කඳුළු සාගරයක් මැද ඉපදී දුක, දොම්නස කරපින්නාගෙන අභියෝග ජය ගත නොහැකිව හූල්ලමින් සිටිනා අවාසනාවත්ත වැසියන් මේ ලෝකයේ වැඩිපුරම සිටිනුයේ අප්‍රිකා මහාද්වීපයේය. එම මහාද්වීපික වැසියන් බොහෝ දෙනෙකුම අයාලේ ගොස් දිවියෙන් සමුගන්නා මිනිස්සු වෙති. අප්‍රිකා මහාද්වීපයේ සියරා ලියෝන් රාජ්‍යයේ ද ඒසා දුක් කන්දරාවක් විඳිනා මිනිස්සු වෙසෙති. එවැනි ආකාරයේ පීඩිතයන් සිටිනා සියරාලියෝන් රාජ්‍යයේ පාලක ජනාධිපති ජූලියස් මාඩා වෙනුවෙන් අද දියත රාජ්‍ය නායක පිටුව වෙන් වන්නේය.
ගිනියා සහ ලයිබීරියාව යන රටවලට යාබදව අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි සියරා ලියෝන් රාජ්‍යය 1808 වසරේ සිට 1961 වසර දක්වා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුවී තිබූ රටකි. ඔවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1961 දීය. ජනරජයක් බවට පත් වුණේ 1971 දීය. 1991 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා ලදී. මෙහි විශාලත්වය වර්ග සැතපුම් 27,700 කි. මේ රටේ දියමන්ති හොරුන්ගේ දේශයක් සහ දියමන්තිවලට මිනී මරා ගන්නා දේශපාලකයන් සිටිනා රාජ්‍යයක් ලෙස බටහිර මාධ්‍යයන්හි වඩාත් ප්‍රසිද්ධව තිබේ.
මේ කියන රටේ ඉන්නා ජනාධිපති ජූලියස් මාඩා වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ මුදල් පොට්ටනි ගැසීම ප්‍රගුණ කළ දේශපාලකයෙකු ලෙසය. සියරා ලියෝන්හි පස්වැනි ජනාධිපතිවරයා ලෙස 2018 වසරේ අප්‍රේල් 04 වැනිදා දිවුරුම් දුන් ජූලියස් මාඩා එරට හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් ජෙනරාල්වරයෙකු මෙන්ම මිලිටරි ජුන්ටා නායකයෙකු වේ. නැති බැරි අය ඇති හැකි අය කරනවා යැයි කියමින් 2018 පැවැති ජනාධිපතිවරණ සටනේදී එරට මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ජූලියස් මාඩා එවකට බලයේ සිටි පාලක සමස්ත මහජන කොංග්‍රසයේ අපේක්ෂක සමුරා කමාරා පරාජය කරමින් සියයට 51.8 ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය ලැබීය.
1964 මැයි 12 වැනිදා උපන් ජූලියස් මාඩා සියරා ලියෝන්හි, දකුණු බොන්ටේ පළාතේ සොග්බිනි ගම්මානයේ දී සාමාන්‍ය දෙමාපිය යුවළකට දාව උපත ලැබීය. බොන්ටේ දිස්ත්‍රික්කයේ තිහුන් හි රෝමානු කතෝලික ප්‍රාථමික පාසලෙන් හා බෝහිබෝ ද්විතීයික පාසලෙන් පාසල් අධ්‍යාපනය ලැබීය. ද්විතීයික පාසලෙන් උපාධිය ලැබීමෙන් පසුව ජූලියස් මාඩා වයස අවුරුදු 21 වන විට සියරා ලියෝන් සන්නද්ධ හමුදා ඇකඩමියට ඇතුළත්ව ශිෂ්‍ය භට පුහුණුව ලැබූ අයෙකු වේ.
වත්මන් ජනපති ජුලියස් මාඩා බලයට පත් වූයේ ඇමෙරිකා ඩොලරය හමුවෙහි අසීමිත අයුරින් එරට ලියෝන මුදල් ඒකකය බාල්දු වී රට ආර්ථික අහේනියකට පත්වී ඇති සමයකදීය. මෙහි මුළු ජනගහනයෙන් සියයට 80ක්ම අන්ත දුගී අසරණ අඩියට පත්වී සිටින දිළින්දන්ය. සියලු පහසුකම් ඇත්තේ ෆ්රී ටවුන් (Free Town) අගනුවර හා තදාසන්න ප්‍රදේශ කීපයක පමණකි. මේ සියල්ල වෙනස් කරමින් සුඛිත මුදිත දේශයක් ගොඩ නගන බවට පොරොන්දු වෙමින් පැමිණි ජූලියස් මාඩා ඒ පොරොන්දු කිසිවක් මේවන තුරුත් ඉටු කර නොමැත.
රට කෑලි කෑලිවලට බෙදා ගැනීම සඳහා විවිධ ජන වාර්ගිකයින් අතර නිතරම ගැටුම් පැවැති රටක් වන සියරා ලියෝනයේ 1991 සිට 2002 දක්වා පැවති සිවිල් යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 50,000 කට අධිකය. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. යුද්ධය අවසන් වී වසර 12 ක් පමණ ගත වී ඇතත් මේ රටේ ද ආරක්ෂක කටයුතු සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීම රටට ඔරොත්තු නොදේ. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ අනවරත වියදම් එරට මහා භාණ්ඩාගාරයට දරා ගත නොහැක්කක් බවද පැවසේ.
සෞඛ්‍ය පහසුකම් නැතිව දිනකට ළදරුවන් 90 ක් පමණ මියයන, තරුණ තරුණියන්ගෙන් සියයට 70 ක් පමණ රැකියා විරහිතව සිටින මේ රටේ සියලු වරප්‍රසාද ජනපතිට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124 දෙනාට, හමුදා ප්‍රධානීන්ට හා ඉහළ නිලධාරීන්ට පමණක් වීමද දෛවෝපගත සිදුවීමකි. රට එක තැනම පල් වී ඇත්තේ මේ නිසාය. සියලු පහසුකම් ඇති ජනපති මන්දිරයක් තිබියදී ඩොලර් මිලියන 5 ක වියදමින් අලුත් මාළිගාවක් තම වාසය සඳහා මහජන මුදල් යොදවා ඉදිකර ගැනීම පිළිබඳව ජනපති ජූලියස් මාඩාට මහජන විරෝධය එල්ල වූයේය. එම විරෝධතා මර්දනය කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග පිළිකුල් සහගතය. විරෝධතා මෙහෙය වූවන් පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ බවට ඔහුට චෝදනා එල්ලවේ.
ලොව කැරට් 969.8 ක් (ග්‍රෑම් 194) ක් වූ ලොව විශාලතම දියමන්තිය සොයාගෙන ඇත්තේ මෙම රටෙනි. මෙතරම් වටිනා ස්වභාවික සම්පත්වලින් පිරුණු රටක් ලොව දිළිඳුම රටක් බවට පත් වුණේ කෙසේද? යන්න බටහිර මාධ්‍ය විසින් සොයා බලද්දී එය සිදුවූයේ ජූලියස් මාඩා ප්‍රමුඛ බලලෝභී පාලක රජයේ වරදින් යැයි කියැවේ. එසේම ජනාධිපතිවරයාගේ අනුවණකම ද, ඔවුන්ගේ පවුල් බලය තර කර ගැනීමට කටයුතු කිරීම සේම එරට බලයට පත් වූ හැම පාලකයෙකුම රටේ සම්පත් මංකොල්ල කෑම හේතු කොට ගෙන රට කාබාසිනියා විය.
චීනයෙන් ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාගෙන රටේ උතුරු ප්‍රදේශයේ තවත් ගුවන් තොටුපොළක් ඉදි කිරීමට ක්‍රියා කිරීම ජූලියස් මාඩාගේ සියරා ලියොන් රජය ගත් අනුවණ ක්‍රියාවක් බව දැන් හෙළි වී තිබේ. පාලකයන් සහ පාලකයින්ගේ පවුල්වල ඥාතීන්ගේ ඕනෑ එපාකම් මත රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම තුළින් මේ රට ද ප්‍රපාතයට ඇදවැටීම හෝ එසේ නොකිරීමට ජූලියස් මාඩා වැනි පාලකයන් යළිත් පත් කර ගන්නේද නැත්ද යන්න එරට වැසියන් සතු තීරණයකි.
තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි