විසින් තමන්ට කර තිබු බවත් දේවස්ථානය අවට කලාපයෙන් ඉවත්විමට පණිවිඩ ලැබ තිබු බවත්ය. ඒ අනුව මෙම ස්ථාන කලින් සිටම ඉන්දිය ප්‍රහාරයක් අපේක්ෂා කළ බව පෙනේ. ප්‍රහාරයට ලක්වූ සෙසු ස්ථාන කිහිපයක් පකිස්ථානයේත් ඉතිරි සංඛ්‍යාව පකිස්ථාන කාශ්මිරයේත් පිහිටා තිබිණ.
ඉන්දියාව ප්‍රකාශ කරන ආකාරයට, මෙය පකිස්ථාන රජයට හමුදාවට හෝ ජනතාවට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් නොවේ. එහෙත් පකිස්ථානය නිල නිවේදන මගින් පෙන්වා දෙන්නේ, මෙය තම රටේ සෛවරී භාවය කඩකළ අවස්ථාවක් වෙන අතර, පකිස්ථාන වැසියන් 36ක් ප්‍රහාරවලින් මියයාම ඉන්දියාව විසින් යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකන බවයි. මේ අනුව, බදාදා සවස විශේෂ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවූ පකිස්ථාන අගමැති ෂබාස් ශරීෆ් කියා සිටියේ, ඉන්දියාවට නිසි ප්‍රතිචාරය දැක්වීම පකිස්ථාන හමුදාවට පවරා ඇති බවයි. ප්‍රහාරයට එක්වූ ඉන්දිය ගුවන් යානා 5ක් විනාශ කිරීම පකිස්ථානය ලැබූ ජයක් මෙන්ම ශක්තිය පෙන්වීමක් ලෙසද අගමැති ශරීෆ් සඳහන් කළේය. පකිස්ථාන අගමැතිවරයා කියා සිටියේ ද තම රටට යුද්ධයක් අවශ්‍ය නැති බවයි. කෙසේ වෙතත්, පකිස්ථානයේ සෛවරීභාවය රැකීමට කැපවන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.
ඉන්දු -පකිස්ථාන අවි
මේ ගැටුම තුළදී අප දුටුවේ, යුක්රේනයේදී මෙන් අන්තර්ජාතික අවි නිෂ්පාදකයන්ගේ ගැටුමකි. ඉන්දියාව පාවිච්චි කළ අවි අතර ප්‍රංශ, ඉන්දියානු, ඊශ්‍රායල් හා ඇමෙරිකානු මෙන්ම රුසියානු අවි පද්ධතිද විය. පකිස්ථානය ඉන්දියාවට එරෙහිව භාවිත කළේ මූලික වශයෙන් චීනයෙන් ලබාගත් අවි හා පකිස්ථානයේදී වැඩිදියුණු කරන ලද අවි පද්ධතීන් ය. අමෙරිකාවෙන් ලබාගත් එෆ් 16 යානා පකිස්ථානය සතුව ඇතත් ඇමෙරිකාව සමග ඇති ගිවිසුම අනුව ඒවා ඉන්දියාවට පහරදීමට යොදාගත නොහැක.ඒ නිසා පකිස්ථාන ගුවන් බලය මූලික වශයෙන් චීන- පකිස්ථාන නිෂ්පාදනයක් වන JF7 යානා වලව පැවරී තිබිණ. පකිස්ථානයට සිදුවු හානිය අන්තර්ජාතික මාධ්‍යෙව්දින්ට පෙන්වනු ලැබූ අතර, ඉන් පෙනී ගියේ බරපතළ හානියක් සිදුකිරීමේ අතිශය විනාශකාරී අවි භාවිත කිරීමක් සිදුව නැති බවයි. එය බොහෝ දුරට සංකේතාත්මක ප්‍රහාරයක ලක්ෂණ පෙන්නුම් කළේ ඉතා සීමිත හා ඉලක්කගත ස්ථාන කිහිපයක් විනාශ වී තිබූ බැවිනි. ඒ නිසා යුද්ධයක් සඳහා පාර කපන කෝපකාරි ප්‍රහාරයක් සිදු නොකළ බවට ඉන්දියාව කළ ප්‍රකාශයෙහි සත්‍යයක් ඇති බව ප්‍රහාරයේ ප්‍රතිළුල දෙස බැලීමේදී පෙනී යයි.
අනෙක් අතට පකිස්ථානය ඉන්දියාවට වඩා අඩු යුද උපකරණ ශක්තියකින් සමන්විත වුවද, පකිස්ථානය පවසන පරිදි ඉන්දියාව සතු ගුවන් යානා කිහිපයක් බිම හෙළීමට තරම් ශක්තියක් ඇති බවක් පෙන්නුම් කිරීම ඉන්දියාවට අභියෝගයකි. එය 2019 දී පකිස්ථානය විසින් ඉන්දීය මිග් 23 යානයක් බිම හෙළීම සිහි ගන්වයි. එහෙත් නිල නොවන වාර්තා සඳහන් කරන ආකාරයට, නවින රෆායල් යානයක්ද පකිස්ථාන ප්‍රහාරවලින් විනාශ වී ඇතැයි ආරංචියක් සංසරණය වේ. මෙය සත්‍යයක් නම්, මෙය ඉන්දියාව පමණක් නොව ප්‍රංශ අවි නිෂ්පාදකයාද අභියෝගයට ලක්වෙන අවස්ථාවකි. මෙය සත්‍යයක් නම් ඉන්දියාව තම ගුවන් බලය තවදුරටත් යථාවත් කිරීමට පෙලඹෙනු ඇතැයි විශ්වාස කළ හැක.
ඉන්දිය ගුවන් බලය බහුල වශයෙන් රුසියාවෙ නිෂ්පාදිත සුකෝයි 30 යානා මත රැඳී පවතින අතර ඉන්දියාව හා ප්‍රංශ අවි නිෂ්පාදක ඩසෝල්ට් ආයතනය අතර ඇතිකරගත් හා විවිධ චෝදනා මැද තහවුරු කරගනිමින් රෆායල් යානා 36ක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. එහෙත් වත්මන් තත්ත්වය ඉන්දියාව තම ගුවන් බළඇණිය යථාවත් කිරීමේ කටයුතු කඩිනම් කිරිමට මුල්විය හැකි යැයි උපකල්පනය කෙරේ. මේ වෙනවිට ඉන්දියාව ඇමෙරිකාවෙන් අති නවින f 35 ප්‍රහාරක යානා හෝ රුසියාවෙන් SU 57 යානා ලබාගැනීමට සුදානම් වෙන බව කලෙක සිට මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ලක්වන්නකි. මේ අතිරින් වර්තමානය වෙන විට f 35 කෙරෙහි වැඩි නැඹුරුවක් දැකීවීමට ඇති වැඩි ඉඩකඩ ගැනද සාකච්ඡාවට ලක්වේ. කෙසේ වෙතත්, ඉන්දියාව ඉතිහාසයේ පටන් වැඩි නැඹුරුවක් දැක්වූයේ රුසියානු යානාවලටයි. ට්‍රම්ප් ජනාධිපතිවරයාද මේ ගනුදෙනුව කෙරෙහි දැඩි අවධානයක් දක්වන බවක් පෙනේ. කුමන යානා විශේෂයක් මිලදී ගත්තද, ඉන්දියාව කලාපීය බලවතෙකු ලෙස තම යුද ශක්තිය වර්ධනය කිරීමේ ප්‍රවණතා කඩිනම් වෙන ලකුණු පෙන්නුම් කරයි.
යුද ප්‍රහාරයෙන් විපතට පත් ජන සමාජය...
දුස් තොරතුරු යුද්ධය
ඉන්දු- පකිස්ථාන ගැටුම හා සමගාමීව කලින් සඳහන් කළ පරිදි තවත් යුද්ධයක් ආරම්භ වී තිබේ. ඒ තොරතුරු ආශ්‍රිත යුද්ධයයි. මෙයට රටවල් දෙක පමණක් නොව විවිධ සයිබර් ගත පාර්ශ්වද සම්බන්ධ වී තිබේ. රාජ්‍ය මට්ටමින් කටයුතු කෙරෙන්නේ දෙරටේ ස්ථාවරය හැකි ඉක්මනින් අදාළ රටවල ජනතාවට හා ලෝකයට දැනුම් දීමටයි. දිනපතා දෙරටේ විදේශ අමාත්‍යාංශ මගින් මාධ්‍ය නිවේදන නිකුත් කෙරෙන අතර ඉහළම මට්ටමින් මාධ්‍ය හමුද සංවිධාන කෙරේ. ඒ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකි. එහෙත් වඩාත් ප්‍රශ්නකාරි වෙන්නේ අනීතික ක්‍රියාවලියයි. දැනට සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා බහුල වශයෙන් ‘දුස් තොරතුරු’ සංසරණය වෙන්නේ ඉන්දු පකිස්ථාන ගැටුමට අදාළ බව පවසමිනි. මේවා රාජ්‍ය මට්ටමින් නොව විවිධ කල්ලි කණ්ඩායම් මට්ටමින් සිදුකෙරෙන්නකි. ඇතැම්විට බොහෝ උත්සාහයන් ඉන්දියාවේ හෝ පකිස්තානයේ නොවන වෙනත් රටක යු ටියුබ් කරුවන් විසින් සිදු කරනු ලබන්නක් බව හෙළිවි තිබේ. ඉන්දු - පකිස්තාන ගැටුම අතරේ, බොරදියේ මාලු බාමින් ඉන්දියාවේ හා පකිස්තානයේ බව සඳහන් ව්‍යාජ වීඩියෝ හා තොරතුරු සමාජ ගත කර ඉන් තම ‘ලයික්’ හා ‘රීච්’ ප්‍රමාණය වැඩිකරගෙන කීයක් හරි හම්බකරගෙන කල දුටු කල වළ ඉහගන් ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියා කිරීමට යූ ටියුබ් කරුවෝ පෙලඹී සිටිති. ඇතැම් විට අපි ‘‘අනේ අපොයි’’ ඉන්දියාව- පකිස්තනය කියමින් නරඹන වීඩියෝ දර්ශණ, මීට වසර කිහිපයකට පෙර සිරියාවේ හෝ ගාසා තීරයේ හෝ වෙනත් රටක ගැටුමකට අදාළ දර්ශන විය හැක. එසේත් නැත්නම්, ඒ අයි තාක්ෂණය ඔස්සේ විකෘති ලෙස නිමැවූ දර්ශන විය හැක. සත්‍යය දැනගැනීමට නම් “කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය“ යන පැරණි කියමන සිහිතබාගෙන ක්‍රියා කිරිම වටී.
ශ්‍රී ලංකාවේ භූමිකාව
උද්ගත වී ඇති තත්ත්වය නිසා වැඩිපුරම අහිතකර බලපෑමකට ලක්වෙන්නේ ඉන්දීය උප මහාද්වීප කලාපයේ සෙසු රටවල්ය. නම් වශයෙන් කිවහොත් බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ශ්‍රී ලංකාවයි. මේ රටවලට ඉන්දියාව හා පකිස්ථානය යන අසල්වැසියන් දෙදෙනාම වැදගත්ය. ඒ දෙපාර්ශ්වයම විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකර තිබේ. ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා ඉන්දියාව ලබාදුන් සහායත්, අතීතයේ සිටම යුද්ධය හා අන්තර්ජාතික බලපෑම් හමුවේ පකිස්ථානය රටක් ලෙස අප වෙනුවෙන් පෙනී සිටිමත් පෙන්වා දිය හැක. මේ නිසා රජය ප්‍රකාශ කොට ඇති පරිදි, ශ්‍රී ලංකාවට වඩාත්ම හිතකර, නොබැඳි ප්‍රතිපත්තිය මත පිහිටා මේ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි. අනෙක් අතට, ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් ඇත්තේ මැදිහත්කරුවෙකු ලෙස මේ ප්‍රශ්නය විසදීමට දායකවීමේ ප්‍රවණතාවකට හිමිකම් කීමයි. දකුණු ආසියාවේ බංග්ලාදේශයට හෝ මාලදිවයිනට හෝ නේපාලයට හෝ නොමැති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවක් ශ්‍රී ලංකාව සතුව ඇත. 1962 ඉන්දු -චීන යුද්ධයේදීත් 1971 ඉන්දු - පකිස්තාන යුද්ධයේදීත් එවකට සිටි අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක එම ශක්තිය ඉතා තදින් අවබෝධ කරගෙන කලාපීය මැදහත්කරුවාගේ භූමිකාව රඟදැක්වූවාය. වර්තමානයේ භූ දේශපාලනික රටාව වෙනස් වී ඇතත් දකුණු ආසියාවේ ඉන්දියාව හා පකිස්ථානය හැරුණු කොට අන් සෑම අතකින්ම ශක්තිමත් ප්‍රවණතාවක් පෙන්වන්නේ ශ්‍රී ලංකාවයි. එම ශක්තිය ඉතා කල්පනාකාරීව කලාපයේ යහපත සඳහා යොදාගැනීමට දායකවීමේ ස්වර්ණමය අවස්ථාවක් ශ්‍රී ලංකාව හමුවේ පවතින බවද සඳහන් කළ යුතුය.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ