ලෝකයම සමඟ යුද වදින අපූරු ජනාධිපතිවරයා


“හිට්ලර් හැට ලක්ෂයක් යුදෙව්වන් මරාදැම්මා. අපේ රටේ විතරක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නවා. ඔවුන් මරාදාන්න මම කැමතියි.” මේ ලොව සිටින ප්‍රබල විධායක ජනාධිපතිවරයකුගේ හඬයි....
මේ දූපත් දහසකින් සුසැදි පිලිපීනයේ දහසය වැනි විධායක ජනාධිපතිවරයාගේ හඬයි. දකුණු පිලිපීනයේ පිහිටි දුප්පත් ජනතාවක් වෙසෙන මින්දනාවෝ දුපතෙන් පැමිණ ජනාධිපති පදවියට පත්වෙන ප්‍රථම පිලිපීන ජාතිකයා වන්නේ රොද්‍රිගු ඩුටරේට්ස්ය. ඔහු 2016 ජූනි මාසයේ ජනාධිපති පදවිය භාර ගත්තේ රටේ පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩපවත්වන බව පවසමිනි.


ඔහු ගතවූ දෙවසරක කාලය තුළ තම මැතිවරණ ව්‍යාපාරය තුළ සැම විටම ඉස්මතු කොට දක්වා තිබූ පරිදීම මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම ලොව සෙසු රටවල නායකයින්ට වඩා වැඩි අවධානයක් යොමු කිරීමට හේතුවී තිබේ.


තමාගේ ජයග්‍රහණයෙන් පසු දහස් ගණනක් අපරාධකරුවන් මරා දමන බවට ඔහු විසින් කරන ලද ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ලවෙමින් පැවතුණද, එසේම පිලිපීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කිරීම ආදී ඔහුගේ විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම සිදුවන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වෙන බාධා නොතකමිනි.


දැනට හැත්තෑ තුන්වැනි වියේ පසුවෙන පිලිපීන ජනාධිපතිවරයා ලෝකයෙන් එන සියලු බාධකවලට කන් නොදෙමින් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනියන සටනේ උච්චතම අවස්ථාව වූයේ රාජ්‍ය නිලධාරීන් එකසිය පනහක් පමණ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් වීම විශේෂත්වයකි. මේ අතර නගරාධිපතිවරුන්, පොලිස් ප්‍රධානීන් සහ අධිකරණ විනිසුරුවරුන්ගේ නම් ද ඇතුළත්ව තිබෙන බව පිලීපීන ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ පැවැත්වූ කතාවකදී ප්‍රකාශ කළේය.


මතභේදයට ලක්ව සිටින පිලිපීන ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා විසින් අවලංගු කරනු ලැබිණි. පිලිපීන ජනාධිපතිවරයා විසින් ‘වෛශ්‍යාවකගේ පුතෙකු’ ලෙස ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාව හැඳින්වීම මෙයට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.


ඒ ගිනිකොනදිග ආසියා රටවල සමුළුව නොහොත් ‘ආසියාන්‘ සමුළුව ලාඕසයේ දී පැවති අවස්ථාවේදී රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවූ නොමනාපයක් සමඟයි. පිලිපීනයේ මත්ද්‍රව්‍ය මර්දනය නමින් සිදුවෙන මිනීමැරුම් සම්බන්ධ කාරණය සමුළුවේ දී මතුකරන බවට හිටපු ඇමෙරිකා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පිලිපීන ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර තිබුණි.


වරෙක ඔහු පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීන් සහ පිලිපීනයේ ඇමෙරිකානු තානාපතිවරයා ඇතුළු ලෝක නායකයන්ට අපහාස වෙන ආකාරයේ භාෂා විලාශයක් භාවිත කළේය. පාප් වහන්සේ ‘වෛශ්‍යාවකගේ පුතෙකු’ ලෙස හැඳින්වූ අතර හිටපු  ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී “ක්‍රේසි” ලෙස නම් කළේය. ඉන් නොනැවතුණු ඔහු පිලිපීනයේ ඇමෙරිකානු තානාපතිවරයාව හඳුන්වා තිබුණේ “වෛශ්‍යාවකගේ සමලිංගික පුතෙකු” ලෙසටයි. 


මත්ද්‍රව්‍යවලට එරෙහිව තමා ගෙන යන වැඩසටහනට අන්තර්ජාතික නීතිය යටතේ එරෙහි වෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වෙන බවට පිලිපීන ජනාධිපති එම සංවිධානවලට ප්‍රති උත්තර ලබා දෙමින් තර්ජනය කර සිටී.


එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් ගොඩනගන ලෙස චීනය සහ අප්‍රිකානු රටවලින් ඉල්ලා සිටින පිලිපීන ජනාධිපතිවරයා ත්‍රස්තවාදය, දුප්පත්කම සහ ලොවපුරා පවතින ගැටුම් අවසන් කිරීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල කළේය. වරෙක මානව හිමිකම් විශේෂඥයන් දෙදෙනෙකු පැවසුවේ ජනාධිපති ඩුටරේට්ස් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැක කරන්නන් මරා දැමීමට සහ ඔවුනට වධහිංසා පැමිණවීමට පොලීසියට දී ඇති බලය ජාත්‍යන්තර නීතිය අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය. මේ මානව හිමිකම් විශේෂඥයන් මෝඩයන් බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන් මත්ද්‍රව්‍ය නිසා විනාශ වී යන අහිංසක ජීවිත පිළිබඳව සලකා බැලිය යුතු බවයි.


“මට ඔබට අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත්වීම සඳහා තීරණයක් ගන්න වෙයි” යනුවෙන් ජනාධිපති ඩුටරේට්ස් සඳහන් කළේය.” ඔබ ඒ තරම් කුරිරු නම් අපිටත් ඉවත්වෙන්න සිදුවෙයි, අපිව ඔබේ සංවිධානයෙන් ඉවත්කරන්න. ඔබ කිසිම දෙයක් කරලා නැහැ. කොහෙද මෙච්චර කල් හිටියෙ? විවේචන විතරක් අපි බලාපොරොත්තුවෙන්නේ නැහැ” යනුවෙන් පැවසූ ජනාධිපති ඩුටරේට්ස් ‘අපේ සාමාජික මුදල් ආපසු දෙන්න එතකොට අපිට අයින්වෙන්න පුළුවන්‘ යනුවෙන් ප්‍රකාශ කළේය.


“එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන්නම් මං ගැන එක නරක දෙයක් පෙන්නන්න මට පුළුවන් ඔබලා ගැන නරක දේවල් 10 ක් පෙන්නන්න. ඔබලා කිසිම වැඩකට නැහැ, මොකද ඔබ ප්‍රඥප්තියකට අනුව කටයුතු කරනවා නම් ඔබට මේ සියලුම යුද්ධ සහ මිනී මැරුම් නවත්වන්න පුළුවන් වෙන්න ඕනෑ” යනුවෙන් පිලිපීන ජනාධිපතිවරයා සිය ගෝරනාඩුව පළකළේය.


මෙලෙස යකාටවත් බය නැති පිලිපීන ජනාධිපතිවරයා නගරාධිපතිවරයකු ලෙස සේවය කරද්දී අපරාධකරුවන් මරාදැමීමට තමන්ට සහ ඝාතක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට නියෝග නිකුත් කළ බව පිලිපීනයේ කුලියට මිනීමරන්නෙක් පවසයි. නීතියට පිටින් සිදුකරන ලද මිනීමැරුම් පිළිබඳව රුපවාහිනී පටිගත කරන ලද සාක්ෂි විමසීමකදී එඞ්ගාර් මටොබටෝ පැවසුවේ මිනිසුන් මරා දැමීම සඳහා ඩුටරේටස් තමාට උපදෙස් දුන් බවයි.
නගරාධිපතිවරයාව සිටියදී හෝ 2016 ජූනි මාසයේ ජනාධිපති පදවියට පත්වූ පසු අපරාධකරුවන් මරා දැමීමට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණු බව මීට ඉහත දී පිලිපීන ජනාධිපතිවරයා කියා සිටියේය.
ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැම්මා සේ තමාද හැකිතරම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මරාදැමීමට කැමැත්තෙන් සිටින බවත් තම මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ජර්මනියේ ‘හෝලොකොස්ට්’ ඝාතනවලට සමාන කරමින් පිලිපීන ජනාධිපතිවරයා පවසයි. ‘හිට්ලර් තිස් ලක්ෂයක් යුදෙව්වන් මරාදම්මා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවනුත් තිස් ලක්ෂයක් ඉන්නවා. ඔවුන් මරාදමන්න මම කැමතියි’ යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේය.
පසුගිය නිල වාර්තාවලට අනුව මේ දක්වා දහසකට වැඩි පිරිසක් පොලීසිය සහ නීත්‍යානුකුල නොවන ඝාතන කණ්ඩායම් විසින් මරා දමනු ලැබ තිබේ. නමුත් ඔහු එම දේ ප්‍රතික්ෂේප කර සිටී.


පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපතිවරයා වරෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය


තමා ජනසංහාරයක යෙදෙන බවට චෝදනා කරන්නන්ව විවේචනය කිරීම හේතුවෙන් තමාව ‘හිට්ලර් ගේ ඥාති සහෝදරයෙකු’ ලෙස හුවා දක්වන බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය. සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මතට ඇබ්බැහි වූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරිකර දීම තම අභිප්‍රාය බව ඔහු කියයි.


දවාඕ නගරයේ නගරාධිපතිවරයාව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් සියතින්ම මරාදැමූ බව පිලිපීන ජනාධිපති පවසයි. තමා මිනිස් ඝාතන සිදුකර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. නගරාධිපතිව සිටියදී ඝාතන සිදුකළ බව විටෙක පිළිගත් ජනාධිපති ඩුටරේට්ස් තවත් විටෙක එලෙස මිනීමැරුම් සිදුකළ බව ප්‍රතික්ෂේප කළේය.


මැනිලා නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් අමතමින් ඔහු පැවසුවේ තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදැමීමට පුරුදුව සිටියේ පොලීසියටද එලෙස කළ හැකි බව පෙන්වීම සඳහා බවයි.


එරට හිටපු නගරාධිපතිවරයෙකුට දාව උපන් පිලිපීන ජනාධිපති චීන පරම්පරාවෙන් පැවතඑන්නෙකි. සිය ජීවිතයේ කුඩා අවදියේදී පූජකවරයෙකුගේ ලිංගික අතරවර සිද්ධියකට මුහුණ පා ඇති ඩුටරේට්ස් පසුකාලීනව නීති උපාධියක් හිමිකර ගත්තේය. නීතීඥවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී දේශපාලනයට පිවිසෙන ඔහු වසර 22ක් පුරාම දාවාවෝ නගරාධිපති ලෙසින් සේවය කළේය. දෙවරක් විවාහ කර ගෙන, තමාට දාව දරුවන් තිදෙනෙකුද බිහි කළ අයෙක්ද වේ.


නිරන්තරයෙන්ම ලෝක අවධානයට ලක්වෙන නායකයින් අතළොස්ස අතරේ සිටිනා ඩුටරේට්ස් ජාධිපතිවරයාට දකුණු කොරියාවේ නිල සංචාරයක් අතරතුරේ, එරට සිටින පිලිපීන ගෘහ සේවිකාවන් පිරිසක් හමුවී, එහි සිටි එක් ගෘහ සේවිකාවක ප්‍රසිද්ධියේ සිප ගැනීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස්ට කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානවලින් දෝෂාරෝපණ එල්ල විණි.


පිලිපීන ජනාධිපති ඩුටරේට්ස්, ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ නිරන්තරයෙන් සිදු කරයි. ඒ වගේම ඔහුගේ මේ ආන්දෝලනාත්මක දෑ දකින්නට ලැබෙන්නේ පිලිපීන ජනතාව ඔහුට වරම් දෙන තාක් පමණකි.

 

 

 

 

 

තිළිණි ද සිල්වා