මහජන දේපොල යටිමඩි ගැසූ පාලකයින් නිසා අන්ත දරිද්‍රතාවට පත් ජනතාවක් සමඟ වළපල්ලට ගිය රටක් වනුයේ මොන්ගෝලියාවයි. එලෙස දරිද්‍රතාවයෙන් බැට කන ජනතාව වෙනුවෙන් රට කරවන ජනාධිපති කාල්ට්මාගින් බටුල්ගා ගැන මෙවර දියත වෙන් වේ.
නැගෙනහිර ආසියාවේ පිහිටි මොන්ගෝලියාවේ මුළු ජනගහනයෙන් සියයට 55ක් පමණ බෞද්ධයෝ වෙති. උතුරෙන් රුසියාවටද දකුණෙන් චීනයටද මායිම්වී ඇති මොන්ගෝලියාවේ විශාලත්වය වර්ග සැතපුම් 605,000 කි. විශාලත්වය අතින් ලෝකයේ 18 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මේ රටට ය. රටෙන් වැඩි කොටසක් ගෝබි කාන්තාරයද, ඝන වනාන්තර හා කඳුයායවල්වලින් යුක්තය. ආසියාවේ අසමත් හා දිළිඳු රටවලින් එකකි. රත්රන්, තඹ, ගල් අඟුරු හා යුරේනියම් ආදිය ඇති සරු පොළවක් ඇති රටක් වූ මොන්ගෝලියාව අද වන විට අන්ත දරිද්‍රතාවයට පත්ව ඇත. 2017 වසරේ ඔක්තෝබර් 19 වැනිදා චීනයේ “ෂින්හුවා” මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙහි මුළු ජනගහනයෙන් බහුතරයක් අන්ත දුගී අසරණ ජීවිත ගත කරන බවයි.
මෙය ආර්ථීකය කඩා වැටුණ, දේශපාලකයින්ගේ හොර මැරකම් දෙගුණ තෙගුණ වී ඇති රාජ්‍යයක් බව ලෝක බැංකුව ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතන රැසක් දත්ත ඇසුරෙන් කියා සිටිනුයේ මහා නිධානයක් උඩ හිඳගෙන හිඟාකන තවත් රටක් බවය. ඒ රට කරවන්නට බාර ගත් ජනාධිපති කාල්ට්මාගින් බටුල්ගා එම ධුරයට පත්වූයේ 2017 වසරේ ජූලි 10 වැනිදාය. දේශපාලනයට එළැඹීමට මත්තෙන් ඔහු එරට ජනප්‍රිය මල්ලවපොර ශූරයෙකු වූයේය.
1963 වසරේ මාර්තු 03 වැනිදා උපන් ඔහු 2017 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියාව පරදවමින් සියයට 50.6ක් ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කරනුයේ එලෙස සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසිනි.
සාමාන්‍ය ගැමි මාපිය යුවළකට දාව උපන් මොහු පවුලේ තෙවැන්නා වේ. කුඩා කල පටන් කලාවට දක්ෂකම් පෑ මොන්ගෝලියා ජනාධිපතිවරයා චිත්‍ර ශිල්පයට මනා ලෙස දක්ෂ වූයේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව එරට සංචාරක ප්‍රදේශවල පිහිටි හෝටල්වල චිත්‍ර ශිල්පියෙකු වූ ඔහු ඒ අතර තුරේ මල්ලවපොර ක්‍රීඩාවට අවතීර්ණ වන්නේය. එම ක්‍රීඩාවෙන් ඉදිරියටම යන ඔහු ඉන් තම ජීවිතයට නිසි ආදායමක් ලබා ගත නොහැකිව ඇඟලුම් කර්මාන්තයට පිවිසියේය. එම නිෂ්පාදනය සිංගප්පූරුවට හා රුසියාවට අපනයනය කරන ඔහු එරට සමාජයේ ජනප්‍රිය ව්‍යවසායයකු බවට පත්විය.
එමඟින් සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන බටුල්ගා 2004 වසරේදී එරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් දිනාගත්තේ මොන්ගෝලියාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමිනි. ඉන්පසුව පිළිවෙළින් එරට මහාමාර්ග, ප්‍රවාහන, ඉදිකිරීම්, නාගරික සංවර්ධන යන අමාත්‍ය ධුරවල නිරතවෙමින් 2017 වසරේදී එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය.
රැකියා විරහිත තරුණ තරුණියන් දස දහස් ගණනින් ඉමහත් පීඩාවට පත්ව සිටි මොහොතක ඔවුන්ට නව රැකියා උත්පාදනය කරන බව සඳහන් කරමින්, නිවාස නැති අයට නව නිවාස ලබාදෙන බවට පොරොන්දු වෙමින් ජනප්‍රිය පොරොන්දු රැසක් ලබාදෙන බවට ඔහු සපථ කළද ධූරයට පත්ව වසර 2ක් ගතවන තුරුත් එම පොරොන්දු ඉටු නොකළේය.ඒ ගැන ඔහුගේ ජනතාවගෙන්ම එල්ල වන්නේ දැඩි විරෝධයකි.
පරිසරය දූෂණයවීම ඒ රටේ තවත් දැවෙන ප්‍රශ්නයකි. කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා රටපුරා ශීඝ්‍රයෙන් ලෙඩ රෝග පැතිරී යයි. නිසි සෞඛ්‍ය පහසුකම් නැති නිසා විවිධ ලෙඩ රෝගවලින් මියයන සංඛ්‍යාව අතිවිශාලය. රට සූරා කන හොරු සෞඛ්‍ය පහසුකම් සඳහා අයවැයෙන් වෙන් කරනුයේ සියයට 5ක පමණ මුදලකි. බොහෝ කඳුකර ප්‍රදේශවලට ජනාධිපතිවරයා විසින් ලබාදෙනවා යැයි කියූ සෞඛ්‍ය පහසුකම් සපයා නැත. රට පුරා කුණු කඳු ගොඩ ගැසී ඇත. ෂව්කන්, කාන්ගායි, ඔර්කෝන්, උවුර්කන්ගයි වැනි ප්‍රදේශයන්හි පවතින්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.
තඹ, රත්රන්, යුරේනියම්, ගල් අඟුරු ඉල්ලම් හා පතල් වැඩි වශයෙන්ම ඇත්තේ ඔයු ටොල්ගෝ ප්‍රදේශයේය. මෙම ඉල්ලම් රටේ ජනාධිපතිවරයාගේ ආනුභාවයෙන් විවිධ ආයතනවලට හා විදේශ සමාගම්වලට විකුණා දැමීම හා බදුදීම තුළින් ඉන් රටට ලැබෙන ආදායම හොර පාරෙන් රටට නැතිවෙන ආකාරයට රජය මගින් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇත. වසරකට මින් රටට ලැබුණු ඩොලර් බිලියන 4.2 කට වැඩි ආදායම දැන් අහිමිවී ඇත්තේ මේ නිසාය. දැනට මොන්ගෝලියාව ණය කන්දකට යටවී අවසානය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ 13 හැවිරිදි බැරෝන් පුතාට පෝනි පැටවෙකු තෑගි දීමට සැරසුණු වත්මන් මොන්ගෝලියා ජනපති මොන්ගෝලියාවේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් කිසිවකුත් සිදුකර නැත.
මොන්ගෝලියාවද රාජ්‍ය දූෂණයට එරෙහිව මහජන පිබිදීමක් හටගත් තවත් දේශයකි. කතානායකවරයාට එරෙහිව 60,000කට අධික ජනසමූහයක් මොන්ගෝලියා පාර්ලිමේන්තුව වැටලීමෙන් මේ බව සනාථ වේ. දැන් දැන් ලොව බොහෝ අරාජික රාජ්‍යයන්හි මෙවැනි ජනතා පිබිදීම් හටගෙන ඇත්තේ ඔවුන්ට පීඩනය තවත් විඳදරා ගැනීමට නොහැකිවීම නිසා ය. ආසියාවේ තවත් අරාජික රාජ්‍යයක නායකයකුගේ ඉදිරිපැවැත්ම තීරණය කරනුයේ එරට ජනතාව බව අමතක නොකළ යුතුය.
තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි