“කොමියුනිස්ට්” විරෝධීන්ගේ අලුත් ගැම්ම


රනිල්ගේ අත්දැකීම විඳි රුසියානු නායකයා - 03

 

 

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී එම රතු හමුදාව සිදු කළ පරිත්‍යාගය කැපකිරීම සහ වීර වික්‍රමාන්විතභාවය නොවන්නට බි්‍රතාන්‍යයේ සහ ප්‍රංශයේ පවා ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි නොවන්නට ඉඩ තිබුණි. ගොර්බචෝප්ගේ විවෘත කිරීම මගින් සෝවියට් දේශය වළපල්ලට ගියේය. එය සිදුවූවේ ගොර්බචොප්ගේම උප ජනාධිපති වු යනායෙෆ්ගේ නියෝගයකිනි. 


සෝවියට් ව්‍යවස්ථාවේ 127 (7) වගන්තියට අනුව රට ඉතා භයානක අනතුරකට මුහුණ දී ඇති බවත් වැඩ සටහන බිඳ වැටී ඇති බවත් මේ පවත්නා අර්බුදයෙන් රට හා සමාජය ගොඩගැනීම සඳහා කටයුතු කිරීමට සිදුවන බවත් නිවේදනය කළේය. එහි ප්‍රතිඵලය වූවේ බලය ඔහු පවරා ගැනීමය.


රටේ ඇති වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා හදිසි අවස්ථා කොමිටිය නමින් ආයතනයක් පත් කර තිබුණි. සියලු බලතල තිබුණේ එයටය. මෙයට පෙර ගොර්බචොප් ගත් තවත් පියවරකින් සෝවියට් රුසියාව තවත් දුර්වලව ගොස් තිබුණි. තම රට කිසිවිටෙකත් අනුන්ගේ රටවල දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් නොවන බව ප්‍රකාශ කළ නිසා සෝවියට් දේශය සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වමින් සිටි සමාජවාදී කඳවුරේ රටවල් දැඩි අසීරුතාවකට පත්විය. පෙර කී සමාජවාදී රටවල් ආරක්ෂාව මූල්‍ය ආධාර පමණක් නොව අභ්‍යන්තර විරුද්ධවාදීන්ගෙන් ගැලවී සිටියේත් රුසියානු ආධාර නිසාය. මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග එම රටවල සිටි කොමියුනිස්ට් විරෝධී බලවේග වහා ඉදිරියට පැමිණ කොමියුනිස්ට් පාලනයට අභියෝග කරන්නට විය. 


1989 චෙකොස්ලෝවේකියාව සහ රුමේනියාවද 1990 දී පෝලන්තය ද සහ නැගෙනහිර ජර්මනිය ද බල්ගේරියාව ද කොමියුනිස්ට් කඳවුරෙන් ගිලිහී ගියේය. දීර්ඝ කාලයක් තිස්සේ නැව් තටාකාංගන කම්කරුවෙකු වූ ලෙහ් වැලේසා ගෙන ගිය අරගලය පෝලන්තයේ බිඳ වැටීමට බොහෝ සෙයින් හේතු විය. මෙහි බරපතළ අර්බුදය දක්නට ලැබුණේ රුමේනියාවේදීය. දෙවැනි ලෝක මහා සංග්‍රමයේදී සෝවියට් රතු හමුදාව විසින් නාසි පාලකයන් වෙතින් මුදා ගන්නා ලද රුමේනියාව බොහෝ කලක් පාලනය කළේ නිකුලාසි චෙස්වෙස්කු නමැති ජනාධිපතිවරයෙකි. අරගලයේදී ඔහු වීදියට ඇද මරා මළ සිරුර කාණුවකට ඇද දැමු රුමේනියානුවෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකු පත් කර ගත්හ. 
නැගෙනහිර ජර්මනිය සමාජවාදි රටක් වූයේ කාල්මාක්ස් කියු පරිදි කම්කරු පන්ති විප්ලවයකින් නොවේ. 


හිට්ලර්ගේ හමුදා ලුහුබැඳ ගිය රතු හමුදාව නැවතුණේ ජර්මානු අගනුවර වූ බර්ලිනයෙන් අඩක් ද යටත් කර ගනිමිනි. යටත් වීමෙන් පසු ජර්මනිය යුද ජයග්‍රාහකයන් හතර දෙනා අතර බෙදා දෙනු ලැබීය. ප්‍රංශය, බි්‍රතාන්‍යය ඇමරිකාව යන බලවතුන් තිදෙනාට ලැබුණු කොටස් ඒකාබද්ධ කර කොන්රඞ් ඇඩිනෝවර් ජනාධිපතිවරයා යටතේ බටහිර ජර්මනිය නමැති රාජ්‍යය පිහිටුවනු ලැබීය. 


සෝවියට් දේශයට අයත් වූ කොටස නැගෙනහිර ජර්මනිය වශයෙන් කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් විය. එහි නායකයා වූ වෝල්ටර් උල්බි්‍රජ් දැඩි කොමියුනිස්ට් මතධාරියෙකු වූවේය. 


ජර්මන් අගනුවර වූ බර්ලිනය ද මේ ආකාරයට දෙකට බෙදා තිබුණු අතර එම කොටස් දෙක වෙන්වන ආකාරයට විශාල තාප්පයක් බැඳ තිබුණි. මෙම අර්බුද රැල්ල අවස්ථාවේ දී දෙපාර්ශ්වයේම ජර්මානුවෝ බර්ලින් තාප්පය පෙරළා දමා ජර්මනිය එක්සත් කළහ. 


සෝවියට් සංගමය නමින් පැවති රාජ්‍යය නමැති එක්සත් බන්ධනය බිඳි යන ආකාරයෙන් රුසියානු පෙඩරේෂන් බොරිස් යෙල්ස්ටින් යටතේ වෙනම රාජ්‍යයක් බටව පත් කෙරුණි. එයින් පසු සෝවියට් දේශයේ අනෙකුත් ප්‍රාන්තද එකින් එක ගිහිලී යාම ආරම්භ විය. 1990 අගෝස්තුවේ දී ලිතුවේනියාවද 1991 මුල් භාගයේදී එස්තෝනියාවද ඉන්පසුව ලැට්වියාව, අසර්බයිජානය, මොල්ඩාවියාව, යුක්‍රේනය, බෙලෝ රුසියාව හා කසකස්ථානය යන සෑම ප්‍රාන්තයක් ද වෙනම රටවල් බවට පත්විය. ලොව භූමි තලයෙන් හයෙන් එකක් වූ මහා ප්‍රදේශයක් නියෝජනය කළ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව නම් වූ සන්ධීය රාජ්‍යය අර්මේනියාව, කසකස්ථානය උස්බෙකිස්ථානය, තුක්මෙනිස්ථානය, ජෝර්ජියාව, යුක්‍රේනය, බයිලෝ රුසියාව, රුසියානු පෙඩරේෂණය, ලිතුවේනියාව, එක්තෝනියාව, ලැට්වියාව, මොල්ඩාවියාව ආදී වශයෙන් වෙන වෙනම ස්වාධීන රාජ්‍ය විශාල ගණනක් බවට බෙඳී ගියේය. 
මෙවැනි බරපතළ තත්ත්වයන් යටතේ 1991 දෙසැම්බර් 25 වැනිදා මිඛායෙල් ගෝර්බචොප් රාජ්‍ය පාලනයෙන් ඉවත් කරන ලද බව රජය විසින් නිවේදනය කරන ලදැයි ජනමාධ්‍යවල පළ විය. නෙරපා හැරී බව රජය කියා සිටියත් තමන් ඉල්ලා අස්වූ බව ගෝර්බචොප් දන්වා සිටි බවද මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි සිදුවීම්වල දී නිරන්තරයෙන්ම දක්නට ලැබෙන පරිදි මත දෙකක් කියැවෙන බව නොයෙක් විට දක්නට ලැබේ. මෙම කතාන්තරය ගෝර්බචෝප් ඉවත් කිරීමෙන් අවසන් වූවේ ද නැත. තවත් දිග ඇදී ගිය සිද්ධි සමුදායක් දිග හැරිණි. ලොවට අති විශාල බලපෑමක් ඇති කළ සෝවියට් රුසියාවේ බිඳ වැටීම මේ අයුරින් සටහන් කර නවතිමි. මෙවැනි දේ වරින් වර ඉදිරියටත් දක්නට ලැබෙනු නොඅනුමානය. එහෙත් ඒ කොහේදී ද යන්න පමණක් අවිනිශ්චිත වේ.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි