ගොර්බචොප් ධුරයෙන් නෙරපයි


රනිල්ගේ අත්දැකීම විඳි රුසියානු නායකයා - 02

 

 

සෝවියට් දේශයේ පවත්නා මර්දනකාරී නීති මාලාව සහ දැඩි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතු යැයි කාලයක සිටම ප්‍රකාශ කරමින් සිටි ගොර්බචොප්ට විටින් විට සංශෝධනවාදියෙකුයැයි චෝදනා එල්ල විය. 


1985 නායකත්වයට පත් මිඛායෙල් ගෝරබචොප්ට පෙර කී ප්‍රතිපත්ති නිසාම හය වසරකට පසු 1990 අගෝස්තු මාසයේ 19 වැනිදා බලය මාරුවීමේ අවස්ථාවට මුහුණ දීමට සිදුවිය. එහෙත් එය මෙතෙක් සෝවියට් දේශය තුළ බලය මාරුවීම උදෙසා ගත් සම්ප්‍රදායික ක්‍රියාමාර්ගවලට වඩා අතිශයින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. 


කෙසේ වුවත් ඔහු සමස්ත සෝවියට් කොමියුනිස්ට් පාලනය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නේය. ඒවා එරට ජනයා හැඳින්වූවේ පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොට් නමිනි. ග්ලාස්නොට් යන්නෙන් රාජ්‍ය පාලනයේ ආයතනවල ක්‍රියා කාරිත්වයේ උපරිම විවෘතතාවය හා තොරතුරු සන්නිවේදනයේ පූර්ණ නිදහස අදහස් විය. පොරොස්ත්‍රොයිකා ප්‍රතිපත්තියේ එක් අංගයක් වූවේ රාජ්‍ය යාන්ත්‍රණය විවෘත කිරීමකි. මාක්ස් ලෙනින්වාදය වශයෙන් හඳුන්වා දෙන ලදුව දේවත්වයෙන් පිළිගනු ලැබු මතවාදයට අනුව ගොඩ නගා තිබුණු සංවිධාන ව්‍යූහයේ බලාධිකාරය අහෝසි කර ඒවා ජනතාවට විවෘත කර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් හා බහු පක්ෂ නියෝජන ක්‍රමයක් ඇති කිරීම ගොර්බචොප්ගේ අරමුණ විය. මෙම යෝජනා රුසියානු ප්‍රදේශ තුළ මහත් සේ වාද විවාදයට ගොදුරු වූවේය. 


මෙම ප්‍රතිපත්තිවලට ඉතා තදින්ම විරුද්ධව නැගී සිටි පුද්ගලයින් වූවේ ගෝර්බචොප් යටතේම අගමැතිධුරය හෙබවු පැට්ලොට් ආරක්ෂක ඇමති යාකොබ් හා දැඩි මතධාරි නායක ලිගවෙච්ය රුසියානු ෆෙඩරල් සමූහාණ්ඩුවේ බොරිස් යෙල්ට්සින් ද මෙම වැඩ පිළිවෙළට විරුද්ධව කටයුතු කළ අතර ඔහුගේ අභිලාෂය වූවේ බෙදුම්වාදය බව පෙනී ගියේය. සෝවියට් දේශයේ ප්‍රධානම සමූහාණ්ඩුව වන රුසියානු පෙඩරේෂණය සෝවියට් පාලනයෙන් මුදවාගෙන එය වෙනම රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම යෙල්ට්සින්ගේ අරමුණ වූවේය. මෙම බෙදුම්වාදය සියලු සෝවියට් සමූහාණ්ඩු වෙත පැතිර ගියේය. බෙදී වෙන්වීම සඳහා ජාතිවාදී උද්ඝෝෂණ ආරම්භ විය. මාක්ස් - ලෙනින්වාදි ඉගැන්වීම්වලට පරිබාහිරව යන ගොර්බචොප් පාලනය පෙරළා දමන ලෙස ඉල්ලා සමස්ත සෝවියට් වෘත්තීය සමිති මහා සම්මේලනය විශාල වැඩ වර්ජනයක් ආරම්භ කළේය. විශේෂයෙන් පතල් කම්කරුවෝ එහි පෙරමුණ ගත්හ. මෙම වැඩ වර්ජනය රුසියාවේ සියලු අංශ කෙරේ පැතිර යාමට ගතවූවේ ටික දිනකි. රටම අඩපණ විය. දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙමින් සිටි සෝවියට් දේශයට මෙම තත්ත්වය දරා ගැනීමට අපහසු විය. විශේෂයෙන් ගමනා ගමන සේවකයන්ගේ වැඩ වර්ජනය නිසා ඉන්ධන ආහාර පාන බෙහෙත් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් නොව විදුලියද නොමැති වූ ජනතාව මහත් අසීරුවකට පත් විය. මෙම පසුබිම මත සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ පොලිටිකල් ප්‍රසීඩියම් (දේශපාලන මණ්ඩලය) සභාවටද තවදුරටත් නිහැඬව සිටීමට නොහැකි විය. 1991 අගෝස්තු 19 වැනිදා මිඛායෙල් ගොර්බචෝප් රාජ්‍ය නායකත්යෙන් ඉවත් කරන ලදී. ඔහු විසින් හඳුන්වාදෙන ලද පෙරොස්ත්‍රොයිකා සහ ග්ලාස්නොට් යන දේශපාලන ප්‍රතිපත්ති ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබුණු නිසා රාජ්‍යය මුළුමනින්ම විවෘත බවට පැමිණ තිබුණි. ලෙනින්ගේ ස්ටාලින්ගේ හෝ කෘෂෙප්ගේ මත හෝ පාලන ක්‍රමය තවදුරටත් සෝවියට් දේශය තුළ වලංගු නොවීය. එරට තරුණ පරම්පරාවට කථා කිරීමේ නිදහස පමණක් නොව ලිංගික නිදහසද අවශ්‍යව තිබුණි. ඔවුහු ඒ සඳහා සටන් කළහ. මිනිස් සිත පුදුම සහගත දෙයකි. තිබෙන කුමන දෙයක හෝ අගයක් නැත. ඉල්ලන්නේ නැති දෙයමය. 


කොමියුනිස්ට්වාදී සෝවියට් දේශයේ අනෙක් කුමන දෙයක් නොතිබුණා යැයි කීවද සදාචාරාත්මක හැඳියාවක් තිබුණි. එය ගොඩනංවන ලද්දේ විප්ලවයෙන් පෙර සහ පසුව බිහිවූ මහ ලේඛකයන් විසිනි. වරක් සෝවියට් දේශයේදී මොස්කව් නගරයේ යස්නා පල්යානා නම් ස්ථානයේ පිහිටුවා තිබුණු ලියෝ තෝල්ස්තෝයි අනුස්මරණ කෞතුකාගාරය දුටුවෙමි. එහි තුරු සෙවණේ වාඩි වී සිටි එක්තරා මහලු මිනිසෙකු සමග මම කථාබස් කළෙමි. පාර් රුසියාවේ පැවති දුක්ඛිත සමාජ තත්ත්වය ඔහුගේ දෙමාපියන් ඔහු සමග කියා තිබුණි. ඔහු අසා තිබුණු දේ කියද්දී එම මිනිසාගේ දෙනෙත් කඳුලින් තෙත් විය. මට ඒ විස්තර කර දුන් භාෂා පරිවර්තකයාගේ දෑස් ද තෙත්වූ බව මම දුටිමි.
ලෝකයේ එවකට පැවති බල කඳවුරු දෙකෙන් එකක නායකයා වු සෝවියට් දේශය එකල අභ්‍යවකාශය ද ජයගෙන තිබුණි.

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි