ගැහුවොත් ගහන එඩිතර තරුණ ජනාධිපති කිම් ජෝන් උන්


ඇමෙරිකා ජනාධිපතිගේ තර්ජන හමුවේ නොසැලී හිඳිමින්, ඇමෙරිකාව ගැහුවොත්, අපිත් ගහනවා යැයි කීමට තරම් උතුරු කොරියා නායක කිම් ජොන් උන් එඩිතරය. වරෙක කාල් විල්සන් යුද නැව මූදේ ගිල්වනවා යැයි අනතුරු අඟවමින් දිගු දුර බැලැස්ටික් මිසයිල විදිමින් ඇමෙරිකාව විනාශ කරන බවට කිම් ජොන් උන් තර්ජනය කළේය. කෙසේ නමුත් කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර මිතුරු සාකච්ඡා පැවතියද මේ කියන උතුරු කොරියා පාලකයා ෆිදෙල් කස්ත්‍රෝ මෙන් විප්ලවකාරයකු නොවේ. විප්ලවීය නායකයකු නොවේ. 


මේ කියන කිම් ජොන් උන් උතුරු කොරියාවේ උත්තරීතර නායකයා බවට පත් වූයේ ඔහුගේ පියා කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. ඒ, 2011 වසරේ දෙසැම්බර් 17 වැනිදාය. කිම් ජොන් ඉල්ගේ අනුප්‍රාප්තිකයා ලෙසත්, උතුරු කොරියා නායකයා ලෙසත් එම ධුරය බාර ගනිද්දී, කිම් ජොන් උන් දේශපාලනික වශයෙන් හෝ හමුදාමය වශයෙන් හෝ අත්දැකීම් බහුල අයකු නොවීය.


කිම් ජොන් උන් යනු කිම් ජොන් ඉල්ගේත්, කෝ යොන්ග් හුයිගේත් බාල පුත්‍රයාය. කිම් ජොන් උන්ගේ උපන් වර්ෂය නිශ්චිත නැත. උපන්නේ 1983 වසරේ හෝ 1984 වසරේ මුල හෝ වෙන්නට ඇතැයි අනුමාන කෙරේ. 


කිම් ජොන් උන් පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස උතුරු කොරියාවේ නායකයා වෙනු ඇතැයි කිසිවකු අපේක්ෂා කර නැතැයිද පැවසෙයි. බොහෝ දෙනා සිතුවේ අඩ සොයුරු කිම් ජොන් නාම් හෝ වැඩිමල් සොයුරු කිම් ජොන් චොල්, කිම් ජොන් ඉල්ගෙන් පසු උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වෙනු ඇතැයි කියාය. මීට මාස කිහිපයකට පෙර, විස ශරීරගත කිරීමක් මගින් මැලේසියාවේ ක්වාලලාම්පූර් ගුවන්තොටුපොළේ දී ඝාතනයට පත් වූයේ කිම් ජොන් නාම්ය. කිම් ජොන් නාම් ඝාතනය පසුපස ද කිම් ජොන් උන් සිටින බවට චෝදනා එල්ල වී ඇත.


කලක් ජපානයේ සිටි කිම් ජොන් නාම්, 2001 වසරේදී එරටින් පිටුවහල් කිරීමේ සිදුවීම සහ කිම් ජොන් චොල්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් මොවුන් දෙදෙනාටම පියා කිම් ජොන් ඉල්ගේ අනුප්‍රාප්තිකයා වීමේ සිහිනය බොඳ විය. 


කිම් ජොන් උන්, ඔහුගේ වැඩිමල් සොයුරන් සේම ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලැබූවකු වෙන නමුත් බටහිර (ඇමෙරිකාව බි්‍රතාන්‍යය ආදී බටහිර රටවල්) ආකල්ප බැහැර කළ අයෙකි. යුරෝපා ආකල්ප සිතුම් පැතුම් බැහැර කළ අයෙකි. 


පාසල් අධ්‍යාපනය අවසන් කරමින්, යළි උතුරු කොරියාවේ ප්යොන් -ග්යැන්ග් නුවර බලා පැමිණි පසු, කිම් ජොන් උන්  කිම් ජොන් සන් හමුදා උසස් පාසලට ගියේය. කිම් ජොන් සන්, කිම් ජොන් උන්ගේ සීයාය. 
කිම් ජොන් උන්ගේ පියාගේ බිරියන් අතුරින් වඩාත් ප්‍රිය බිරිය කිම් ජොන් උන්ගේ මව කෝ යොන්ග් හුයි යැයි පැවැසෙයි. කුඩා කල සිටම කෝ යොන්ග් හුයි, තම පුතු කිම් ජොන් උන් හුරතල් කර ඇත්තේ මෝනිං ස්ටාර් කිංග් හෙවත් උදා තරුව රජ්ජුරුවෝ යන ආදර නාමයෙනි. 


කිම් ජොන් උන් විවාහකය. ඔහුගේ බිරිය ගැන ලෝකයා මුලින්ම දැනගත්තේ 2012 වසරේදීය. ඇය රී සොල් ජූ නමැති තරුණිය වන අතර ඇය ගායිකාවක බවද පැවැසෙයි. ඇඳුම් පැළැඳුම් අනුව ඇය වංශවත් තරුණියක යැයි බොහෝදෙනා අතර කතාබහට ලක් විය. කිම් ජොන් උන්ට, රී සොල් ජූ ගැන සිතක් පහළ වෙන්න ඇත්තේ ඇගේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය අවස්ථාවකදී යැයිද පැවසෙයි.


2016 වසර මුලදී උතුරු කොරියා සහ චීන දේශසීමාවේ චීනයට අයත් පළාත් කිහිපයක් භූමිකම්පාවකින් කැලැඹිණි. පසුව දැනගන්න ලැබුණේ එය සාමාන්‍ය භූමිකම්පාවක් නොව, උතුරු කොරියාව ජලකර එසේත් නැතිනම් හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ අවස්ථාවේ හටත් භූකම්පනයක් බවය. ජලකර බෝම්බයේ සාර්ථකත්වයත් සමඟ කිම්ජොන් උන්, ලෝක මාධ්‍ය සිරස්තල අතරට එක් විය. 


තමන්ට ද්‍රෝහීකම් කරන කිසිවකුට සමාව නොදෙන දැඩි දඬුවම් පමුණුවන දළදඬු නායකයකු ලෙසින් ද කිම් ජොන් උන් ප්‍රසිද්ධය. හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ යැයි චෝදනාවට ලක් වුණු ඉහළ පෙළේ හමුදා නිලධාරියකු මෙන්ම කිම් ජොන් උන්ගේ බාප්පාද වූ චැන් සොංග් තෙක්ට මරණ දඬුවම ලබා දුන්නේ කුසගින්නේ සිටි දඩ බල්ලන්ගේ කූඩුවකට දමාය. තමන් සමග සිනාසුණේ නැතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසකට මරණ දඬුවම හිමි විය.

 

කිම් ජොන් උන් බිරිඳ රී සොල් ජූ සමග.

 


මම තමා කිම් ජොන් ඊල්ගේ කෝකියා යන නමින් 2003 වසරේදී, ජපන් කෝකියකු පොතක් ලියා ප්‍රසිද්ධ කළේය. එම කෝකියා පොත ලියුවේ කෙන්ජි ෆූජිමාටෝ නමැති අන්වර්ථ නාමයෙනි. කිම් ජොන් ඉල්ගේත් පුතු කිම් ජොන් උන්ගේත් පෞද්ගලික විස්තර මෙම පොතට ඇතුළත් වෙයි. පියගේ ප්‍රියතමයා වූයේ කිම් ජොන් උන් බව ද එහි සඳහන් වෙයි.


හමුදාවට මුල් තැන යන සංකල්පය යටතේ ජනතාව කුසගින්නේ සිටියත් උතුරු කොරියාවේ හමුදාව ශක්තිමත්ය. ජනපති ට්‍රම්ප්ගේ තර්ජනවලට තමන් බය නැතැයි පෙන්වමින්, උතුරු කොරියාව හමුදා පෙරහුරු පවත්වමින් ඔවුන්ගේ යුද ශක්තිය ලොවට ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම, උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙනුවෙන් දිවි පිදීමට උතුරු කොරියානුවන් පැකිළෙන්නේ නැතැයි ද වාර්තා වේ.


ජනපති ධුරයට පත්වී දින 100ක් සපිරුණුදා, ජනපති ට්‍රම්ප් අවස්ථා දෙකකදී ඇමෙරිකන් නාලිකා දෙකකට සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේය. එහිදී ඔහු උතුරු කොරියානු අර්බුදය ගැන අදහස් දැක්වීය. අඩු වයසින් රටේ උත්තරීතර නායකයා ලෙස භාරදූර වගකීමක් පැවැරුණු කිම් ජොන් උන් අත්දැකීම් අඩු පරිණත චරිතයක් නොවුණත්, ඔහු කිසිවිටෙක අවතක්සේරු කළ නොහැකි යැයි කීවේය. එමෙන්ම සුදුසු වාතාවරණයක් යටතේ කිම් ජොන් උන් හමුවෙන්න ලැබුණොත් එය තමන්ට ලොකු ගෞරවයක් යැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය. ජනපති ධුරයට පෙර ට්‍රම්ප් දේශපාලන වේදිකාවේ කියා සිටියේ උතුරු කොරියා නායකයා හමුවී, ඔහු සමඟ සාකච්ඡාකොට අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන බවය. ඒ කිව් ආකාරයෙන්ම ඉකුත් ජුනි මාසයේදී සිංගප්පූරුවේදී  ට්‍රම්ප් සහ උන් අතර හමුවක් සිදුවූ අතර එය ලෝක සාමයට වඩාත් ප්‍රශතිශීලි කාරණා එක් කරන්නක් විය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.