විමල් අභයසුන්දර : අපේ තාත්තා


ප්‍රවීණ සාහිත්‍යධරයකු, පඬිවරයකු සහ අර්ථ පූර්ණ ගීත රචකයකු වූ අභාවප්‍රාප්ත විමල් අභයසුන්දර සූරීන්ගේ ජන්ම ශත වර්ෂ සැමරුම අදට (21) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අරුණළු පතිත වන්නට පෙර අවදි වී අවුල් සුදු කෙසින් යුතුවම කැඩපතින් මුහුණ බලා සිටි විට තාත්තාගේ මුහුණ මැවී පෙනේ. ගුවන් විදුලියේ හෝ පේෂකර්ම අමාත්‍යාංශයේ සේවය කරන්නට යනවිට ඇරෙන්නට, මපියා ඉරිමා උදයේ අවදි වූයේ නැත. ඊට හේතුව සෑම දිනකම බොහෝ රෑ වනතුරු අවදිව පොත් කියවීම හෝ ලිවීම කළ බැවිනි. අම්මා වරින් වර නැගිට මපියා හට නිකම් තේ සකසා දුන්නීය. පී. මලල්ගොඩ කවියා, වටරැක ප්‍රේමදාස සිත්තරා කවිය පුවත්පත කරන ඇතැම් අවස්ථාවක හෝ කොළඹ කවි යුගය නම් මහපොත සම්පාදනය කරන දිනවල ඔවුහු රෑ පහන් වනතුරු වෙහෙස නොබලා කටයුතු කළහ.

අප පාසල් යෑමට අවදි වී ලක ලෑස්ති වනවිටත් ඔවුහු එම ශාස්ත්‍රීය සාහිත්‍ය කටයුතුවල නිමග්නව සිටියහ. ජීවිතයට කවදා හෝ පාපැදියක් හෝ මෝටර් බයිසිකලයක් නැතිනම් මෝටර් රථයක් හිමිව නොතිබූ, ඒවා පැද නොතිබූ, පයින්ම, බස් රථයෙන් හෝ දුරාවාරේ ඉඳහිට හදිසියකදී පමණක් කුලී රියක ගමන් කළ මපියා, ආනන්ද රාජකරුණා කවියාගේ ආනන්ද සම්ප්‍රවේදිතය ග්‍රන්ථයේ කටයුතුවලට පානලුවේ පිහිටි රාජ්‍ය මුද්‍රණ සංස්ථා ගොඩනැගිල්ලට මෝටර් සයිකලයෙන් රැගෙන යද්දීත්, වියපත්ව ඔහුගේ කොණ්ඩය කැපීමට බොරැල්ල හන්දියට රැගෙන යද්දීත්, හරිබරි ගැසී මා බදාගෙන මෝටර් සයිකලයේ පරිස්සමින් ගිය සැටි අද වාගේ මතකය. තමන්ට හිමිව තිබූ නාවල කොස්වත්තේ ගෙය අහිමි වී නොයෙක් කුලී ගෙවල සිටිමින් අප රැකබලා හදාවඩා ගත් මාපියාට යන එන මං නැති වූ තැන බොරැල්ලේ වෝඩ් පෙදෙසේ තිලකරත්නාරාමයේ එකල නායක හිමියන් වූ රත්ගම සුමනානන්ද හිමියෝ පිහිට වූහ. එවක අප පදිංචිව සිටියේ බොරැල්ලේ ඔස්ටින් පෙදෙසේ අංක 21 දරන නිවසේය. පන්සල් වත්තේය. එහි කුඩා මුද්‍රණාලයක් සුභූතී නමින් තාත්තා විසින් පවත්වන ලදී. යාළු මිත්‍රයන්ගේ පොතපත අච්චු ගසාදී මුදල් නොලැබුණු තැන මපියා අයට වැටුණි. බංකොළොත් විය. එසමයෙහි විරෝධය, කම්කරු මාවත පුවත්පත් අච්චු ගැසුවේ එම මුද්‍රණාලයේය. කීර්ති බාලසූරිය, විජේ ඩයස් වැනි වාමාංශික ක්‍රියාකාරීහු එහි පැමිණියහ. 71 කැරැල්ල සමයේ හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් පියාගේ ජීවිතය බේරුණි.

එම්.ඒ. මොහමඩ්, කේ. ෆ්‍රැන්සිස් ඉස්ලාම් හා කිතුණු කෘති පළ කැර ගැනීමට මපියා හමුවට පැමිණියහ. යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා), පී. මලල්ගොඩ, විල්සන් හෑගොඩ, නන්දා හෑගොඩ, විමලේන්ද්‍ර වතුරේගම, බිංගිරියේ විජය කුමාර, තලංගම ප්‍රේමදාස, කරුණාරත්න අබේසේකර, සේසිරි විජේසේකර, විජේරත්න වරකාගොඩ, බඹරකොටුවේ සුධර්ම සෙනවිරත්න, විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා, පණීභාරත, අමරදේව, පී.වී. නන්දසිරි, ඩී.ආර්. පීරිස්, ගල්වෙහෙර ගුණසේකර, සමිත රත්ගම, ජ්‍යොතිෂවේදී ශ්‍රීනාත් ද සිල්වා වැනි කවියන්, ලේඛකයන්, හිතවතුන් එම කුඩා නිවසට පැමිණ වරින්වර සාහිත්‍යය, සංස්කෘතිය, දේශපාලනය, සමාජීය කරුණු කතාබහ කළ හැටි මතකය. එච්.ඇම්. කුඩලිගම, උපනන්ද බටුගෙදර, මහගමසේකර කවියන්ගේ මළගම්වලට ද මා රැගෙන ගිය සැටි මතකය. සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, පී. වැලිකල, අතුල සෝමසිරි, බී.ඇස්. විජේරත්න, කාලිංග ඔබේවංශ, බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා ආදී තවත් නම් ගම් මට මතක නැති කලාකරුවන් එම නිවසට පැමිණ විවිධ ශාස්ත්‍රීය සාහිත්‍ය නිර්මාණ මපියා ලවා කරගත් සැටි සිහිපත් වෙයි.

රට්ටුන් විසින් විවිධ විශේෂණ නාම, උපාධි නාමවලින් හැඳින්වූ විමල් අබයසුන්දර නම් මපියා ඉපැදුණේ 1921 සැප්තැම්බර් මස 17දා දකුණු සිරිලක ගාලු දිසාවේ බෙන්තර වලල්ලාවිටි කෝරලේ බලපිටියේ වැලිතොට වැල්ලබඩ නම් ගමේ ය. වැලිතර යූ.ඒ. ඤාණතිලක මාහිමිපාණෝ 1926 දී තාත්තාට අතපොත් තබා අකුරු කියැවූහ. වතුරේගම සිංහල පාසලෙන් පස්වැනි ශ්‍රේණිය දක්වා උගත් ඔහු අඹගහපිටිය මූලමහා විහාරයේ සුගත ශාසනෝදය පිරිවෙනේදී මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේය. කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය මහා පිරිවෙනේදී පාලි, සිංහල, සංස්කෘත, හින්දි, ප්‍රාකෘත, තර්ක, න්‍යාය, ජන්දෝලංකාර යන විෂයයන් හදාරමින් විශිෂ්ට ලෙස සාමාර්ථය ලැබුවේය. 1948 දී ත්‍යාග ද ලැබුවේය. අගනුවර ලෝරන්ස් විද්‍යාලය, ඕල්කොට් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, පෙම්බ්‍රොක් විද්‍යාලය වෙතින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේය.

‘සරසවි සඳරැස’ පත්‍රයේ සහකාර සංස්කාරක වශයෙන් 1949දී ද, ‘ලංකාදීප’ පත්‍රයේ පරිවර්තකයකු වශයෙන් 1950දී ද, 1953දී ‘පෙරමුණ’ පත්‍රයේ ද, ‘දිනමිණ’ පත්‍රයේ ද, සිංහල විශ්ව කෝෂයේ ආරම්භයේම සහාය සංස්කාරකයකු ලෙස 1955 දී ද, 1958 සිට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ නිබන්ධ සම්පාදකයකු වශයෙන්ද ද ඔහු සේවය කර ඇත. 1964 දී ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සංස්ථාවේ ගුවන් විදුලිය සහ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ සමසක පුහුණුවක් ලබා ගත්තේය.

ඔහු විසින් රචිත නිෂාදි (විචාර, ගීත හා ගීත නාටක) පොත 1959 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගති. 1937 විමලසාර ගුණසමර (පද්‍ය), 1940 රත්නමාලි වංශ කාව්‍යය (පද්‍ය), 1945 (පද්‍ය) දුක්මුසු, 1946 සුදු නංගී (පද්‍ය), 1954 සිරිමලී කෙටිකතා, උද්‍යාන යාත්‍රා කෙටිකතා උභයකර්තෘක (කල්‍යාණී සමග) 1960දී ද, බෞද්ධ කාව්‍ය විචාර හා නිබන්ධය 1963 වනපස මලින් පුද, 1963 දී සංගීත සංහිතා මපියා විසින් කළ ග්‍රන්ථ කීපයකි.

කල්‍යාණි අබේසිංහ අපේ මෑණියෝ ය. ඇය පද්‍ය ගීත ගායනා, එස්රාජ් වාදනයට හා චිත්‍ර ශිල්පයටත්, ඉවුම් පිහුම් හා මැහුම් ගෙතුම්වලටත් සපන්කම් පෑවාය. ජිනදාස ගුණසේකර සමගත් එකලාවත් අම්මා, ගුවන් විදුලියටත්, ග්‍රැමෆෝන් තැටිවලටත් ගීත ගැයුවාය. ඒ ගීත මෙන්ම, 1952 දී තාත්තා ග්‍රැමෆෝන් තැටිවලට ද ගී රචනා කළේය. වසන්තා සන්දනායක මැරෙනතුරා අපේ ගෙදරට ආවාය. ඇය විසින් ගැයූ ධර්මරජා නමාමි මා සහ දොළ ළඟ ගුරු පාර දිගේ එසමයෙහි මපියා ලියා ජනාදරයට ලක්වූ ගීත දෙකකි. දශක කීපයකට පසු විශාරද නන්දා මාලනිය දොළ ළඟ ගුරු පාර දිගේ ගීය නැවත ගැයුවාය. මහාචාර්ය සනත් නන්දසිරි තාත්තා ලියූ පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ නවදැළි හේනේ ගුවන් විදුලිය ගීත නාටකයට සිය මුල්ම ගීතය ගැයුවේ භාරතයේ සිට සංගීතය ඉගෙන පැමිණියාට පසුවය.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් ඉක්බිතිව මපියා ගුවන් විදුලි හා වේදිකා ගීත නාටක විස්සක් රචනා කළේය. එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ නාරද දිසාසේකර හා මල්ලිකා කහවිට ගැයූ
සිකුරුයි සඳුයි ගුරුයි හොඳට යෙදී
නැකත දිළෙයි
කුමරුයි කුමාරියයි සඳුන් ගසයි සමන් වැළයි ගීය ඇතැම් විචාරකයෝ අගයකොට රචනා ලියූහ.
ජටා අටවියෙන් සිලි සිලි
ගගා නිබඳ ගලා හැලෙන
ගංගා නම් නදී ප්‍රවාහේ
ස්වස්ති ශ්‍රී සෞභාග්‍ය සුපුරිත
(අමරදේවගේ ගායනා)
ධර්මදීපනි ලංකාධරණී
පූජිත ලංකා මාතාවෝ
(මහාචාර්ය අමරා රණතුංග හා ආචාර්ය දයාරත්න රණතුංග)

අමරදේව, දේවානන්ද, වෛද්‍යශේඛර, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, සෝමතිලක ජයමහ, සුජාතා අත්තනායක, මල්කාන්ති නන්දසිරි පටන් අනුරාධා නන්දසිරි දක්වා ගායක ගායිකාවෝ මාපියාගේ ගීත ගැයූහ. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන්ගෙන් ගී කවි දහස් ගණනක් මපියා විසින් රචනා කරන ලදී.

නිදහස් හෝ නිසදැස් ආරට නොව ඔහු වඩාත් ප්‍රිය කළේ සඳැස්, විරිත්, ඡන්දස් අනුව පබඳින පද්‍ය ගීත ප්‍රබන්ධ කලාවටය. මපියා භික්ෂූන් වහන්සේගෙන් ගුරුවරුන්ගෙන් බොහෝ දෑ උගත්හ. මුළු ජීවිතය ගත කළේ ස්වාධ්‍යායයෙන් යුක්ත විද්‍යාර්ථිකයකු වශයෙනි.

එනම් භාෂා, ශාස්ත්‍ර, ධර්ම, දර්ශන විද්‍යා තනිවම ග්‍රන්ථ පරිශීලනයෙන් සාකච්ඡා මගින් උගෙනීමටය. අම්මා ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ වීණා වාදනය හා ගායනය ඉගෙන ගනිද්දී පෙරදිග සංගීතය මවු බසින් උගෙනීමට අත්වැලක් වෙමින් සටහන් ලියුම් මගින් යැවූ තාත්තා පසු කලෙක ඒ අනුසාරයෙන් සංගීත සංහිතා නම් විශාල පොත සම්පාදනය කළේය. ඒ කෘතිය ඇතැම් විද්‍යාර්ථීන් ආචාර්යවරුන් අදටත් අගය කරමින් භාවිත කරනු ලැබේ.

බුලත්විට, මත්පැන් හෝ සිගරට් නොබී තාත්තා තම්ෂර් වැනිලා සුරුට්ටුවක් හා නිකම් තේ කහට බී දිවා රෑ නොබලා පොත් කියැවීය. සරල චාම් දිවියක් ගත කරමින් නිර්මාණ කළේය.

මහවැලිය (1977), යුග යුග බැඳි හදවත (1975), නව මහ සඳ (1979) (සාහිත්‍ය සම්මාන ලැබුණි), තුන් සේසත් රටා (1979), මළපත අකුර සහ අම්මා (1985), දෙනුවන (1994), මනස (2005), සුදු වැලි තලාවේ ගුම් නැගෙන සෙල් ගී, ගිනි අව්ව පිනිඇල්ල Conquering Hearts (Poetry) පද්‍ය කාව්‍ය කෘතීන්ද. සුරමුරලිය, රුප්පාවේ මී පොද වැහි, ලංකාදීශ රාවණායනය සහිත ගීත නාටක නිර්මාණ, රාධා මාධව සංගීතමය ප්‍රණීතාංග මපියාගේ ගීත ප්‍රබන්ධ ඇතුළත් ග්‍රන්ථ වෙයි.
සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත භාෂාවන්ට ඉමහත් ආලය කළ ඔහු බුදු සසුන, බුදු දහම කෙරෙහි සුවිශාල ශ්‍රද්ධාවකින් ද ඤාණ මීමංසාවකින් ද ක්‍රියා කළේය. බණ්ඩාරනායක චරිතාපදානය 1971 දී, ප්‍රබුද්ධ ශක්තිය ආර්. ප්‍රේමදාස චරිතාපදානය 1979 දී, මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය 1994, බෞද්ධ යුගයේ ප්‍රශස්ත කාන්තාවෝ (1994) කෘතීන් ලියූ මපියා මින්නේරි වැව ආශ්‍රිතව මිණිහිරිය නම් ඓතිහාසික නවකතාව ලියුවේ රිවිරැස කර්තෘ සිරිල් ඒ. සීලවිමලයන්ගේ ඇරැයුමිනි.

පක්ෂ දේශපාලනයට ලැදිකම් නොදැක්වූ ඔහු මුදල්, තෑගිබෝග වාසි, වරප්‍රසාද නොලැබූ අතර රටට ලෝකයට අයත් දේ තමන් සන්තක නොකොට අපට කන්න බොන්න දුන්නේ අම්මා රැකබලා ගත්තේ ඩාදිය මහන්සියෙන් උපයා සපයාගත් දෙයිනි. තාත්තාට පද්‍ය ගායනා කළ නොහැකිය. අම්මා අපට ඇහෙන්නට නිතර කව්, ගී, පිරිත් ගාථා කියුවාය.

“අපේ තරුණ කාලෙ එකල සිටි සිසු ගණයාට පද්‍ය බන්ධනයට, කාව්‍යකරණයට අතිශය උනන්දුවක් පැවතුණා. ඉගෙන ගත්තෙ කවි බඳින හැටි. මහා කවි ආනන්ද රාජකරුණා, වැලිතර යූ.ඒ. ඤාණතිලක නාහිමි, මුනිදාස කුමාරතුංගගේ කාව්‍ය රචනා, ජයන්ත වීරසේකර, ඩබ්.ඒ. සිල්වා, හේමපාල මුනිදාසගේ ඇසුර මගේ රුචි අරුචිකම් ශාස්ත්‍රෝදය ග්‍රහණයට මගේ තිබුණ කැමැත්ත, ඇප කැපවීම් කාව්‍යකරණයට පිවිසීමට හේතු වන්නට ඇති.” ඒ තාත්තා ගැන ඔහුමැ පැවසූ දෙයකි.

එදා තාත්තා ලියූ බොහෝ දෑ බොහෝ අයට තේරුම ගැනීමට දුෂ්කර වූයේ තාත්තා විසින් උපයුක්ත භාෂා රීතිය, ශෛලිය නිසා යැයි සිතමි. ඉදානීතනයේ ඒ පොත් සමහරු විමසති. ජීවිතයේ අග භාගයේදී තාත්තාගේ දෑස් නොපෙනී ගියේය. අප පුංචි කාලෙ තාත්තා ලියූ කියූ දෑ යතුරු ලියනය කළේ පුංචි බණ්ඩාර රත්නායක ය. පසු කාලයක යම් යම් අය තාත්තා කියන විට ලිවීම කිරීමට උපකාර කළහ. අම්මා පිළිබඳව හා දෙවැනි මල්ලී නැව් නැග මෙරටින් විදේශ ගතවීම නිසා ඇති වූ සෝකයෙන් ලියූ කවි මගේ ඇස් කඳුළින් තෙත් කළේය. රට දැය සමයට පෙම් බැඳ ජාත්‍යනුරාගය, දේශවාත්සල්‍යය, ජාතිකත්වය, බුදු සැදැහැ ගුණ නැණ දල්වන කව් ගී රැසක් මපියා විසින් රචනා කරන ලදී. අලෙවිය, ප්‍රචාරණය, මුදල් වාසි ලබාගැනීමට මපියා සිය පෑන මෙහෙයවූයේ නැත.

අපේ අම්මාට හොඳ සැමියකු වූ මපියා අපට සැබෑ පියකු විය. මිතුරන්ටත් නෑදැයන්ටත් ළෙන්ගතු මිනිසකු ලෙස ඇතැම්හු අගයති.

(***)
(මහාචාර්ය - ප්‍රනීත් අභයසුන්දර)