ප්‍රංශයේ අවසන් රජුගේ ඉරණම විසඳුණ හැටි


ඉතිහාසයේ මෙවන් සතියක.....

 

 

ලෝක ඉතිහාසය වෙනස් කළ ජනවාරි මාසයේ සිදුවීම් අතර ප්‍රංශයේ අවසන් රජු වූ දහසය වැනි ලු‍වී රජු ගිලටීනයට හසුකර මරා දැමීම විශේෂිතය. ඒ අදින් වසර 227කට පෙර 1793 ජනවාරි මස 21 වැනිදාය. 


1775 පමණ වන විට යුරෝපයේ ජනගහනය වැඩිම හා සමෘද්ධිමත්ම දේශය වූයේ ප්‍රංශයයි. පැරිසිය එවකට ලෝකයේ විශාලතම නගරය විය. දශක ගණනාවක් පුරා පැවැති අධිරාජ්‍ය පිහිටුවීමේ යුද්ධ හේතුවෙන් යුරෝපීයයෝ ආර්ථික වශයෙන් බංකොළොත් වී සිටියහ. බි්‍රතාන්‍යයේ භාණ්ඩාගාරය හිස්වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් ද එහි රජු හා ප්‍රභූන් විසින් විනාශ කෙරෙමින් තිබූ අතර බි්‍රතාන්‍යයෙන් ස්වාධීනත්වය ඉල්ලා අරගල කරන ඇමෙරිකාවට යුද ආධාාර ලබාදීම සඳහා ද වැය වී භාණ්ඩාගාරය හිස්වෙමින් තිබිණි. 
එවකට සමස්ත ප්‍රංශයම පන්ති තුනකට අයත්වූහ. ඉන් පළමුවැන්න වූයේ පූජ්‍ය පක්ෂයයි. දෙවැන්න රදලයෝය. තුන්වැනි පන්තියේ ඇතැමුන් ආර්ථික වශයෙන් නැගී සිටිය ද ඔවුන්ට අන් අය හා සමානවීමට ඉඩකඩ ලබාදෙන දේශපාලනික බලයක් හෝ සමාජ වැදගත්කමක් හෝ තිබුණේ නැත. 


ප්‍රංශ රදලයන් අතරින් තෝරාගත් විනිශ්චයකාරවරුන් මන්ත්‍රණ සබා තනතුරු ලාභීන් පත්කිරීම සඳහා රජු සහ රජුට පාක්ෂික ඇමතිවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදලයන්ට තනතුරු මුදලට විකුණූහ. මේ නිසා අල්ලස හා දූෂණය ද වැඩිවෙමින් තිබිණි. 


රටේ පාලනයට පල්ලියේ සහය නිතර අවශ්‍ය බව දැන සිටි රජවරු හා අමාත්‍යවරු ජනතාවගේ මුදලින් පල්ලි යමින් නඩත්තු කළහ. ප්‍රංශ සමාජයේ අර්බුද රැසක් මතුව තිබිණි. 16 වැනි ලු‍වී රජුගේ පියා 1765 දෙසැම්බර් 20 වැනි දින ක්ෂය රෝගයෙන් මියගියේ ඔටුනු පලඳින්නේ ද නැතිවය. ලු‍වී රජුගේ වැඩිමහල් සහෝදරයා ද වයස නමයක් වෙද්දී 1761 දී මියගොස් තිබිණි. මේ අතර 1774 දී තම සීයාගේ මරණයත් සමග 20 හැවිරිදි වියේ සිටි ලු‍වී ඔගස්ටස් 16 වැනි ලු‍වී නමින් ප්‍රංශයේ අධිරජ්‍යයා බවට පත්වූයේය. නමුත් ඔහු රජකමට සූදානමින් සිටියකු නොවීය. 


ආර්ථික අර්බුදයෙන් වෙළී අන්ත දුෂ්කරතාවන්ට මුහුණ දුන් ජනතාව අසතුටින් සිටින බව දැනගත් ඔහු වඩාත් වැඩවසම් සමාජ ක්‍රමය ප්‍රිය කළ පුද්ගලයකු නොවීය. රටේ ආර්ථික අර්බුදයත්, ප්‍ර÷ංශය විදේශයන්හි කරන සටන් ගැනත් දැන සිටි ලු‍වී රජු වහල් ක්‍රමය අහෝසිකිරීමටත්, ප්‍රොතෙස්තන්ත්‍ර සහ යුදෙව්වන්ට සහනදායී ප්‍රතිසංස්කරණ ලබාදෙන්නටත් කටයුතු කළේය. මේ ක්‍රියාමාර්ගවලට ප්‍රංශ සමාජයේ රදළවරු දැඩි ලෙස විරුද්ධ වූහ. 


බි්‍රතාන්‍ය නාවික හමුදාව පරදා ප්‍රංශ නාවික හමුදාවට මුහුද ජයගන්නට නම් බි්‍රතාන්‍යයෙන් ගැලවීමට අරගල කරන ඇමෙරිකාවට සහය දිය යුතු යැයි තීරණය ඔහු දිගටම විශ්වාස කරමින් ඒ අනුව කටයුතු කළේය. 


මේ අතර 1788 දී ඇතිවූ දැඩි නියං කාලක් හේතුවෙන් ප්‍රංශය පුරාම බව භෝග විනාශ විය. අයිස් වැස්සක් කඩා වැටීම හේතුවෙන් ‌නෝමන්ඩියේ සිට ෂැම්පේන් දක්වා සැතපුම් 180ක් සරු පස් විනාශ විය. 1789 පැමිණි මහා ගංවතුරින් යළි ප්‍රංශයේ කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් ඇතිවිය. මිනිසුන්ට උන්හිටිතැන් පවා අහිමිවිය. බව භෝග හිඟවීමත් භාණ්ඩ මිල ඉහළයාමත් හේතුවෙන් බොහෝ ප්‍රංශ ජාතිකයන් සිටියේ නිරන්තර කුසගින්නෙනි. මේ නිසාම කොල්ලකරුවන් වැඩිවූ අතර සාමාන්‍ය වැසියෝ ද අවි අත දරන්නට වූහ. මාස හයක දී තුවක්කු 400,000ක් ගම්වල හුවමාරු වූ අතර අතට අසුවන උල් හා තියුණු ආයුධ රැගත් සාමාන්‍ය වැසියෝ බදු එකතුකරන්නන්ටත්, රදලයන්ටත් පහර දුන්හ. කඩ හා ඔවුන්ගේ නිවාස විනාශ කළහ. 


මෙවන් පසුබිමක් මත ප්‍රංශය සමාජ විප්ලවයකට සූදානම් වෙමින් පැවතිණි. මැක්සිමිලන් රොබෙස්පියෙරේ නමැති නීතිඥවරයා මෙහි පෙරමුණ ගන්නා ලදී. “බිත්තර නොකඩා ඔම්ලට් දැමිය නොහැක”‍ යනුවෙන් කියූ ඔහු සිය දේශපාලන දැක්ම ද ප්‍රයෝජනයට ගනීමන් නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය එකිනෙක කැටිවූ සමාජ විප්ලවයක් කරන බව පවසමින් ප්‍රංශ විප්ලවයට පෙරමුණ ගත්තේය. 


එහි පළමු අදියර වූයේ රදලයන් විසින් දහසය වැනි ලු‍වී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමයි. ඉන්පසු රජුගේ බලතල සීමා කිරීමට පිහිටුවාගත් ජාතික සම්මේලනය 1789 ජුනි 20 වැනි දා ටෙනිස් පිටියේ ගිවිසුම අත්සන් කරන ලදී. 


රජුගේ අණ පරිදි දේශපාලන සිරකරුවන් හා අපරාධකරුවන් රඳවා තබන පැරිසියේ පිහිටි බැස්ටීලය නමැති සිරකඳවුරට විප්ලවවාදී ආයුධ සන්නද්ධ පිරිස් 1789 ජූලි 14 වැනිදා කඩා වැදිණි. මෙය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදියර ලෙස සැලකේ. අගෝස්තු 27 වැනි දා මිනිසාගේ හා පුරවැසියාගේ අයිතීන් ප්‍රකාශනය එළි දැක්විණි. නැවත පාන් හිඟයක් පැතිර ගිය අතර ප්‍රංශ කාන්තාවෝ ද වීදි බැස අරගල කරන්නට වූවෝය. මෙයින් වඩාත් ප්‍රකෝප වූ ප්‍රංශ වැසියෝ රජ මාලිගයට කඩා පැන සෙබළු‍න් මරා ඔවුන්ගේ හිස් උල්වල රඳවා රැගෙන ගියහ. 


අනතුරුව 1790 දී ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත්කර රජුගේ බලය අවම කළ ද ඔටුන්න අහෝසි කළේ නැත. ඒ වනවිට ෆ්‍රෑන්ක් බිලියන තුනක ධනයකට පල්ලිය හිමිකම් කියූ අතර භාණ්ඩාගාරය පිරවීම සඳහා ඒ සියල්ල රාජසන්ත කරන්නට විප්ලවවාදීහු කටයුතු කළහ. 


1793 දී ප්‍රංශ පොලිසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් මගිනි. මැක්සමිලියන් එහි සාමාජිකයකුව සිටියේය. ඔවුන්ගේ නීතික පිළිවෙළ වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය, අත්‍යාවශ්‍ය හා මඟහැරිය නොහැකි දෙයක් යැයි කියා සිටි ඔහු ප්‍රමුඛ කමිටුව සාධාරණ ජනරජයක් සඳහා සියලු‍ වැරදිකරුවන්ගේ හිස් ගසා දැමිය යුතුයැයි යන මතය සමාජගත කරන ලදී. 


විචාරකයන් පවසන්නේ ව්‍යවස්ථාදායක රජකු ලෙස දහසය වැනි ලු‍වී රජතුමා මුල් කාලයේ ජනතාවගේ ප්‍රසාදය දිනා ගත්ත ද ඔහුට පාලනය නුහුරු වූයෙන් තීරණ ගැනීමේ දී පසුබට වීමත්, ඔහුට රදලයන්ගේ සහය නොලැබීමත් ජනතා විරෝධයන් වර්ධනය වූ බවයි. පැවැති පාරිසරික හා ආර්ථික සාධක හමුවේ බඩු මිල එන්න එන්නම ඉහළ යාමෙන් ජනතා විරෝධය බුර බුරා නැගිණි. ව්‍යවස්ථාදායී ක්‍රමවේදයකට පිළිපන්න ද ඔටුන්නක් කිසිසේත්ම එපායැයි කියන දේශපාලන මතවාද පැරිසිය පුරා පැතිර යන්නට විය.  
ජාතික සමුළුවක් පිහිටුවා එමගින් දහසය වැනි ලු‍වී රජු ජනාතා විරෝධියෙක් යැයි විමසන නඩු විභාගයක් පවත්වා රජු අත්අඩංගුවට ගැනිනි. අවසානයේ එම ජාතික සමුළුව විසින් ම ප්‍රංශය ජනරජයක් යැයි ප්‍රකාශයට පත්කර දහසය වැනි ලු‍වී රජු 38 වැනි වියේ දී 1793 ජනවාරි 21 වැනිදා දහසය වැනි ලු‍වී රජුගේ හිස ගිලටීනයට හසුකර ඔහු මරා දැමිණි. 
ප්‍රංශ ඉතිහාසයේ මරණ දඬුවමට නියම වූ එකම රජු ඔහු වන අතර ප්‍රංශයේ රාජාවලියේ නිමාව ද එයින් සිදුවිය. 


එතැන් සිට සාධාරණ හා සම්පූර්ණ නඩු නොඅසාම ප්‍රංශ විප්ලවකරුවන්ගේ වුවමනාවට ඇසූ නඩුවලින් ප්‍රංශයේ පුද්ගලයන් 25,000කට පමණ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි. 1793 සැප්තැම්බර් 05 වැනිදා සිට 1794 ජූලි 28 වැනිදා දක්වා පැරිස් නගරයේ පමණක් 2,639 දෙනකු ගිලටීනයට හසුකර මරා දමා තබිණි.

 


සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි