ආණ්ඩුවේ වෙනස කොතැනද?


ජනාධිපතිවරයා පත්වී වසරක් ගතවී ඇති අතර ආණ්ඩුව පත්වී වසරක් ගෙවෙන්නට ඇත්තේ දවස් 15කට ආසන්න කාලයකි. මේ ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමකින් යුක්තව පත් වූයේ 2024 නොවැම්බර් 14වැනිදාය.

2026 වර්ෂය සඳහා රජයේ අය-වැය ඉදිරිපත් කරන බව කියන්නේ ලබන මාසයේදීය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රධාන කාරණා දෙකක් ගැනය. එයින් එකක් වන්නේ ආණ්ඩුවට වර්ෂයක් ගෙවෙන තත්වයක් තුළ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුවිපරමක් කිරීමය. දෙවැන්න අය-වැය සම්බන්ධ කර ගනිමින් යම් යෝජනාවක් කිරීමය.

 

ඔටෝ පයිලට් ගමන

ආණ්ඩුවේ ප්‍රගතිය සම්බන්ධව කතා කළ මිතුරකුගේ අදහස වූයේ මේ ආණ්ඩුව යන්නේ ‘‘ඔටෝ පයිලට් මූඩ් එකේ’’ බවයි. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වෙනස්කමක් නොමැතිව- තමන්ට පෙර  සිටි නායකයා දැමූ ගියරයේම ඔහේ යන බවය. මේ අදහස ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නම් කදිමට ගැළපෙන්නකි. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය පැත්තෙන් දමා තිබූ ගියරයේම යාම නිසා ආර්ථිකයේ ස්ථාවරභාවය හෙවත් Economic Stability එක සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී නැත. එය හොඳ දෙයක්ය. එතැන ගියර් මාරු නොකිරීම හොඳ දෙයක්ය. එහෙත් එතැනින් එහාට ගමන් කරද්දී තත්වය වෙනස්වීම අනිවාර්යය. ආර්ථික වර්ධනය හෙවත් Economic Growth හැදෙන්නේ පරණ ගියර් එකේම යාමෙන් නොව නව තත්වයන්ට ගැළපෙන පරිදි අලුත්  තීරණ ගැනීමෙනි. IMF එකඟතාව තුළද මේ අදහස ඉදිරිපත් කර තිබේ. ආර්ථික වර්ධනය යනු ආණ්ඩුවේ ආර්ථිකය වර්ධනය කර ගැනීම පමණක් යැයි සිතා සිටින සමහරුන්ද ආණ්ඩුවේ සිටින බව ඒ අයගේ කතා ඇසෙද්දී සිතේය. රටක ආර්ථික වර්ධනය යනු එක පැත්තකින් ආණ්ඩුවේ මූල්‍ය ශක්තිය වර්ධනය කරමින් සුබසාධන හා සමාජ රක්ෂණ වැඩසටහන් ඇතුළු රාජ්‍ය සේවය ඵලදායි තැනක් බවට පත් කළ යුතුය. එසේම රටේ ආර්ථික වර්ධනය යනු පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් වෙළෙඳපොළ ක්‍රමය තුළ නිදහස් හා සාධාරණ අවකාශයක් ගොඩ නැගීමය.

මේ වැඩ දෙක කරන්නට ආණ්ඩුවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ තුළ නිදහස් හා සාධාරණ අවකාශයක් ගොඩ නැගීමට නම් ආර්ථික ක්ෂේත්‍රයේ නව තීරණ ගත යුතුය. ඒ කිසිවක් සිදුවන්නේ නැති ගානය.

රජයේ බදු ප්‍රතිපත්තිය, (2) රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය (3) විදේශ සංචිත වර්ධනය සඳහා නව උපාය මාර්ග (4) සංචාරක ව්‍යාපාරය, අපනයන ආදායම් වර්ධනය, සේවා අංශයේ (වරාය සේවා  ඇතුළු) වර්ධනය පිළිබඳව අලුතින් මැදිහත්වීමක් තිබෙන බවක් පෙනෙන්නේ නැත.

විශේෂයෙන් 2025 වර්ෂයේ බදු ආදායමේ යම් වර්ධනයක් වාහන ආනයනය කිරීමත් සමගින් ආරම්භ වූ බව සැබෑවක්ය. එහෙත් එයට සාපේක්ෂව රටින් ඉවතට යන විදේශ සංචිත තත්වය පිළිබඳව ගුණයක් තිබීමද අවශ්‍යය. රටේ ඩොලර් මිලදී ගනිමින් තරගයට වාහන ආනයනය සඳහා ණයවර විවෘත කරන බොහෝ අය රටට ඩොලර් ගෙනෙන කිසිම ව්‍යාපාරයක් කරන හෝ එවැන්නකට සහාය දෙන ආර්ථික ක්‍රියාකාරකමක සිටින්නෝ නොවෙති. වාහනයක් පෙන්විය යුත්තේ ඍජුව ඩොලර් ගෙනෙන ව්‍යාපාරිකයන් පමණක් යැයි මෙයින් අදහස් නොවේ. එහෙත් ආර්ථික ක්‍රියාදාමය තුළ හුදු දේශීය ව්‍යාපාරය තුළ පමණක් සිටින වෙළෙඳපොළක් නඩත්තු කිරීමට ඩොලර් බිස්නස් කරන සුළු පිරිසකට සිදුවීම  මෙරට ආර්ථිකයේ තිබෙන බරපතළ නොගැළපීමක් බව ප්‍රකාශ කරන්නටය.

 

රාජ්‍ය යාන්ත්‍රණයේ ගමන

මීළගට පෙනී යන තවත් කාරණයක් වන්නේ මේ වනවිට රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ඔටෝ පයිලට් තත්වයක් වත් නැති තැනකට වැටී ඇති බවය. රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ තමන්ගේ  ආයතනයේ පුනරාවර්තන ගිණුම (පඩි ගෙවීම වැනි) මෙහෙයවීම පමණක් ය. මේ තත්වය අත්දැකීමෙන්ම බලාගත් අය සමාජයේ ඕනෑ තරම් සිටින බව මගේ අදහසය.

රාජ්‍ය නිලධාරීන් සිටින්නේ තමන් ආරම්භ කරන කිසිදු මූලධන ව්‍යාපෘතියක් (Capital related Projects) සඳහා මුලින් අත්සන් කරන්නේ නැති මානසිකත්වයකය.‘‘අමාරුවේ වැටෙන්න බැරි නිසා’’ කියන නිදහසට කාරණයන් සමගින් තමන්ට ඉහළින් සිටින තනතුරට වගකීම මාරු කිරීම ඒ අයගේ රැකියාව බවට පත්වී ඇත. ඇමැතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට මේ කාලයේ ඉවර කරන්න බැරි තරම් පයිල් ගොන්නකට අත්සන් කරන්නට සිදුවී තිබෙන්නේ මේ නිසාය.

 

සංකල්පීය ප්‍රශ්නයක්

ආණ්ඩුවේ වර්ෂයක ප්‍රගතිය සමාලෝචනය කරද්දී අවධානයට ගත යුතු ඥානවිභාගික ප්‍රශ්නයක් (Epistemological issue) තිබේ. එය ගැන දීර්ඝව කතා කිරීමට මේ ලිපියෙන් නොහැකි වුවත් පොඩි සටහනක්වත් යෙදිය යුතුය.

වත්මන් ආණ්ඩුව පත්වීමට පෙර සිටම ඒ අය ඡන්දදායකයන් නම්මා ගැනීමට යොදා ගත් සමහර අලංකාරික (Retoric)ඇත්තම ඒවා යැයි ආණ්ඩුවම දැන් සිතන්නට පුරුදු වී තිබීම මා මේ කියන ඥානවිභාගික ප්‍රශ්නයේ පදනමයි. මේ කාරණය මෙහෙම කීවාට සමහරුන්ට නොතේරෙන්නට පුළුවන. ඒ නිසා මේ කාරණය උදාහරණ කීපයකින් පැහැදිලි කිරීම සුදුසුය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ එක් අලංකාරිකයක් වූයේ මෙවැන්නකි. ‘‘මේ රටේ දියුණුවට අවශ්‍ය තරම් සම්පත් දැනටමත් රට තුළ තිබේ. ඒවා දේශපාලනඥයන් සහ නිලධාරීන් හොරකම් කරන නිසා රට දියුණු වන්නේ නැත. ඒවා නවත්වන විට රට ඉබේම දියුණු වන්නේය’’ වැනි අදහසකි.

මේ අදහසේ (අලංකාරිකයේ) සත්‍ය කරුණු ද තිබේ. එනම් රටේ සම්පත් හොරකම් කිරීම නැවැත්විය යුතු බවයි. එහෙත් තවත් බොහෝ කොටස් මෙහි සත්‍ය නොවේ. රට තුළ සම්පත් පිරී ගොස් නැත. භෞතික සම්පත් පමණක් නොව පුහුණු මානව සම්පත්ද මේ රට තුළ ඉතාමත් හිඟය. හොඳ වෙළෙඳපොළක් නැත. වෙළෙඳපොළ ක්‍රමය හෝ වෙනත් මොනයම් හෝ ආර්ථික ක්‍රමයක් පිළිබඳව ශක්තිමත් පිළිගැනීමක් රට තුළ නැත. ව්‍යවසායකත්වය පිළිබඳ බයක් මිස කැමැත්තක් තරුණයන් තුළ නැත. ‘‘තමන්ගේ සෞභාග්‍යය කවුරු හරි හොරකම් කළේය’’ යන හැඟීමෙන් ස්මාර්ට් ෆෝන් තුළින් වෛරය පිට කරන මිලියන 5කට අධික ජනතාවක් මිස ව්‍යාපාරමය පුහුණුවක් සහිත ජනතාවක් රට තුළ නැත. එවැනි තත්වයක සිටින ගමන් ‘‘රට දියුණු වෙන්නේ නැත්තේ හොරකම නිසා’’ වැනි එකක් දේවවාක්‍යයක් ලෙසින් පිළිගන්වන්නට ගිය විට සිදුවන්නේ බරපතළ සංකල්පීය අවුලකි. මේ ආණ්ඩුවට ජනතා විරෝධය වන්නේ ඉහත අලංකාරිකයට තමන්ම ගොදුරු වීම හේතුවෙනි.

රාජ්‍ය ව්‍යවසාය සියල්ලම ඉතාමත් හොඳින් කරගෙන යා හැකි වුවත් එය කරන්නට බැරි වී ඇත්තේ දේශපාලනඥයන් නිසා බවත් තවත් එවැනිම අලංකාරිකයකි.

මේ අදහසක් සම්පූර්ණයෙන්ම නිවැරැදි එකක් නොවේ. සමහර ආණ්ඩු සමහර රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධව ගත් තීරණ වැරැදිය. ඒ වැරැදි තීරණ නිවැරැදි කරමින් ඉදිරියට යනවා මිස රාජ්‍ය ව්‍යවසායන්ට අත තියන්නේ නැතැයි කීමෙන් සිදුවන්නේ විනාශයකි. මා නිතර කියන උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමය. ලෝකයේ දියුණු රටවල් බොහොමයක් රජයෙන් නඩත්තු කරන ගුවන් සමාගම් දැන් තබා ගන්නේ නැත. ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ඉන්දියාවත් කළේ ඔවුන්ගේ ගුවන් සමාගම පෞද්ගලික අංශයට ලබාදීමය. ඒ අප සිටින්නේ ඉන්දියාවටත් වඩා  දියුණු ආර්ථිකයක් ඇති රටක් සිතනවා වැනි තත්වයකය. පසුගිය අය-වැයෙන් රජයේ මුදල් ට්‍රිලියන 02ක් යොදා එහි ණය ගෙවන බව ප්‍රකාශ විය. ඒ ණය ගෙව්වාද යන්න අපි නොදනිමු. එහෙත් ඒ ආයතනයට  මෙවර අය-වැයෙන්ද ට්‍රිලියන ගණනාවක් ලබා දෙනවා හැර කළ හැකි වෙන දෙයක් නැති බව මගේ අදහසය.

 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කර ඇති අතර ඒවායින් සමහර ඒවා නියමු ව්‍යාපෘති ලෙසින් මේ වන විටත් සිදුකෙරෙමින් පවතී. ඒවා ගැන විශේෂයෙන් සාකච්ඡා කිරීමට මා මෙහි යන්නේ නැත. එහෙත් උසස් අධ්‍යාපනය පැත්තෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන ඒ ක්ෂේත්‍රයේ අය සිටින්නේ බරපතළ විවේචනයක බව මාගේ අදහසය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද ලබා ගන්නා (සාපේක්ෂව ගත් විට) හොඳ වැටුප් ඔවුන්ට ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඒ කාලයේ  ඒ ගැන ‘‘ විප්ලවීය අදහස්’’ කියූ සමහරුන් දැන් සිටින්නේ මාලිමාවේ ටිකට් එකෙන් ඉහළ තැන්වලය. ඒ කවුරුවත් මහින්ද රාජපක්ෂ බැලූ තරමේ සුහද ආකාරයකින් විශ්වවිද්‍යාල ආචාරවරුන් දෙස බලන බවක් පෙනෙන්නේ නැත. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයට සාකච්ඡාවක්වත් ගන්නට බැරි තත්වයක් ඇතැයි සමහරු සමාජ මාධ්‍යවල ලියති. මේ පිළිබඳව අධ්‍යාපන ඇමැනිනියගේ අවධානය යොමුවීම ඉතාමත් වැදගත්ය. එසේම විශ්වවිද්‍යාල පරිපාලනයට අවශ්‍යම අංගයක් වන ඒ ඒ විශ්වවිද්‍යාලවල පාලක සභාවක් සඳහා අත්දැකීම් ඇති, දැන උගත්කම් ඇති අය පත් කිරීමත් ඉතාමත් අවශ්‍යය. වත්මන් පාලනය තුළ සමහර විශ්වවිද්‍යාල පාලක මණ්ඩලවලට රජයෙන් පත් කර සිටින්නේ පක්ෂයේ ගෝලයන් මිස සුරුට්ටු කඩයක්වත් පාලනය  කළ උදවිය නොවෙති. මේ නිසාම ඒ ක්ෂේත්‍රයේ ඇතිවීමට තිබෙන ගැටලුකාරිත්වය ඉතාමත් විශාල බව මගේ අදහසය.

අවසාන වශයෙන්  කිවයුත්තේ අප සිටින්නේ ආණ්ඩුවට වසරක් ගත වී අලුත් අයවැයක් එන්න නියමිත කාලයකය. රටේ ආර්ථක, අධ්‍යාපනික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ, හුදු පරණ ගියරයෙන් හොඳ තැනකට දැමීමට අවශ්‍ය තැනකට රට පැමිණ තිබෙන බව මගේ නිරීක්ෂණයයි.

 

(***)