’ඒකත් මගේ වැඩක්’ ට්‍රම්ප්ගේ කියුම් හා කෙරුම්


ඉන්දියාව හා පකිස්ථානය ඉකුත් සති අන්තය දක්වා එකිනෙකාට එරෙහිව අවි අමෝරාගනිමින් උපක්‍රමික යුද්ධයක නිරත වූයේ සමස්ත දකුණු ආසියාව යුද බියෙන් සලිත කරමින් හා ලෝකය තවත් යුද්ධයක අවිනිශ්චිතතාවට යොමු කරමිනි. කෙසේ වෙතත්" ඉන්දියාවත් පකිස්ථානයත් එකිනෙකා දෙසට අමෝරාගත් තුවක්කු මිසයිල හා ඩ්‍රෝන එකවරම නිහඬ කරවුයේ අත් තිරිංග (හෑන්ඩ් බ්‍රේක්) ඇද වාහනයක් එකවර නවතා ගන්නා ආකාරයෙනි. දිනුවේ ඉන්දියාවද පකිස්ථානයද යන්න ගැන තවමත් දැඩි සංවාද විවිධ මාධ්‍ය ඔස්සේ සිදුවෙන ආකාරයක් අපි දකිමු. යුද්ධය ගැන කතා කළ දෙරටේ නායක කාරකාදීන් මේ වෙනවිට සාමය ගැන කතාකිරිමට පටන්ගෙන තිබේ. 
 
ඉන්දියාවට සාමය අවශ්‍ය බව පවසන අගමැති නරේන්ද්‍ර මෝදි, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ක්‍රියාකළයුතු ආකාරය‍ හොඳින් දන්නා බවද පවසයි. පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ්, ඉන්දියාව සමග සාම සාකච්ඡාවක් ඇරඹීමට යෝජනා කරයි. ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනය, සුපුරුදු පරිදි සටන් නැවැත්වීමට රජය ගත් තීරණය විවේචනය කළත්, එම පක්ෂවලම ප්‍රබලයන් සටන් නැවැත්වීමට මෝදි රජය ගත් තීරණයට සහාය පළකරන බවක් පෙනේ. උදාහරණයක් වශයෙන්,  ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොංග්‍රසයේ ප්‍රබලයෙකු වන කාශ්මිර මහ ඇමති ඕමාර් අබ්දුල්ලා පවසන්නේ, යුද්ධය නතර වීම ගැන කාශ්මිර ජනතාව සැනසුම් සුසුම් හෙළන බවත් යුද්ධයක් අවශ්‍යව දඟලන්නේ සීත රූපවාහිනි මැදිරිවල සිට අදහස් දක්වන ඇතැම් මාධ්‍යකරුවන් බවත්ය. 
 
යුද්ධය නැවැත්වීම ඍජුව විවේචනය නොකර, එය සිදුවු ආකාරය ගැන මෝදි රජයෙන් ප්‍රශ්න කිරීමේ පිළිවෙතකට යොමුවිීමට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රස් සංධානය තීරණය කර ඇත්තේ වඩාත් උපක්‍රමශීලි දේශපාලනික පියවරක් ලෙසිනි. යුද්ධයට ආවැඩීමක් නොකරන බව පෙන්වමින්, මෝදි රජය සටන් නැවැත්වීමට එකඟ වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රහාරාත්මක ව්‍යාපෘතියක් ඇරඹීම කොංග්‍රසයේ අරමුණ වී තිබේ. මෙහිදී මෝදි රජයට එරෙහි පාර්ශ්ව මතු කරන ප්‍රශ්නයක් වෙන්නේ, අන්තර්ජාතික වශයෙන් එල්ල වූ බලපෑමක් නිසා පකිස්ථානයට වාසි සහගත අයුරින් යුද්ධය නැවැත්වීම සඳහා පාලක භාරතීය ජනතා පක්ෂ සන්ධානයට එකඟ වීමට සිදුවීද යන්නයි. මෙය දැන් ඉන්දියාව තුළ සංවාදයට තුඩු දුන් කරුණක් බවට පත්ව තිබේ. ඊට පක්ෂව හා විපක්ෂව කරුණු ඉදිරිපත්වෙමින් පවතී. කෙසේ වෙතත් මෝදි රජය මුහුණ දී ඇති මේ කලබැගෑනියට හේතු වි ඇත්තේ වෙන කිසිවෙකු නොව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ අන් කිසිවක් නිසා නොව, ඉන්දු පකිස්ථාන යුද්ධය නතර කිරීම “මගේ වැඩක් “ යැයි ට්‍රම්ප් උදම් ඇනීමයි. වරක් දෙවරක් නොව ගෙවි ගිය සතියක කාලය තුළ ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඉන්දු පකිස්ථාන යුද්ධය නැවැත්වීමට තමා මැදිහත් වූ බව අන්තර්ජාතික මට්ටමන් තැන් හයකදී අවධාරණය කොට ඇත. 
 
දැන් ඉන්දීය විපක්ෂ කණ්ඩායම් නගන ප්‍රශ්නය වෙන්නේ, සටන් නැවැත්වීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකානු භූමිකාව හා විශේෂයෙන් ට්‍රම්ප්ගේ මැදිහත්කරු භූමිකාවේ ස්වභාවය කුමක්ද යන්නයි. අප්‍රේල් 22වෙනිදා කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් පිරිසක් විසින් හින්දු භක්තික ඉන්දිය ජාතික පිරිමින් 25 දෙනෙකු හා නේපාල ජාතික පිරිමියෙකු ඝාතනය කිරීමේ දී, එම ත්‍රස්තවාදීන්ට පකිස්ථානය උදවු කළ බවට ඉන්දීය රජය චෝදනා කරමින් ඊට ප්‍රතිචාර වශයෙන් “සින්ධුර්” මෙහෙයුම ඇරඹුවේ, මුලින් පකිස්ථානය තුළ හා පකිස්ථාන කාශ්මීරයේ පිහිටි ඉන්දියාව විසින් ත්‍රස්තවාදී මධ්‍යස්ථාන ලෙස හදුනා ගනු ලැබූ බවට නිවේදනය කෙරුණු ස්ථාන 9ක් ඉලක්ක කරගනිමින් ක්‍රමෝපායයික වශයෙන් යුද ගුවන්යානා මිසයිල හා ඩ්‍රෝන යොදාගනිමින් ප්‍රහාරයක් සිදු කිරීමෙනි. එහිදී පකිස්ථානය ඉන්දීය ගුවන්යානා 5ක් බිම හෙළු බව ප්‍රකාශ කරමින් ඉන්දියාව තුළ පිහිටි ඉන්දීය හමුදා මර්මස්ථාන ඉලක්ක කරගනිමින් සීමිත දිගුදුර අවි හා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කොට තිබේ. ඉන්දියාව ඊට එකට එක කිරීමක් වශයෙන් පකිස්ථානයේ හමුදා මධ්‍යස්ථාන වෙත ඉලක්ක ගත ප්‍රහාරයක් සිදු කළ බව සඳහන් කරයි. 
 
එහිදි අගමැති නරේන්ද්‍ර මෝදි සපථ කර සිටියේ, ඉන්දිය කාන්තාවන්ගේ නළලත සින්දූර් පිසදැමූ ත්‍රස්තයන්ට හා ඔවුන් පවත්වාගෙන යන්නන්ට ( පකිස්ථානය ඉලක්ක කරගෙන) කිසිදු සමාවක් නොදෙන බවයි. කෙසේ වෙතත්, ඉකුත් සති අන්තය, එනම් වෙසක් දිනය උදාවීමට පැය 48කට පෙර, ඉන්දියාව හා පකිස්ථානය සටන් විරාමයක් නිවේදනය කළේය. ඒ තමාගේ මැදිහත්වීමෙන් ඉන්දියාව හා පකිස්ථානය සටන් නතර කිරීමට එකඟ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසුවයි. එය සැබෑවක් නම්, බුර බුරා නැඟුණු යුද ගින්නක්  හදිසියේ ඉද්ද ගැසුවාක් මෙන් නතර කිරිමට තරම් ප්‍රබල කේවල් කිරීමේ ශක්තියක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොඩනගාගෙන ඇති බවක් විද්‍යමාන වේ. 
 
ඉන්දියාව හෝ පකිස්ථානය ට්‍රම්ප්ගේ මැදිහත්වීමක් ගැන විශේෂයෙන් ආවඩන්නේ  හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට තමාගේ කෙරුවාව ගැන ට්‍රම්පටය වයන්නේ ට්‍රම්ප්ම විසිනි. ඒ අතරම ඇමෙරිකාව ඉන්දියාවේ ප්‍රධාන අවි සැපයුම්කරුවා වීමේ අභිලාෂයද ට්‍රම්ප් ගෙනහැර දැක්වූයේ ඉකුත් පෙබරවාරියේ ඉන්දිය අගමැති මෝදි‍ගේ ඇමෙරිකානු චාරිකාවේදී ධවල මන්දියේ පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡා වලින් පසු මෝදි සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී බව මෑතකාලීන ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාව දැනට භාවිත කරන අති නවීන එෆ් 35 ප්‍රහාරක යානා ඉන්දියාවට විකිණිමට සූදානම් බවයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වියදමින් ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රය නවීකරණය කිරීමට මෝදි රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ඉන්දියාව ඇමෙරිකාවෙන් දැනටමත් ඩොලර් බිලියන 20 අවි ලබාගැනීමට අභිලාෂය පළකොට ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් පසුව පැවති මාධ්‍ය හමුවකදී ඉන්දිය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි ප්‍රකාශ කොට ඇත්තේ එෆ් 35 යානා ලබාගැනීම  ගැන පවතින්නේ යෝජනාවක් බවත් එය තවම ක්‍රියාත්මක මට්ටමට එළැඹ නැති බවත්ය. 
 
කෙසේ වෙතත් පකිස්ථානය සමග නොබෝදා පැවති ගැටුමේදී ඉන්දියාව තම ගුවන් බලයේ තත්ත්වය ගැන යම්කිසි තක්සේරුවකට පැමිණෙන්නට ඇති බවත් ඒ නිසා නවීකරණය වඩාත් ඉක්මන් වෙනු ඇති බවත් විශ්වාස කළ හැකි බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතයයි. එම නවීකරණයෙදී යුරෝපා අවි සැපයුම්කරුවන්ගේ, විශේෂයෙන්ම ප්‍රංශයේ ඩසෝල්ට් වැනි යුද ගුවන්යානා නිෂ්පාදකයන්ගේ කේවල් කිරිමේ හැකියාව දියාරු වෙනු ඇති බවක් සැලකෙයි. ඒ ඉකුත්දා සිදුවු ඉන්දු පකිස්ථාන ගැටුමේදී, ඉන්දිය ගුවන් හමුදාවේ නවීනතම හා ප්‍රධානතම ප්‍රහාරක බලය වූ ඩසෝල්ට් නිෂ්පාදනයක් වන රෆායල් යානා වලින් අපේක්ෂිත ප්‍රහාරක ශක්‍යතාව ළඟාකරගැනීමට ඉන්දියාවට හැකිවීද යන්න සම්බන්ධයෙන් පවතින ආන්දෝලනය හා ඒ ආශ්‍රිත උත්තර නැති ප්‍රශ්න හේතුවෙනි. එනම්, පකිස්ථානය භාවිත කළ චින මිසයිලවලින් රෆායල් යානා බිමහෙළීමට හැකියාව ලැබුණේද යන්න සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නකාරි ස්ථාවරය නිසයි. 
 
ඉතිහාසයේ මුල සිටම ඉන්දියාව වැඩි නැඔුරුවක් දක්වන්නේ රුසියානු අවි කෙරෙහිය. ඉන්දීය ගුවන් හමුදාව රෆායල් යානා ප්‍රංශයෙන් මිලදී ගන්නා තෙක් එහි කොඳු නාරටිය බඳු වූයේ රුසියානුSU 30, Mig 29, Mig 27  හා  Mig 23 යානා ය. මෙවර යුද්ධයේදීද රුසියානු අවි භාවිතය කැපී පෙනිණ. S 400  මිසයිල පද්ධති SU 30  ප්‍රහාරක යානා ඒ අතර විය. එහෙත් ආර්ථික අර්බුදයක් හමුවේ වුවද, පකිස්ථානය දියුණු චීන අවි පද්ධති හා JF 17  යානා උපක්‍රමශීලි ලෙස භාවිත කිරීම වැනි විශ්ලේෂණාත්මක වාර්තා හමුවේ ඉන්දියාව මුල්පෙළේ ආරක්ෂක නවීකරණයකට යොමුවෙනු ඇතැයි සැලකේ. වත්මන් ඉන්දු පකිස්ථාන ගැටුමට පෙර සිටම, ඉන්දියාව ගුවන් බලය නවීකරණයට  පිඹුරුපත් සකස් කළේ තමන්ට සුපුරුදු රුසියානු යානා පද්ධතියේ නවීනතම පස්වැනි පරම්පරාවේ යානා විශේෂයක් වෙන SU 57  හෝ ඇමෙරිකාවේ නිෂ්පාදිත  F 35  පස්වැනි පරම්පරාවේ යානා ගැනද අවධානය යොමු කරමිනි.  
 
කෙසේ වෙතත්, ට්‍රම්ප් සාධකය පදනම් කරගනිමින් ඉන්දියාවට නවීන ප්‍රහාරක ගිනි බලයෙන් යුත්, එහෙත් නඩත්තු වියදම් හා කොන්දේසි අධික ( උදාහරණ වශයෙන් ඇමෙරිකාව පකිස්ථානයට අතීතයේදී   F 16  යානා ලබා දී තිබුණද ඒවා ත්‍රස්තවාදයට එරෙහි සටන් සඳහා භාවිත කරනවා විනා ඉන්දියාවට පහරදීමට යොදාගත නොහැකි බවට ඇමෙරිකාව පකිස්ථානයට කොන්දේසි පනවා ඇත)   F 35  ගනුදෙනුව වෙත යොමුවීමට සිදුවෙනු ඇතැයි විශ්වාසයක් පවතී. අනෙක් අතට ට්‍රම්ප්, අගමැති මෝදි තමන්ගේ මිතුරා බව කියමින් හා ඉන්දියාව සමග පවතින සබඳතා අගය කරමින් ම, ඉන්දියාවට 27%ක බදු පැනවීම, ඉන්දිය පිළිවෙත නොතකා වත්මන් ප්‍රශ්නයේදී “කාශ්මීර අර්බුදය විසඳාගත යුතු බව පැවසීම, ඉන්දියාව ඇමෙරිකානු නිෂ්පාදන ආනයනයේදී බදු ප්‍රතිශතය ශුන්‍ය කිරීමට එකඟ වූ බව පැවසීම ඉන්දීය රජය ට්‍රම්ප් ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර බදු සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙන මුත් තවමත් කිසිදු අවසන් එකඟතාවකට එළැඹ නැති බව පවසයි) ආදි කරුණු නිසා අතිජාත මිත්‍ර මෝදි හා රජය අපහසුතාවට පත්වෙන අතරම ඇතැම් විට ට්‍රම්ප් අපේක්ෂා ‍නොකරන තරමේ ඇමෙරිකානු විරෝධයක් ඉන්දිය ජනසමාජය තුළින්ම ඉස්මතු වීම තුළින් මෝදි රජයට බලපෑමක් එල්ල වීමේ අවදානමක් ද පවතී. ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් මේ ගෙනයන භූමිකාව කුමක්ද යන්න පැහැදිළිව අවබෝධ කරගැනීමයි.
 
චීන අමෙරිකානු බදු ගිවිසුම
 
මීළගට ආසියාවේ ප්‍රධාන බලවතා හා ලොව දෙවැනි ආර්ථික බලවතා වන චීනය සම්බන්ධයෙන් ට්‍රම්ප් පිළිවෙත යළි ගෝලීය අවධානයට නතුවූයේ, මෙතෙක් ඔවුන් අතර එකිනෙකාට එරෙහිව අහස උසට බදු ගසා ගනිමින් ලොව දරුණු තම වෙළෙඳ යුද්ධයේ යෙදී සිටි චීනයක් අමෙරිකාවත්, ට්‍රම්ප් බදු සාක්ච්ඡා සඳහා යොමුවීම හා දෙපාර්ශ්වය දින කිහිපයක් තුළ බදු අත්හිටුවීමේ ගිවිසුමකට එළැඹීම යන සාධක ගෙන හැර දැක්විය හැකිය. එයද ගෝලය පර්යාය තුළ සිදුවු තවත් ප්‍රබල වෙනසකි. සති කිහිපයකට පෙර ඇමෙරිකානු චීන වෙළෙඳ ගැටුම උග්‍ර වී තිබුනේ ඇමෙරිකාව තම ප්‍රධාන වෙළෙඳ හවුල්කරු වන චීනයට 245%ක බදු පැනවීමත් චීනය 147%ක බදු ඇමෙරිකානු නිෂ්පාදන ආනයන වලට පැනවීමත් දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව වහසිබස් කියාගැනීමත් යන කරුණු පදනම් කරගනිමිනි. එහෙත් ඇමෙරිකාව බදු ගැන සාකච්ජා පැවැත්වීමට යොජනා කළ වහාම චීනය ඒ සදහා අවතීර්ණ වුණේ අඬන්නට සිටි කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් පරිද්දෙනි. සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව ඇමෙරිකාව හා චීනය බදු අත්හිටුවීමේ සම්මුතියකට අවතීර්ණ විය. මේ යටතේ ට්‍රම්ප් බදු වලින් 30%ක් හැර සෙසු බදු ඉවත් කිරිමටත් චීනය ඇමෙරිකාවට පනවා තිබු බදු 10% ක් දක්වා අඩු කිරිමටත් එකග වී තිබේ. එමෙන්ම දින 90 ක කාලයක් සඳහා මේ එකඟතාව ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව, චීනය වෙළෙඳ අර්බුදය හමුවේ ඇමෙරිකාවට වටිනා ඛනිජ ද්‍රව්‍ය හා තාක්ෂණික අමුද්‍රව්‍ය ලෙස සැළකෙන ඛණිජ වර්ග ඇමෙරිකාවට අපනයනය තහනම් කරමින් පනවා තිබු නියෝගයද අත්හිටුවා ඇත. මෙය දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා වලට හා අවසානයේදි පොදු එකගතාවක් දක්වා පැමිණිමේ මූලික පියවර සේ සැලකේ. 
 
ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම හැසිරෙන්නේ දේශපාලන ප්‍රධානියෙකුට වඩා වෙළෙඳ ප්‍රධානියෙකු ලෙසයි. ප්‍රධාන සැපයුම්කරුවා වන චීනය සමග සිදුකෙරෙන ගනූදෙනුවලින් ඇමෙරිකාවට අත්වෙන්නේ බලවත් අවාසියකි. චීන භාණ්ඩ ඇමෙරිකානු වෙළෙඳ පොළ තුළදී ලබන මුල්‍යමය වාසිය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 440 ඉක්මවයි. එහෙත් ඇමෙරිකාව චීනයට සපයන භාණ්ඩ වලින් ඇමෙරිකාවට ලැබෙන්නේ ඩොලර් බිලියන 145ක මුල්‍යමය වාසියකි. 2017 වසරේ මුලින් බලයට පත්වූ ට්‍රම්ප් උත්සුක වූයේ මේ අවාසිදායක වෙළෙඳ පරතරය අඩුකරගැනිමටයි. ඒ අතරම චීනයේ නැගීඑන ආර්ථිකය හා ඒ ඔස්සේ ගොඩනැගෙන දේශපාලනික බලය කප්පාදු කිරීමට අවශ්‍ය විය. එදා පළමු වෙළෙඳ යුද්ධය නිමා වුවද ට්‍රම්ප් සිව් වසරකට පසුව තම දෙවැනි ධුර කාලය සාක්ෂාත් කරගනිමින් නැවතත් චීනයට අභියෝග කිරීමට පෙලඹුණේ චීනය පිඩනයකට ලක් කොට බලපෑම් ක්‍රමවේදය ඔස්සේ ඇමෙරිකානු ගමන් මග වඩාත් බලවත් අදියරක තබා ගැනීම බවක් හැඟී යයි. 
 
ට්‍රම්ප් මේවෙනවිට ඉරානය ද න්‍යෂ්ටික සාකච්ඡා වටයකට ද කැඳවා ඇත්තේ මැදපෙරදිග කලාපයේ බලවත් රටවල් වන සෞදි අරාබිය, කටාර් හා එක්සත් අරාබි එමීර් යන රටවල නායකයන් හමුවේ ඇමෙරිකාවේ සහයෝගිතාව පුළුල් කිරිමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමිනි. ඒඅතරම, මැදපෙරදිග හිතවතුන්ට ඇමෙරිකාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කරගැනීමටද මේ චාරිකාව තුළින් ඉඩකඩ සළසා තිබිණ. 
 
චීනයටද ඇමෙරිකාව සමග දිගුකාලින වෙළෙඳ හෝ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් අවශ්‍ය නැත. ආසියාවේ ප්‍රධාන බලවේගය වෙනතෙක් වඩාත් නිහඬ, එහෙත් ක්‍රියාශීලි භූමිකාවක් නිරූපණය කරමින් අතිශයින් තර්ජනාත්මක අවස්ථාවකදී හැරඅන් සෙසු අර්බුදවලදී වඩාත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් චීනය යන්නේ ඉතා දැඩි ක්‍රමෝපායික ගමනකි. ඒ නිසා ට්‍රම්ප් සමග ගැටී තම අරමුණ දුර්වල කරගැනීමට හා අන්තර්ජාතික තලයේදී කරළියෙන් බැහැර වීමට චීනය කිසිසේත් සූදානම් බවක් නොපෙන්වයි. 
 
අනෙක් අතට, වෙළෙඳ යුද්ධය නිසා චීනයේ ඇතිවිය හැකි අවදානම් සහගත ආර්ථික ගැටළුකාරි තත්ත්වය පාලනයකර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති ෂි ජින් පින්  අවබෝධ කරගෙන ඇති බවක් පෙන්නුම් කරයි. මේ නිසා චීන ඇමෙරිකා වෙළෙඳ ගිවිසුම ඍජුවම ට්‍රම්ප් “තනිකරම මගේ වැඩක් නොකිව්වත්” ඒ සිදුවීම් ජාලය තුළ වඩාත් සංසරණය වෙන්නේ ඇමෙරිකාව බදු සම්බන්ධයෙන් චීනය සමග ගෙනගිය වැඩපිළිවෙළ, එනම් බදු ඇති කිරීම හා නැති කිරීම යන  ක්‍රියාවලීන් තුළ දක්නට ලැබෙන්නේ ට්‍රම්ප් රංගනයයි. නොකීවත් එය ට්‍රම්ප් ගේ වැඩක් බව දන්නෝ දනිති. 
 
යුක්රේන රුසියා සාම සාකච්ඡා
 
මේ සතිඅන්තය එළැඹෙන විට රුසියාව හා යුක්රේනය යුද්ධයෙන් පසු ප්‍රථම වරට එනම් රුසියාව යුක්රේනයට තම හමුදා යොමුකළ 2022 පෙබරවාරියේ සිට මේ දක්වා කාලය තුළ මුල්  වරට මුහුණට මුහුණ ලා ප්‍රධාන සාකච්ඡා වටයකට එළැඹෙන ප්‍රථම වතාව මෙයයි. සාකච්ඡා  ඉහළම මට්ටමින් එනම් ජනාධිපතිවරු දෙදෙනා අතර මුහුණට මුහුණ ලා සාකච්ඡාවක් යුක්රේන ජනාධිපති ව්ලැදීමීර් සෙළෙන්ස්කි අපේක්ෂා කළ මුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට එකග නොවීය. පුටින් ඒ වෙනුවට විශේෂ දූත පිරිසක් තුර්කියේ පැවැත්වෙන සාකච්ඡා වෙත යොමු කළේය. මෙය සෙලෙන්ස්කිගේ නොසතුටට හේතු වූවකි. සෙලෙන්ස්කිද ඒ නිසා තුර්කි සාකච්ඡා මගහැරියේය. 
 
පළමු සාකච්ඡාව තුළින් සාධනීය ප්‍රතිඵල අත්කරගැනීමක් ගැන අපේක්ෂා කළ නොහැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාක් රූබියෝ පවසයි. ඒ අතරම ඔහු පවසන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ ලා සාකච්ඡාවක් පැවැත්වෙන තෙක් යුක්රේන අර්බුදයට තිරසාර විසඳුමක් සෙවීඹ ගැන අපේක්ෂාවක් තැබිය නොහැකි බවයි. කෙසේ වෙතත්, රුසියාව හා යුක්රේනය අද පැමිණ තිබෙන ස්ථාවරයට මූලික හේතුවද ට්‍රම්ප් බව ලෝක ප්‍රජාවගේ මතයයි. ට්‍රම්ප්, සෙලෙන්ස්කි සමග ඉකුත්දා මුහුණට මුහුණ ලා සාකච්ඡා පවත්වා තම උප ජනාධිපතිවරයාද සමග එක්ව සෙලෙන්ස්කි අපුල්ලා දමන ආකාරය ලෝකයම දුටුවේ සාකච්ඡාව සජීව ලෙස රූපවාහිනී හා සමාජ මාධ්‍ය ඔස්සේ දැක බලා ගත් ජනතාවයි. එය යුක්රේන යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යයකි. බයිඩන් පාලනය හා යුරෝපා බලවතුන් ඩොලර් බිලියන ගණනකින් අවි හා තවන් යුද උපකරණ යුක්රේනය වෙත ලබා දුන්නේ රුසියාවෙන් නැගෙන තර්ජනය ගැන සඳහන් කරමිනි. එහෙත් ට්‍රම්ප් පිළිවෙත වෙන්නේ ඇමෙරිකානු ජනතා බදු මුදල් යුක්රේනයේදි පුළුස්සා දමනු වෙනුවට ඇමෙරිකාවට වාසිදායක වෙනත් මගක් ඔස්සේ එම අර්බුදයට විසඳුමක් සොයමින් ඇමෙරිකාව අතින් මුදල් වැයකිරිම නවත්වාලීම ට්‍රම්ප්ගේ ස්ථාවරයයි. එමෙන්ම යුක්රේනය සමග ඛනිජ ගිවිසුමකට එළඹ ඇත්තේ යුද්ධයට යුක්රේනයට ගෙවනු ලැබූ මුදල් වටිනාකම යළි අය කරගැනීමේ අපේක්ෂාවෙනි. එසේම ට්‍රම්ප් හා පුටින් අතර ‍දැඩි එදිරිවාදී ආකල්පයයක් දක්නට නොලැබේ. මේ සියල්ල සැලකූ විට ඇමෙරිකානු උපාය මාර්ගය යුක්රේනය තුළ ඇමෙරිකානු ආර්ථික හා දේශපාලනික ප්‍රවණතා පවත්වාගන්නා අතරම රුසියාව සමග ගැටුම්කාරී මාවතෙන් බැහැරව විසඳුමක් කරා යොමුවීමයි. මෙය ද ට්‍රම්ප්ගේ කෙරුවාවල් ගොන්නට වැටෙන, මේ සතියේ බලගැන්වුණු ගෝලීය වැඩපිළිවෙළකි.
 
ඉරාන අමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා
 
ට්‍රම්ප් මේවෙනවිට ඉරානය ද න්‍යෂ්ටික සාකච්ඡා වටයකට ද කැඳවා ඇත්තේ මැදපෙරදිග කලාපයේ බලවත් රටවල් වන සෞදි අරාබිය, කටාර් හා එක්සත් අරාබි එමීර් යන රටවල නායකයන් හමුවේ ඇමෙරිකාවේ සහයෝගිතාව පුළුල් කිරිමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමිනි. ඒඅතරම, මැදපෙරදිග හිතවතුන්ට ඇමෙරිකාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කරගැනීමටද මේ චාරිකාව තුළින් ඉඩකඩ සළසා තිබිණ. ඇමෙරිකානු හිතවත් අරාබි ජාතින්ට අභියෝගයක් වෙන ඉරානය යම් තුළනාත්මක ස්ථාවරයකට ගෙනඒමට ට්‍රම්ප් උත්සුක වන බවක් පෙනේ. එමෙන්ම අප අමතක නොකළ යුතු කරුණක් වෙන්නේ, ඉරානය සාධනීය ලෙස යොමුවෙමින් තිබු න්‍යෂ්ටික අවි හරණ රාජ්‍ය තාන්ත්‍රික වැඩ සටහන, එනම් සය පාක්ෂික සාකච්ඡා ක්‍රමවේදය 2018 වසරේදී කඩාකප්පල් කිරීමට ට්‍රම්ප් මුල්වූයේ ඔබාමා යුගයේ ක්‍රියාත්මක වූ තවත් සාධනීය වැඩපිළිවෙළකට නැවතීමේ තිත තබමිනි. 
 
ට්‍රම්ප් දැන් ඔහුගේ ම සැලැස්මක් අනුව ඉරානයට අවතීර්ණ වී ඇත්තේ කුමන ස්ථාවරයක් යටතේද යන්න මෙතෙක් පැහැදිළි නැත. එහෙත් ඉරානය ප්‍රතිපත්තියක් ලෙස සාකච්ඡා සඳහා යොමුවීමට ඉඩ ඇතැයිද සැලකේ. ඉරානය මේ වෙනවිට සෙසු අරාබි රටවල් හා ඊශ්‍රායලය සමග පැවති ගැටුම්කාරී ස්ථාවරයෙන් මඳක් නිහඬ වි ඇත්තේ අරාබි කලාපය තුළ ඊශ්‍රායල් යුද භූමිකාව අතිශයින් ප්‍රබල වීමත්, ඉරාන හිතවාදී හිස්බුල්ලා, හමාස් හා හුති වැනි ගරිල්ලා ව්‍යාපාර දුර්මුඛ වීමත් සන කාරණා පදනම් කරගනිමිනි. අනෙක් අතට, පලස්තීන ප්‍රශ්නයේදී පමණක් ට්‍රම්ප් ඉතා දැඩි ලෙස පලස්තීන විරෝධි හා ඊශ්‍රායල් ළැදි පිළිවෙතක් අනුගමනය කිරීම පැහැදිළිව දක්නට ලැබෙන්නකි. ඔබාමා හා බයිඩන් යන මැතකාලීන ජනාධිපතිවරුන් තුළින් දිස්වූයේ මීට වඩා රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයකි. ට්‍රම්ප් ගෝලීය නායකයෙකුට වඩා කේවල් කරන්නෙකුගේ ස්ථාවරයක් පෙන්නුම් කිරීම ගැටලුවකි.
 
මේ සියලු කරුණු සලකා බැලීමේදී, පොදු සාධකය වෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චර්යාවයි. ඔහු මේ නියෝජනය කරන්නේ, ඇමෙරිකාව සම්ප්‍රදායික වශයෙන් සලකනු ලැබූ ලෝක පොලිස් භටයාගේ භූමිකාව නොවේ. ඊටත් එහා ගිය ගෝලීය තීරකවරයෙකුගේ චරිතය නිරුපණය කිරීමටද ? මෙය ගෝලීය වේදිකාවල දැන් නිරතුරුව කතා බහට ලක්වෙන කාරණයකි.
 
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ