14 වැනි සුදොතුම් භූමිකාව


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ස්වර්ගස්ථවීමත් සමග ලෝකය ඇස් දල්වා බලා සිටියේ මීළඟ පාප් වහන්සේ කවුද? කුමන රටකින් බිහිවේ ද? කුමන භූමිකාවක් ඉටුකරයිද ? යන ප්‍රශ්නද සමගිනි. මේ ප්‍රශ්න වලට උත්තර ලැබුණේ බ්‍රහස්පතින්දා (මැයි 8 වෙනිදා) රාත්‍රියේය. දෙදිනක් පුරා කාදිනල් හිමිවරු 133දෙනෙකුගේ සහභාගිත්වයෙන් ( ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ඇතුළුව) වතිකානයේ සිස්ටින් දෙවස්ථානයේ පැවති කාදිනල් සමුළුව හෙවත් කොන්ක්ලාව් හි  පැවති අපොස්තලික ජන්ද විමසීම් 4ක් අවසානයේ, ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොව හමුවේ පෙනී සිටීම සිදුවිය. ඒ කොන්ක්ලාව් දේවස්ථානයේ වහලයේ ඇති කුඩා දුම් කවුලු‍ව දෙස ලෝකයක් පැය 48ක් පුරා ඇස් දල්වා බලා සිටීමෙන් අනතුරුවයි. 

පළමු දිනයේ ජන්ද විමසීමෙන් හා දෙවැනි දිනයේ පළමු වටයේ ජන්ද විමසීමෙන් අනතුරුව, චිමිනියෙන් කළු දුම් නැඟුණේ පාප්වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය අවසන් නැති බව සංකේතවත් කරමිනි. එහෙත් බ්‍රහස්පතින්දා සවස් භාගයේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 9.40ට පමණ දේවස්ථාන චිමිනියෙන් සුදු දුමාරයක් නැගීමට පටන් ගත්තේ නව පාප් වහන්සේ කෙනෙක් ලොවට බිහිවි ඇතැයි යන පණිවුඩයද සමගයි. වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනයා සතුටු කඳුළු හෙළූහ. ඔල්වරසන් හඬ නැඟූහ. මෙවර පාප් වහන්සේ බිහිවී ඇත්තේ ලොව සිව්වැනි විශාලතම කතෝලික ජනගහනය වෙසෙන රටිනි. එනම් ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. 

නව පාප්වහන්සේ ඇමෙරිකාවෙන් බිහිවීම ඇතමුන්ට යම් කුකුසක් ඇති නොකළා නොවේ. ඒ ලොව සුපිරි බලවතා වෙන ඇමෙරිකාවේ බලාධිකාරය ගැන කල්පනා කිරීම නිසාය. එහෙත් නව පාප් වහන්සේ ඇමෙරිකානු ජනසමාජයට පමණක් අයත් චරිතයක් නොවේ. උන්වහන්සේ සිය දිවියෙන් වැඩි කොටසක් කැප කළේ ලතින් ඇමෙරිකානු රටක් යෙන පෙරූ රාජ්‍යෙය් ආගමික මෙහෙවර හා ජනතා සුබසිද්ධිය වෙනුවෙනි. උන් වහන්සේ පේරු රාජ්‍ය යේද පුරවැසියෙකි. 1955 වසරේදී ඇමෙරිකාවේ පාතාල ලෝකය ලෙස සැලකෙන චිකාගෝවේ උපන් රොබට් ප්‍රිවොස්ට් දරුවාගේ  පියා ප්‍රංශ ජාතිකයෙකු වූ අතර මව ඉතාලි ජාතික කාන්තාවකි. රොබට් දරුවාගේ කුඩා කාලය ගෙවී ගියේද පල්ලිය ඇසුරේය. පසුව පූජකවරයට පිවිසි රොබට් ප්‍රිවොස්ට් පියනම තම උපන් බිම වෙන චිකාගොවේ පමණක් නොව අනතුරුව අඩු වරප්‍රසාදලාභී ජනයා බහුලව ජීවත් වෙන, සමාජ විෂමතා ඉහළ එමෙන්ම සමාජ පහසුකම් අවම පෙරු රාජ්‍යෙය්ද ආගමික මෙහෙවරෙහි නිරත විය. විවිධ අභියෝගවලට මුහුණ දෙමින්, ආගමික මෙහෙවරට කැපවූ ප්‍රිවොස්ට් පියතුමන්ගේ මග ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගිය මග ඔස්සේ වැටී තිබිණ. 

ආගමික මෙහෙවරට මෙන්ම සමාජයීය මෙහෙවරටද උන් වහන්සේ කැපවුණේ ෆ්‍රැන්සිස් පාප් තුමන් අනුව යමිනි. තම ප්‍රථම දේශනය වතිකානයේදී සිදුකරමින්, ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ ලොවටම සාමය ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේගේ දේශනයේ 9 වතාවක් සාමය යන වදන සටහන් විය. ඒ ලෝකයට සාමය අවශ්‍යම මොහොතකයි. පාප්වහන්සේ යනු ලොව කුඩාම රාජ්‍යය වෙන වතිකානයේ පාලකයායි. උන්වහන්සේගේ ගෝලීය මෙහෙවර කතෝලික ආගමික ප්‍රජාවට පමණක් සීමා නොවේ. ගෝලීය අර්බුද වලදී පාප් වහන්සේගේ භූමිකාව ආගම් හා ජාති සීමාවන් ඉක්මවා විහිදී යයි. ශාන්ත පීතර තුමන්ගේන් ආරම්භව, මේ දක්වා විහිදෙන පාප් පරම්පරාවේ 267 වැනි සාමාජිකයා වශයෙන් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ වතිකානය තුළ තවදුරටත් ජනතා හිතවාදි ප්‍රතිසංස්කරණ වෙත යොමුවෙමින් වඩාත් සාධනීය වෙනස්කමි සඳහා මුල්වෙනු ඇතැයි යන්න ලොව පුරා උන්වහන්සේගේ භූමිකාව දෙස විමසිල්ලෙන් සිටින ලෝක ජනතාවගේ ඒකායන පැතුමයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ