රුවන්ඩාවේ අලුත් තරුව පෝල් කගාමේ


 

 

රටවල් භාර ගන්න පාලකයන් නිතරම කියන කතාවක් ඇත. ඒ කතාව නම් තමන් ගම් මට්ටමින් බිම් මට්ටමින් රට ගොඩගන්න බවයි. තරමක් දුරට එලෙස ගොඩනැගුණු රුවන්ඩාව කලක් ගෝත්‍රික සමූහ ඝාතන හා සිවිල් යුද්ධ හේතුවෙන් ආගාධයට ගිය රටකි. නමුත් මීට වසර 20කට පෙර බලයට ආ අපූරු පාලකයෙක් නිසා ඒ රට අද වනවිට දිනෙන් දින දියුණුවට පත්වෙමින් සිටින්නේය. ඔහු නමින් පෝල් කගාමේය. අද දියත වෙන්වන්නේ ඔහු වෙනුවෙනි...


රුවන්ඩා රාජ්‍යය අප්‍රිකාවේ කුඩාම රටයි. උගන්ඩාව, ටැන්සානියාව, බුරුන්ඩි, කොංගෝව යන  තවත් බංකොළොත් වූ රටවල් 4කට මායිම්ව පිහිටි මේ රටේ රාජ්‍ය පාලනය කළ පාලකයන්ගෙන් වැඩි දෙනා රටට සත පහකවත් සේවයක් නොකළ. වර්ග සැතපුම් 10,169ක් විශාල මේ රටේ අද ජනගහනය එක්කෝටි දහතුන් ලක්ෂයකි. මේ රට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රපාතයට ඇද වැටී පැවතීමට  මූලිකම හේතුව දීර්ඝ කාලයක් තිස්සේ එහි පැවති ජනවාර්ගික අර්බුදයයි. 


ටුට්සි සහ හුටු ජාතිකයන් කාලාන්තරයක් මුළුල්ලේ ගහ මරා ගැනීම, කුලල් කා ගැනීම හේතු කොට ගෙන මියගිය සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකය. අමු සොහොනක ඉදිවුණ දේශයේ තවමත් ජනවාර්ගික ගැටුම් නිම වී නැත. මෙම ජන වාර්ගික ගැටුම් දේශපාලන තුරුම්පුවක් කරගත් දේශපාලුවන් රොත්තක් බල අරගලයක නිරත වී සිටින්නේ 1962 වර්ෂයේ සිටය. එදා සිට අද දක්වා වසර 56ක් තිස්සේ ජනාධිපතිවරුන් 5 දෙනකු අතට රටේ සුක්කානම මාරු විය. 


මේ පාලකයන් පස්දෙනා විදේශ බලවේගවලට හා අල්ලපු රටවල තර්ජනයන්ට යට වී රුවන්ඩාව පාලනය කළහ. ජර්මනිය හා බෙල්ජියම යන රටවල කොලනියක් හෙවත් යටත් විජිතයක් වශයෙන් පැවති රුවන්ඩාවට 1962 දී නිදහස ලැබිණි. 1962 දී පත් වූ ප්‍රථම ජනපති වූ ඩොමිනික්ට එම තනතුර දැරීමට හැකි වූයේ මාස 9කි. 2 වැනි ජනපති වූ ජුවනෙල් ඒකාධිපතියකු මෙන් වසර 21ක් පාලන බලය රඳවා ගත්තේය. 


රුවන්ඩාවේ වත්මන් ජනපති පෝල් කගාමේය. ඔහු බලයට පත් වූයේ 2000 වර්ෂයේ දීය. වසර 20ක් තිස්සේ ඔහු ජනපති තනතුරේ රැඳී සිටී. එම ධුර කාලය තුළ ජනවාර්ගික අර්බුදය රටින් තුරන් කිරීමට හා දිළිඳුකම තුරන් කිරීමට ඉමහත් කාර්යභාරයක් ඔහු ඉටු කළේය. විදේශ මාධ්‍ය පවසන්නේ බලයට පත් වී වසර කීපයකින් ඔහු බල තණ්හාවෙන් පෙළෙන්නට පටන් ගත් බවයි. බලය තමා සහ තම පවුල අතරේ රඳවා ගැනීම සඳහා හැම උප්පරවැට්ටියක්ම යෙදූ බවය. 


කගාමේ උපන්නේ දකුණු රුවන්ඩාවේ ටුට්සි ජාතික පවුලකට දාවය. දේශපාලන හේතු මත කුඩා කලදීම යාබද උගන්ඩාවට පලාගිය කගාමේ උගන්ඩාවේ ජනපති මුසවෙන්ගේ හමුදාවට බැඳී සේවය කළේය. තම මව්බිම වූ රුවන්ඩාව සිවිල් යුද්ධයක පැටලී යද්දී උගන්ඩාවේ සිට ක්‍රියාත්මක වූ රුවන්ඩාවේ දේශප්‍රේමී හමුදාවට බැඳී රුවන්ඩාවේ පාලන බලය ලබා ගැනීම සඳහා ගරිල්ලා යුද්ධයකට සහභාගි විය. මේ ගැටුම් අතරතුර සටන් විරාම සමයකි. රුවන්ඩා ජනාධිපති ජුවෙනල් හබරිමානා ගුවන් අනතුරකින් මියගිය අතර ඉන්පසු සිවිල් යුද්ධය වේගයෙන් ව්‍යාප්ත විය. එහිදී හුටු අන්තවාදීන් විසින් ටුට්සි හා මධ්‍යස්ථ හුටු වාර්ගිකයන් ලක්ෂ 8-10 අතර සංඛ්‍යාවක් ඉතාම කෙටි කලක් තුළ ඝාතනය කරන ලදී. 
මේ මහා ජන සංහාරය සිදුවුණේ මසක් වැනි කෙටි කලක් තුළය. හුටු අන්තවාදීන්ගේ ජන සංහාරයට එරෙහිව රුවන්ඩාවේ දේශප්‍රේමී පෙරමුණ ඉදිරියට මෙහෙය වූ කගාමේ හුටු අන්තවාදීන් යුදමය වශයෙන් පරාජය කර රටේ සාමය පිහිටුවා ජනාධිපති ධුරයට පත්විය. එතැන් සිට මේ දක්වාම එරට යුදමය තත්ත්වයක් හෝ ත්‍රස්තවාදයක් හෝ හිස ඔසවන්නට ඔහුගේ පාලනය යටතේ ඉඩ ලැබී නැත. 


ඔහු ජනපති වීමට පෙර 1998 - 1999  වර්ෂවල රටේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේය. එම කාල සීමාව තුළ ඔහු රුවන්ඩා ආරක්ෂක හමුදාව ගොඩ නැංවූවේය. බලයට පත් වූ පසු විරුද්ධවාදීන්, මාධ්‍ය  හා ජනතාව මර්දනය කිරීමට මෙම හමුදාව යෙදවූ බව වාර්තා වේ. මෙරට ජනාධිපතිවරයකුට තනතුර දැරිය හැක්කේ දෙවරක් පමණකි. 
ව්‍යවස්ථාව සංශෝධනය කරවාගෙන සීමා රහිත වාර සංඛ්‍යාවක් දක්වා ජනාධිපති තනතුරේ රැඳී සිටීමට ඔහු මාර්ගය පාදා ගත්තේය. 2034 දක්වා රුවන්ඩාවේ ජනපති ධුරය හොබවන බව දැන් ඔහු පවසයි. 


රුවන්ඩාවේ 2017 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් තෙවැනි වරටත් ජයගත්තේ 59 වැනි වියෙහි පසුවෙද්දීය. කගාමේ සමග එම ජනාධිපතිවරණයට තරග කළේ රුවන්ඩා ප්‍රජාතන්ත්‍රවාදී හරිත පක්ෂයේ ෆ්රෑපන්ක් හබිනේසා සහ ස්වාධීන අපේක්ෂක ෆිලිපේ මපායිමානා ය. 


කෙසේ වෙතත්, 2000 වර්ෂයේ සිට බලයේ සිටින කගාමේ රුවන්ඩා දේශයට සුවිශේෂී ආර්ථික වර්ධනයක් අත්කර දුන් නායකයෙකු ලෙස ජනතා ආශිර්වාදය ලබමින් සිටීයේය. ඔහුගේ මෙම තෙවැනි වර ජයග්‍රහණයට හේතුව බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, රුවන්ඩාව තුළ දේශපාලන නිදහස අවුරාලීම සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවන් පවතින බව ද කියැවෙයි. 


නමුත්, වත්මන් පාලක පක්ෂය වන ආර්.පී.එෆ් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන කගාමේ 2015 වසරේ දී එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම හේතුවෙන් ඔහුට 2034 වනතුරු බලය පවත්වා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගෙන තිබේ.


ජන සංහාරක යුද්ධය අවසන් කිරීමෙන් පසු ජනපති කගාමේ ලෝක නායකයන් හමුවී රට සංවර්ධනයට සහාය ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් කෙරෙන පරිදි යුරෝපීය රටවල් මූල්‍ය ආධාර ලබානොදී ටොන් ගණන් උපදෙස් පමණක් දෙද්දී කගාමේ චීනය දෙසට හැරුණේය. අද රුවන්ඩාවේ සංවර්ධනය, පිම්මේ ඉදිරියට යයි. නවීන වරාය ඉදිවෙයි. අධිවේගී මාර්ග ඉදිවෙයි. දහස් ගණනින් රැකියා උත්පාදනය වෙයි. රුවන්ඩාවේ කිගාලි අගනුවර නවීන මෙන්ම පිරිසිදු නගරයක් යැයි ලෝක ජනමාධ්‍යයේ පැසසුමට ලක්වෙයි. 


වරෙක ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය ඇමෙරිකානු ජනාධිපතිව සිටි බිල් ක්ලින්ටන්ගේත් පැසසුමට ලක්විය. රුවන්ඩාව ආධාර හා ණය මත යැපෙන රටක සිට ස්වයංපෝෂිත භාවය කරා මාරුවීමට ජනාධිපති කගාමේගේ ඉලක්කය ය. ඔහු ඒ සඳහා පියවරෙන් පියවර රට ඉදිරියට මෙහෙයවයි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි