ගෝලීය දේශපාලනයේ අලුත් වෙනස්කම් මැද ඉන්දියාවේ ගමන් මග


මේ - ජාත්‍යන්තරය තුළ පවතින පද්ධති ගැඹුරු පරිවර්තනයකට ලක් වෙමින් පවතින වකවානුවකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ බහුපාර්ශ්වික රාමුව තුළ ස්ථාපිත වී පැවති - එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රෙටන් වුඩ්ස් ආයතන සහ නීති මත පදනම් වූ ආයතනයන් හි නිශ්චිතභාවය අභියෝගයකට ලක්වෙමින් තිබේ. බලපෑම් ක්ෂේත්‍ර සහ ප්‍රබල රටවල ගිවිසුම් මගින් හැඩගස්වන ලද, වෙළෙඳ ගනුදෙනු සහ මූලික අවශ්‍යතා මත වැඩියෙන් පදනම් වූ ගෝලීය පිළිවෙළක් අලුතින් මතුවෙන  බව සඳහන් කළ හැකිය. 19 වැනි සියවසේ දී බර්ලිනයේ කොංග්‍රසය එනම් යුරෝපයේ බලය සම්බන්ධ පැතිකඩ සහ ප්‍රායෝගිකවාදී දේශපාලනයේ ජෝර්ජ් කෙනන් සහ හෙන්රි කිසිංගර් ගේ සීතල යුද්ධයේ පැවැති යථාර්ථවාදී දේශපාලන උපාය සිහිගන්වයි.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය විසින් ඔවුන්ගේ උපායශීලී පිළිවෙළ නැවත හැඩගස්වමින් සිටින අතර, එය ඔවුන්ගේ මූලෝපාය අනුව එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කිරීමකි. සම්පත් වෙත ප්‍රවේශය, සැපයුම් චක්‍රය සහ උපායමාර්ගිකව සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, එක් එක් බල අක්ෂවලට අදාළ භූගෝලීය නායකත්ව සමග ගිවිසුම් ඇති කර ගනිමින් තිබේ. ඒ ඔස්සේ තම ප්‍රධාන විරුද්ධවාදීන් සන්සුන් කිරීමට වොෂින්ටනය උත්සාහ කරන බව පෙනේ. ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රවේශය සලකා බැලීමේ දී එය රටවල් අතර එකමුතුකම නොතකන, බෙදා වෙන් කර පාලනය කිරීමේ සහ බල එකතුව ශුන්‍යය බවට පත් කරන උපාය මාර්ගයක ඉහළ මට්ටමක් බව දැක්විය හැකිය. එහිදී, සෑම රාජ්‍යයකටම ආර්ථික හා දේශපාලන වශයෙන් ප්‍රහාර මාලාවකට මුහුණ දීමට සිදුවන අතර, ඒ ඔස්සේ අනෙක් රටවලට එල්ලවිය හැකි ඉරණම සම්බන්ධ උදාහරණයක් බවට පත්වීමේ භීතියක් ද නිර්මාණය කෙරෙමින් තිබේ.

නැගී එන මෙම ගෝලීය පිළිවෙළ තුළ, කල් පවත්නා සමාජ සම්මුතීන් සීමාසහිත වී ඇත.  කිසිවකුට කිසිම ආකාරයක් ගැන පැහැදිලි වගකීමක් නැත. රාජ්‍යයන්ට තවදුරටත් ස්ථාවර නීති හෝ පුරෝකථනය කළ හැකි පෙළගැස්වීම් මත විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයක් උදා කර තිබේ. ඒ වෙනුවට ඔවුන්ට බහුලව මුහුණ දීමට සිදුවන තියුණු විපර්යාස කළමනාකරණය කරගැනීමටත්, නිරන්තරයෙන් වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයන් මධ්‍යයේ තම ස්ථාවරයන් අඛණ්ඩව නැවත හැඩගස්සවා ගැනීමටත් සිදුවේ. මානව ක්‍රියාකාරකම්වල සෑම අංශයක් පුරාම විහිදුණු තාක්ෂණය මගින් වේගවත් කරන ලද, වෙනස ද මෙම අස්ථාවරත්වය මතට එකතු වන තවත් විශේෂිත කාරණයකි. 

ජන සමාජ මත බලපවත්වන ඩිජිටල් යැපීම් මගින් අලුත් ආකාරයේ අවදානම් සහගත තත්ත්ව නිර්මාණය කර ඇත. සයිබර් යුද්ධය හේතුවෙන් යටිතල පහසුකම් අඩපණ විය හැකි බවට අනතුරු ඇඟවේ. සිවිල් සහ මිලිටරි යෙදුම් අතර රේඛාව කෘත්‍රිම බුද්ධිය විසින් අපැහැදිලි තැනක් බවට පත් කරයි. දත්ත හා ඒවා ග්‍රහණය කරගන්නා අර්ධ සන්නායකවල භාවිතය විසින් ගෝලීය සැපයුම් දාමයට ඇතුළත්වන රටවල් බලහත්කාරී තත්ත්වයකට නිරාවරණය කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉවහල් වන බලවේගයක් ලෙස වරක් ප්‍රශංසාවට ලක් වූ සමාජ මාධ්‍ය පවා, වැරදි තොරතුරු සන්නිවේදනයේ සහ අස්ථාවර කිරීමේ රඟමඩලක් බවට පත්ව ඇත. මෙම තාක්ෂණික ස්වභාවය මගින් භූ දේශපාලනික කැලඹීම් වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන බව සහතික කරන අතර, රාජ්‍යයන්ට අනුවර්තනය වීමට ලබාදෙන කාලය තවදුරටත් සීමා කරමින් සිටී.

ඉන්දියානු භූමිකාව බලය සම්බන්ධ තද ගණනය කිරීම්වලට පමණක් සීමා විය යුතු නැත. අනෙකුත් ප්‍රධාන පාර්ශ්වයන් මෙන් නොව, මෙම නැගී එන ලෝකයට පරමාදර්ශී ගුණාංගයක් නැවත හඳුන්වා දීමට හැකියාව ඉන්දියාවට තිබේ. 

මෙම ගමන් මග එලෙසම පැවතියහොත්, පශ්චාත් යුද වකවානුව සමග මතු වූ  බහුපාර්ශ්වික පිළිවෙළ වෙනුවට රියල් පොලිටික්ස් හෙවත් යථාර්ථවාදී දේශපාලනය ආධිපත්‍යය දරන නව රාමුවක් ස්ථාපිත වනු ඇත. කුඩා සහ අඩුවෙන් බලවත් රාජ්‍යයන්ට තෝරා ගැනීම සඳහා අඩුම අවස්ථා ලැබේ. රටවල් විශාල ප්‍රමාණයකට උපාය මාර්ගික හැසිරවීම් සඳහා එක්තරා වකවානුවක අලුත් අවස්ථා ලබා දුන් නොබැඳි ප්‍රතිපත්තිය මෙවැනි පරිසරයක් තුළ තවදුරටත් ප්‍රමාණවත් වලංගුභාවයක් නොවිය හැකිය. ලෝකයේ මහ බලවතුන්ගේ බලපෑම් සහ ඒවාට යටත්වන ක්ෂේත්‍රවල ස්වභාවය පිළිගන්නා අතරම, ස්වකීය අවදානම අවම කරගත හැකි වන පරිදි සකස් වූ, බුද්ධිමත් බහුවිධ පෙළගැස්වීම් ඉදිරියේ දී අවශ්‍ය විය හැකිය.

සඳහන් කරන මෙම සංක්‍රාන්තිය සමග අවදානම සහ අවස්ථා යන පැතිකඩ ඉන්දියාව අබිමුවෙහි ඇත. බහුධ්‍රැවීය පිළිවෙළක් තුළ ස්වාධීන බල කේන්ද්‍රයක් ලෙස මතුවීමට තරම් ශක්තිය, පරිමාණය සහ උපාය මාර්ගික ගැඹුරක් ඇති ජාතීන් අතළොස්ස අතර ඉන්දියාව සිටී. ඉන්දියාව සිය භූමිකාව, ස්ථානය සහ බලපෑම් ක්ෂේත්‍රය ප්‍රවේශමෙන් හඳුනාගත යුතුය. ඉන්දියාවේ ආසන්නතම භූගෝලීය පරිසර ස්වභාවය හේතුවෙන්  දැනටමත් මෙය අනිවාර්ය අවශ්‍යතාවකි. ඉන්දියානු සාගරය, දකුණු ආසියාව සහ පුළුල් ඉන්දු-පැසිෆික් කලාපය, බහුවිධ බලවතුන් සිය පදනම් තහවුරු කරගැනීමට උත්සාහ කරන තරගකාරී වේදිකාවක් බවට පත්වෙමින් තිබේ. මෙම කලාපවල බලපෑම තහවුරු කර ගැනීම මගින්, ඉන්දියාවට වඩා විශාල ගෝලීය භූමිකාවක් සඳහා පදනම සකසාගත හැකිවනු ඇතැයි තක්සේරු කරන බව නිරීක්ෂණය වේ.

ඉන්දියාවේ ගමන්මග ගැන කලාපයේ නිරීක්ෂක රටවල් විශේෂ උනන්දුවකින් යුතුව අධ්‍යයනය කරමින් සිටී. ඉන්දියාව අනුගමනය කරමින් තිබුණ උපාය මාර්ගික සහ ස්වාධීනත්ව සම්ප්‍රදාය අතීතයේ දී ඉතා හොඳින් එරටට සේවය කළ නමුත්, වර්තමාන යුගයේ ඉල්ලීම් ඔවුන් ප්‍රධාන වශයෙන් අනුගමනය කළ නොබැඳි ව්‍යුහයෙන් ඔබ්බට විහිදේ. ප්‍රමුඛ බලවතෙකු ලෙස විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට නම්, වෙළෙඳාම, බලශක්තිය, දේශගුණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් සන්ධාන ගොඩනගාගැනීමට හැකි බව ඉන්දියාව සනාථ කළ යුතුව තිබේ. එයට අමතරව, අර්බුදකාරී අවස්ථාවල දී ස්ථාවරත්වය විදහා දැක්වීමට ද හැකි විය යුතුය. තමන්ගේම අවශ්‍යතා ආරක්ෂා කරගැනීමේ හැකියාව පමණක් ඉන්දියානු වර්ධනය මැන බලන මිනුම් දණ්ඩක් නොවේ. පුළුල් පරාසයකට විහිදුණු ස්ථාවරත්වය පිළිබඳ දැක්මක් ලබා දෙන න්‍යාය පත්‍රය සකස් කිරීමේ හැකියාව ද එහිදී අදාළය.

කෙසේ නමුත් මෙම සඳහන් කරන ඉන්දියානු භූමිකාව බලය සම්බන්ධ තද ගණනය කිරීම්වලට පමණක් සීමා විය යුතු නැත. අනෙකුත් ප්‍රධාන පාර්ශවයන් මෙන් නොව, මෙම නැගී එන ලෝකයට පරමාදර්ශී ගුණාංගයක් නැවත හඳුන්වා දීමට හැකියාව ඉන්දියාවට තිබේ. එහි ශිෂ්ටාචාරයෙන් දැක්වෙන ආචාර ධර්ම මගින් බහුත්වවාදය, සහජීවනය සහ ප්‍රතිරෝධය අවධාරණය කරන අතර එම වටිනාකම්වලට ඉන්දියානු දේශසීමාවෙන් ඔබ්බට විහිදෙන පිළිගැනීමක් ද තිබේ. ලෝකයේ දකුණු පැත්ත ආවරණය කරන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ද ස්ථානගත වී ඇති ඉන්දියාව, ආධාර සහ ආයෝජන පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය තුළ මුල් බැසගත් සමතුලිත වර්ධන ආකෘතියක් ද පිරිනමයි. සිය ජාතික අවශ්‍යතා හඹා යාම මෙම පුළුල් වටිනාකම් ප්‍රක්ෂේපණය සමග සුසංයෝජනය කිරීමෙන්, ප්‍රතිපත්ති ගරුකභාවයෙන් පදම් වූ බල තුලනයකට පදනමක් සකස් කිරීම දක්වා කටයුතු කිරීමට ඉන්දියාවට හැකිය. එසේ කිරීමෙන් එකතුව ශුන්‍ය වන ගනුදෙනු සහ වෙනස් වන බලපෑම් ක්ෂේත්‍ර මගින් ආධිපත්‍යය දරන පිරිසිදු ගනුදෙනු පිළිවෙලක දුර්ලභ විකල්පයක් ලෝකය හමුවේ තැබීමට ඉන්දියාවට හැකියාව ඇත.

අනාගත ලෝකයේ හැඩතල සලකා බලන පසු එය අඩු නිශ්චිතභාවයක් සහිත සහ වඩා අස්ථායී ස්ථානයක් වීමට ඉඩ ඇත. ප්‍රතිඵලවලට අනුවර්තනය වීමෙන් ඔබ්බට ගොස්, ඒවා හැඩගැස්වීමේ අවස්ථාව ඉන්දියාවට ලබාගත හැකිය. 1945න් පසු පැවති පිළිවෙළ අවසන් ය. කුඩා හෝ විශාල ජාතීන් විසින් බලපෑම් ක්ෂේත්‍ර වෙත යළි අනුවර්තන වීම කළමනාකරණය කරගන්නා ආකාරය අනුව මීළඟට කුමක් සිදුවේ ද යන්න තීරණය වනු ඇත. ඉන්දියාවේ අභියෝගය වනු ඇත්තේ, ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස සිය තත්ත්වය තහවුරු කර ගනිමින්, ප්‍රතිපත්ති ගරුකත්වයෙන් පදම් වූ බල තුලනයක් තුළ ජාත්‍යන්තරය සඳහා ස්ථාවර නැංගුරමක් සූදානම් කිරීම ඉන්දියාව අබිමුවෙහි තිබෙන බරපතළ වගකීමකි.
මිලින්ද මොරගොඩ

(හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘවරයාය.) [email protected]  මගින් මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් යොමු කළ හැකිය.