ලෝකය අල්ලේ නැටවූ මිත්තණිය - 02
වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වරක් මෙරට සංචාරයක් සඳහා පැමිණියේය. ඒ 1870 මාර්තු 30 වැනිදාය. ඔහු පිළිගැනීමටත්, ඔහුට සංග්‍රහ සත්කාර කිරීමටත් එවකට ආණ්ඩුකාර හර්කියුලිස් රොබින්සන් විසින් කල්තබාම විශාල වැඩසටහනක් දියත් කර තිබුණි. ඒ ගැන ‘ලක් රිවි කිරණ’ පුවත්පත මෙසේ වාර්තා කර තිබුණි. “ආණ්ඩුකාරයා ලංකාවට පැමිණි හැටියේම කළ මුල්ම වැදගත් කාරිය නම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව රැස්කරවා කුමාරයා පැමිණීම සම්බන්ධ කටයුතුවලට අවශ්‍ය මුදල් වෙන් කරවා ගැනීමය. ඒ සඳහා 1869 වසරට පවුම් 12,000ක් වෙන් කරවා ගත් ඔහු 1870 වර්ෂය සඳහා ද එපමණ මුදලක් වැය කළ යුතුයැයි තීරණය කළේය. කුමාරයාට බැලීම සඳහා ලබුගම සහ කුරුණෑගල ඇත්ගාල් බැඳීමටද, රජ ගෙවල් අලුත්වැඩියා කිරීමටද අවශ්‍ය කටයුතු කර හමාරය. ආණ්ඩුකාරයා නුවර ගියේ එහි රජගෙදර අලුත්වැඩියා කිරීම පිළිබඳව සොයා බලන්නය.
එම වාර්තාවක මෙසේද සඳහන් විය. “අප ලක් රාජිනියගේ කුමාරයා ලබන පෙබරවාරි මාසයේදී ලංකාවට ගොඩ බසින බව ආරංචිවුණු පමණින්ම අප රට වැස්සන්ගේ හදවල් සතුටින් පින පිනා උන්නාසේව දැකීමට ප්‍රසන්නයෙන් සිටිනවාය. එලෙස උන්නාන්සේ එන්ට යෙදුනේ වී නම් අන්‍ය කුමාරයින්ට පවත්වන්ට යෙදුනු ගරු නඹුවලට වඩා සිය පංගුවක් වැඩිකර පවත්වන්ට යෙදෙනවාට අනුමාන කොයින්ද? මේ හැර ලංකාවට ගොඩ බැහැපු ඉක්බිති වෙන පළාත්වල කාරනා කොයි හැටිද කියා මම දන්නේ නැතිවා නමුත් අපේ පලාතේ වැස්සන් විසින් අප රට තිබෙනා සමකරන්ඩ හැකි පමණ කෑමට සෑහෙන ද්‍රව්‍ය එකතු කර ආගන්තුක කමක් දෙන ලෙසට දැන් හිටම යෝජනාවක් කර තිබෙනුය. මේ ප්‍රස්ථාවට අඟුරු කකා වතුර බිබී දුවන අවතාර යකඩ අස්පයා විසින් ලංකාවට කරන්ඩ යෙදුණු හානිය ගැන මිස නැත්නම් අපේ ස්වාමිදූගේ කුමාරයින්ට කිව නොහැකි තරම් ලංකාවේදී ගරු නඹු පවත්වන්ට යෙදෙනවා ඇද්ද කියා කාට කියන්ඩ පුළුවන්ද? ඒ කොහි හැටි වී නමුත් අපි යෝජනා කර තිබෙනා ප්‍රකාරයට දේව කරුණාවෙන් අපට ලෙඩක් දුකක් නොයෙදුනේ වී නම් මෙහි සඳහන් වන දේවලින් උදය කුමක්ද? මධ්‍යාන කුමක්ද සවස කුමක්ද දෙන්ට යෙදෙනවා ඇත. උදේ කෑමට පිළියෙල කරන දේවල් මෙසේය. මොඩරුද මාවිලගොයිද, බටගොයිද, කොබෙයියන්ද, දියවටුවාවන්ද, ගොඩ වටුවන්ද, කොක්කුද, සේරුද, කුකුලන්ද, නීල කොබෙයියන්ද, වලිකුකුලන්ද, ඇටිකුකුලන්ද, කොට්ටෝරුවන්ද, හබන්කුකුලන්ද, කොරවක්කුන්ද, ආප්පද, ඉඳිආප්පද, පිට්ටුද, රොටිද, කුරහන් රොටිද, මනිපිට්ටුද, කිතුල් පිට්ටුද කාබී ඉවරවුනායින් පසු සෙල්ලමට බෙර, රබන්, උඩැක්කි, දවුල්, තම්මැට්ටම්, නලා, හොරණෑ, පිනුම් කාරයින්ද ලී කෙලි කාරයින්ද, කලගෙඩි කාරයින්ද සහ බොරුකකුල්කාරයෝද මෙයින් නිමවනුය.
මෙසේ ආදර ගෞරව සහිතව ඛාද්‍ර භෝජ්‍යයෙන් සන්තර්පණය කරවා වික්ටෝරියා මහ රැජිනගේ පුත් කුමරුවා පිළිගැනීමට සැදීපැහැදී කටයුතු කළ ලංකාවාසීහු රැජින පැමිණියා නම් කෙසේ ක්‍රියාකරාවිදැයි සමහර පුවත්පත්වල පළ වූ බව සඳහන් වේ. ඒ අතරම රාජ පක්‍ෂපාතීත්වය පෙන්වීම සඳහා මේ කරන විදයම් උපහාසයට ලක්කරමින් ‘ලක් රිවි කිරණ’ පුවත්පත 1870 මාර්තු 12 වැනිදා පල කළ බව සඳහන් වේ. පාඨකයාගේ රසාස්වාදය තකා එයද ඒ වූ අයුරින්ම උපුටා දක්වීම සුදුසුයැයි හැඟේ. “ලබන මාසයේදී කොලොන් නගරයට සම්ප්‍රාප්ත වන අප ස්වාමි දූ වූ තේජාධිරාම වික්ටෝරියා නම් වූ මහා රාජිනියගේ පුත් නන්දන වූ ඇල්ෆ්‍රඞ් කුමාරයාට දැනගැනීමට කොයි වේලේ සම්ප්‍රාප්තවේදෝ කියා මෙහි වාසී දනවතුන් ලොල් වඩවා උනන්දුව සිටිනවාය. එමෙන්ම දුගී වූ අයවළුන් මෙම පින්වත් වූ උතුමාණන් දැක ගැනීමට කැමතිව ඉන්නවාලු. ඒ ගැන ඔවුන්ට යන්ඩ එන්ඩ මග වියදම් හම්බකර ගැනීමට අමාරු කමින් ලතවෙන්නන් ඒ හැර තවත් පැමිණ තිබෙන ආරෝවක් නම් මේ ගැන කොළඹට යාම බවත් ගෙවල්වල ඉන්න ගෑනු මහත්තුන් දැනගත් කඩිනමට බොක්කේ අප්පුහාමිවත් ඉස්සර කරගෙන ඉදිරියට පැමිණ “ආ බොල අඬේ තෝ පිංවතුන් බලන්ට යන්නේ ගෙවල්වල වියදමට මොනවා තබාලාද? අඬන හැත්ත අඬනකොට තොගෙ මාලුද තම්බලා දෙන්නේ කියාත් අහනවාය කියා කියන්නන් මේ වගට තමුන්නාන්සේලා වෙත කීකරු වූ හෙට්ටියාකන්දේ ජුවාන් ප්‍රනාන්දුය”
ඒ උපහාස විහිළු කතා කෙසේ වුවත් ලංකා රාජ්‍ය සහ රාජ්‍යත්වය විධිමත්ව හඹු ගැසෙන්නට පෙර රජකම් කළ පණ්ඩුකාභයගෙන් පසු වැඩිම කලක් ලංකාව පාලනය කළ වික්ටෝරියා මහ රැජින ඉහත සඳහන් කළ කරුණු අනුව ලෝකය අල්ලේ නැටවීමට තරම් බලයක් ප්‍රතාපයක් හිමිකරගෙන සිටියාය. එහෙත් ඒ සියල්ල අතීතයට එකතු වී බොහෝ කල්ය. ලෝක වැඩිහිටි දිනයේ අපට ඇය සිහිපත් වූයේ මෙම රසවත් තොරතුරු ඔබ වෙත පවසන්නටය.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි