“මව්බිම නැත්නම් මරණයෙන්” උපන් ජාත්‍යන්තර විප්ලවවාදියා - 02
සංචාරයේ යෙදීමට මහත් උනන්දුවක් දැක් වූ චේ තම හිත මිතුරෙකු වූ රොබර්ටෝ ද සමග පරණ යතුරුපැදියක නැගී ලතින් ඇමරිකාවේ බොහෝ රටවල සංචාරය කළේය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චිලී පේරු සහ කොළොම්බියාව වෙනිසියුලාව ආදී විශාල රටවල් සංඛ්‍යාවක අති මහත් දීර්ඝ ගමනක යෙදුණේය. එමගින් එම රට වල දුගී දුප්පත්කමින් පීඩා විඳින අහිංසක ජනතාවගේ ඉරණම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
පන්ති භේදය සහ සමාජ අසාධාරණය නිසා දුකින් දුකට පත් වෙන පීඩිත ජනතාව කෙරෙහි චේගේ කරුණාබර දෙනෙත් යොමු විය. ඒ නිසා තම දින පොතෙහි මෙසේ සටහන් කළේය. “ඔවුන්ගේ තත්ත්වය හරිම දුඃක්ඛිතයි. ඔවුන්ගේ පැල්පත් තුළින් හමා ආවේ පැල්පතෙහි වූ එකම ගෘහ භාණ්ඩය වූ එල්ලෙන ඇඳෙන් නැගුණු පුස් ගඳ හා දහදිය ගඳ එකට මුසු වූ දුර්ගන්ධයයි.
ඇදුමද, හදවත් රෝග ද බහුල විය. ස්වකීය අසරණ බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනුණි. එම අසරණයෝ කොකෝවා ගසේ කොළ අනුභව කළහ. මෙවැනි අභියෝග දැක ගනිමින් මිතුරෝ දෙදෙනා කොස්ටාරිකාවට ගියහ. එහි සැන් ජෝසේ නගරය ඔවුන්ගේ එක් ගමනාන්තයක් වූවේය. කොස්ටාරිකාව ද අනෙකුත් දකුණු ඇමෙරිකානු රටවල් මෙන්ම ලෙඩ රෝග, දුගී දුප්පත්කම මත්ද්‍රව්‍ය ආදී සමාජ උපද්‍රවවල කේන්ද්‍රස්ථානයක් විය. එහෙත් එහි එක් වෙනසක් දැකිය හැකි විය. එනම් සමස්ත දකුණු ඇමරිකානු රාජ්‍ය පද්ධතියේම ඒකාධිපති සහ ඇමරිකානු හිතවාදී පාලකයන්ට එරෙහිව කැරලි මෙහෙය වූ නායකයෝ බොහෝ දෙනෙක් රැඳී සිටියේ කොස්ටාරිකාවේ සැන් ජෝසේ අග නගරයේ ය. කියුබානු විප්ලවයේ නායකයන් පළමු වරට චේට මුණ ගැසුණේ සැන් ජෝසේ නගරයේදීයි.
මේ අවධියේ කියුබාව පාලනය කළේ බැටිස්ටා නම් වූ ඒකාධිපති පාලකයෙකි. ඇමරිකාවට ඉතා පක්ෂපාත පාලනයක් ගෙන ගිය ඔහු ඇමරිකාවට අයත් සමාගම් වලට සීනි කර්මාන්තයේ ඒකාධිකාරය පවරා දී තිබුණි. ඒ අනුව යන්ත්‍රවල මිරිකුණේ උක් දඬු නොව කියුබාවේ ගොවි ජනතාවගේ සාරයයි. බැටිස්ටා බහු ජාතික සමාගම්වලට අනුග්‍රහය දැක්වීය.
එහි ඒකායන ප්‍රතිඵලය වූයේ කියුබානු ජනතාව දුකෙන් දුකට පත්වීමය. මෙම තත්ත්වයට මුහුණ දීම උදෙසා පිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ සොහොයුරු රාවුල් තවත් කණ්ඩායම් සමග එක්ව බැටිස්ටා රාජ්‍ය බලයෙන් පහකර දමා බලය අල්ලා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කළහ. එහි ප්‍රථම පියවර වූවේ මොන්කාඩා බැරැක්කයට පහර දීමය. එය අසාර්ථක වීම නිසා සොහොයුරෝ දෙදෙනා අත් අඩංගුවට පත් වූහ. මේ දෙදෙනා සිර භාරයෙන් මිදී මැක්සිකෝ නගරයට එන බව මිතුරෙකුගේ මාර්ගයෙන් චේට දැන ගන්නට ලැබුණි. ඔවුහු එහිදී හමු වී සාකච්ඡා කළහ. සැලසුම් සකස් කළහ. ඒ ගැන චේ පසු කලක මෙසේ සඳහන් කර තිබුණි. අපි මුළු රාත්‍රිය පුරාම කතා කළා.
කියුබාවට පිටත් වන ඊළඟ ගමනේදී මා වෛද්‍යවරයෙකු ලෙස එම ගමනට සම්බන්ධ විය යුතු යැයි පාන්දර යාමය වන විට පිදෙල්ට ඒත්තු ගොස් තිබුණා. ගෝතමාලාවේ අත්දැකීම්වලින් මා මුවහත් වෙලයි සිටියේ. ඕනෑම ඒකාධිපති මැර පාලකයෙකුට එරෙහිව කෙරෙන අරගලයකට සහභාගී වීමට හිතහදා ගැනීම මට එතරම් කාරියක් වුණේ නැහැ. කියුබාවට ගොඩ බැස්ස ගමන් සටන අරඹන බවත් ඒ සටනේ අවසානය ජයග්‍රහණය බවත් පිදෙල් තදින්ම විශ්වාස කළා. ඔහුගේ මේ උනන්දුව උද්‍යෝගය හා අධිෂ්ඨානශීලී බව මට බෝවුණා වගේ මට දැනුණා. රට කුමක් හෝ වේවා කෲර පාලකයකු බලයෙන් පහ කර දැමීමේ අරගලයකට සහභාගී වී නන්නාඳුනන රටක වෙරළේ මිය ගියත් කමක් නැතැයි යන සිතුවිල්ල මා පෙළුවා. ඔහු කියුබාවට ගොස් විප්ලවයට දායක වූ අතර එම අර්ජන්ටියානුවා කියුබානු ජන නායකයෙකු වූයේ එම ආකාරයෙනි. ඔහු කියුබානු රජයේ ඇමතිවරයෙකු වූවේය. රටේ සංවර්ධනය සඳහා මහත් වැරවෑයමෙන් කටයුතු කළේය.
එහෙත් මෙම අසහාය විප්ලවවාදියාට අවශ්‍ය වූයේ තනතුරු දරමින් රජ පුටු හෙබවීම නොව තවත් රටක දුක් විඳින ජනතාවට විමුක්තිය උදා කර දීම සඳහා කැප වීමය. ඒ සඳහා චේ තෝරා ගත්තේ බොලීවියාවයි. මෙම ලිපියේ ආරම්භයේදී දැක් වූ සමුගැනීමේ ලිපිය පිදෙල් කස්ත්‍රෝ වෙත යොමු කළේ බොලිවියානු විප්ලවයට සහභාගී වීම සඳහා නික්ම යාම දැනුම් දීමටයි. එරට සමාජවාදී විප්ලවයට දායක වෙමින් ආයුධ සන්නද්ධ අරගලයට දායක වෙමින් සිටියදී බොලිවියාවේ කඳුකර ප්‍රදේශයකදී වනයේ සිදු වූ සටනක දී තුවාල ලැබූ චේ ගුවේරා 1976 ඔක්තෝම්බර් 9 වැනිදා එරට හමුදාව විසින් මරා දමන ලදී.
මරණය හමුවේ වුවද තම විප්ලවවාදී සටන් ක්‍රියා මාර්ගය අත නොහැර නියම සටන්කරුවෙකු සහ ජාත්‍යන්තරවාදියෙකු ලෙස සහ ඔහු පැතූ ලෙස නොදන්නා රටකදී තම ජීවන සුසුම වා තලයට මුසු කළේය. මෙම නික්ම යාම සිදු නොකළා නම් හෝ වෙනත් ආකාරයක මරණයකට ගොදුරු නොවුවා නම් චේ ගුවේරා යනු අදත් ඇමැතිවරයෙකි. සමහර විට ඔහු කියුබාවේ වර්තමාන රාජ්‍ය නායකයාය. බියගුල්ලෝ සිය දහස් වර මිය යන නමුදු වීරයෝ මිය යන්නේ එක් වරෙකැයි විප්ලවවාදීන් අතර ප්‍රචලිත කියමනක් තිබේ. ඒ අනුව චේ ගුවේරා මිය ගියේ වීරයෙකු වශයෙනි. ඒ නිසාම ඔහු පරමාදර්ශී චරිතයකි. චේ ගුවේරා මිය ගොස් අඩ සිය වසකට ආසන්නය. තවත් බොහෝ කලක් ඔහුගේ නාමය අමරණීයව පවතිනු නිසැකය.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි